ලංකාවේ ඉහළ අධ්‍යාපනයක් ලැබූ උගත් වෘත්තිකයන් රට හැරයෑම අර්බුදයක් ලෙස නොසලකා අධික බදු බරක් පටවන ආණ්ඩුව, සුපිරි ධනවතුන්ට වත්කම් බද්දක් නොගසන්නේ එම ධනවතුන් ලංකාව අත්හැර යෑමට ඉඩ තිබෙන නිසා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.
නෝර්වේ, ස්විස්ටර්ලන්තය වැනි රටවලත්, ආජන්ටිනාව සහ චිලි වැනි රටවලත් ක්‍රියාත්මක වෙන විදියේ වත්කම් බද්දක් සුපිරි ධනවතුන්ට පැනවීමේ හැකියාවක් නොමැතිදැයි කැබිනට් මාධ්‍ය හමුවකදී අප කළ විමසීමකදී පිළිතුරු ලෙස අමාත්‍යවරයා මේ බව පැවසීය.
ලංකාවේ වෘත්තිකයන්ගේ වැටුප්වලට පනවා ඇති ඉහළ බදු අඩු කොට, සුපිරි ධනවතුන්ගේ වත්කම්වලට බද්දක් පැනවීමට ඇති හැකියාව එහිදී මාධ්‍යවේදියා විමසා සිටි අතර, පසුගිය කාලය තිස්සේ නිත්‍යානුකූල සහ නීතිවිරෝධී ක්‍රමවලින් ලංකාවේ සුපිරි ධනවතුන් විශාල ආදායමක් උපයා ඇති බවත් සිහිපත් කළේ.
එහිදී බන්දුල ගුණවර්ධන මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, දැනටමත් ලංකාවේ ධනවතුන් මෙරට අත්හැර විදේශ රටවල ආයෝජනය කරන්නට පටන්ගෙන තිබෙන බවය. එමෙන්ම අති දැවැන්ත ආයෝජන කරන්නට තරම් සුපිරි ධනවතුන් ලංකාවේ නොමැති බවත් ඔහු කීය.
‘බදු පැනවීමේදී එක පැත්තක් විතරක් බලන්න බැහැ. අපේ රටේ ඉතා විශාල ධනේෂ්වර ආයෝජනයක් කරන්න පුළුවන් අය නැහැ. හම්බන්තොට වරාය වගේ වරායක් හදන්න, ඇමෙරිකන් ඩොලර් බිලියන 1කට වැඩි ආයෝජනයක් කරන්න පුළුවන් ධනේෂ්වරයක් නැහැ. මේ සිටින ව්‍යවසායකයින්ටත් අතිවිශාල බදු පැනෙව්වොත්, ඉතා විශාල ආයෝජකයන් ඉන්නවා. චීනය එලෙසින් ආරාධනය කරනවා. වියට්නාමය එලෙසින් ආරාධනය කරනවා. ලංකාවේ ව්‍යවසායකයන් විශාල පිරිසක් ලංකාවේ ව්‍යාපාර වහලා වෙනත් රටවල ආයෝජනය කරනවා. කෙන්යාවලට යනවා. මට පුළුවන් ලැයිස්තුවක් ඉල්ලලා දෙන්න දැනට ව්‍යවසායකයන් කීයක් පිටරටවලට ගිහිල්ලා තියෙනවාද කියලා. රස්සා ලැබෙන්නේත් නෑ. පුළුවන් රටවලට යයි. අන්තිමට ඉතිරි වෙන්නේ බැරි අපි ටික විතරයි. ආයෝජනවලට, මිලට මට්ටම්වලට, ඉතිරි කිරීම්වලට බලපෑම සලකලා තමයි බදු අයකිරීම් කරන්නේ.
ස්විස්ටර්ලන්තය, ස්වීඩනය වගේ නෙවෙයි මූල්‍ය අරමුදල රුපියල්, මාසික ආදායම රුපියල් 45,000ට වැඩි සියලුදෙනාගෙන් බදු අය කරන්න තමයි ඉල්ලලා තියෙන්නේ. බොහොම අමාරුවෙන් තර්ක කරලා, තර්ක කරලා තමයි ලක්ෂය දක්වා මෙම සිමාව උඩට ගෙනාවේ. ඒ සීමාවට එකඟ වුණේ නෑ. ණය ගෙවන්න නම් ආදායම වැඩි කරලා පෙන්වන්න ඕනෑ. විකල්ප මාර්ග ඒ සඳහා සොයා ගන්න ඕනෑ.
රාජ්‍ය සංස්ථා පාඩු ලබනවා නම් පාඩුවත් ගෙවන්නේ ජනතාව. ලාභ ලබනවා නම් රජයේ ආදායම ලාභයට එකතු වෙනවා.
මේ සම්බන්ධයෙන් දේශපාලන නොවන ප්‍රබුද්ධ කතිකාවතක් ඇති වීම ඉතා වැදගත්. කාටහරි කියන්න පුළුවන් වෙනත් මාවතක් තියෙන්න ඕනෑ බව. මම නම් හිතන්නේ බදු නොවන ආදායම් වැඩි වැඩියෙන් අය කරගන්න පුළුවන් නම් ජනතාව මත පැටවෙන බදු බර අඩු වෙනවා.‘
කෙසේ වෙතත් නෝර්වේ, ස්විස්ටර්ලන්තය ආදී රටවල සුපිරි ධනවතුන්ගේ වත්කම්වලට බදු පැනවුවත්, ඒ ධනවතුන් රට අත්හැර යෑම් මහා පරිමාණයෙන් වාර්තා වී නැත.
අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයාගේ ඉහත අදහස් දැක්වීමේදී නොකී කාරණයක් ඇත. දැන් ශ්‍රී ලංකාව තිබෙන්නේ අප කැමති වුණත් අකමැති වුණත් ධනවතුන්ගේ සිට දුප්පතා දක්වා සියලුදෙනා රට හැර යන පසුබිමකය.
මෙතැන පැනනැගී ඇති ප්‍රශ්නය වන්නේ ආණ්ඩුව පෙනී සිටින්නේ, වඩාත් සංවේදී වන්නේ බහුතර ජනතාව කෙරෙහිද, සුළුතරයක් වන සුපිරි ධනවතුන්ටද යන්නය. පෙනී යන ආකාරයට ආණ්ඩුව සුපිරි ධනවතුන්ට වඩාත් සංවේදීය. අර්බුදයේ බර සුපිරි ධනවතුන්ට පටවන්නේ නැතිව සිටින්නට ආණ්ඩුව කැමතිය.
ජනාධිපතිවරයා වෘත්තිය සමිති හමු වූ විට ‘කැපකිරීම් කරන්නට‘ යෝජනා කරද්දී, ව්‍යාපාරිකයන් හමු වූ විට ‘ව්‍යාපාරික ප්‍රජාව රකින්නට හැමදේම කරනවා‘ යනුවෙන් කියන්නේ ඒ නිසාය.
අපගේ අදහස නම්, ලංකාවේ ඔය කියන මට්ටමේ ඩොලර් බිලියනයට වැඩි විශාල ආයෝජන කරන ආයෝජකයන් නොමැති නම්, (ඇත්තටම ලංකාවේ ධනවතුන් ඩොලර් බිලියන ගණන් පිටරටවලට පන්නා, ඒ රටවල තැන්පත් කර තිබෙන බව දැනටමත් හෙළි වී තිබෙන කාරණයකි. ඔවුන් තමන් උපයා ගන්නා වත්කම් මෙරට ආයොජනය කරන්නේ නැත.) ඔවුන් සතු වත්කම්වලට බද්දක් පනවා, මෙරට සිටින බුද්ධිමතුන් රට අත්හැර නොයන තැනට රැකගැනීමේ ඉඩක් ඇත. මේ රටට ඇති විශාලම සම්මත සුළුතරයක් වන මහා ව්‍යාපාරිකයන් නොව, බහුතරයක් වන වැඩකරන ජනතාවය. ඔය මහා ව්‍යාපාරිකයන් පවා ‘නිර්මාණශීලී නවෝත්පාදක ව්‍යාපාර‘ තුළින් මෙරට ආදායම් උපයනවා නොවේ. ඇඟලුම්, වතු ආදී වැඩකරන ජනතාවගේ වෙහෙස අලෙවි කරමින් ලාභ උපයන අය වේ.
එවැනි පසුබිමක රටේ මිලියන ගණන් බහුජනතාව රට හැර ගියත් කමක් නැතැයි, බදු පිට බදු ගසමින්, සුපිරි ධනවතුන් රට හැර යන්න ඉඩ තියෙනවායැයි කියමින් ඔවුන්ව නිදහස් කර තැබීම මේ ආණ්ඩුවේ සැබෑ ප්‍රතිපත්තිය මනාව පෙන්වන තත්වයකි.