කරු ජයසූරියට රටේ ඉහළම සම්මානය! ඉන්නකල් පොහොට්ටුවෙන් බැට කෑ හිටපු කථානායකට සම්මානය දෙන්න එකඟතාව!

මෙවර නිදහස් දිනයට සමගාමීව, ජීවිත කාලයේ එක් වතාවක් පමණක් හිමිවන ජාතික සම්මානයක් වන ‘ශ්‍රී ලංකාභිමාන්‍ය‘ සම්මානය හිටපු කථානායක කරු ජයසූරිය වෙත පිරිනැමීම සඳහා කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ.

ඒ කරු ජයසූරිය මහතාට එරෙහිව දැවැන්ත විරෝධයන් පළ කරන ලද පාර්ශ්වයක් විසින් වීම හාස්‍යජනකය.

‘මෙරට පිරිනමන උච්චතම සම්මානය වශයෙන් දේශබන්දු කරු ජයසූරිය මැතිතුමාට, එතුමාගේ සේවය අගය කරමින් පිරිනැමීමට ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලය ඒකමතිකව ඊට අනුමැතිය ලබා දුන්නා.‘ යනුවෙන් බන්දුල ගුණවර්ධන කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම සම්මානය පිළිබඳ ප්‍රකාශ කළේය.

2015- 2019 කාලසීමාව තුළ කරු ජයසූරිය මහතාට විරුද්ධව විශාල ප්‍රචාරයන් ගෙන ගිය, ඔහුට මිරිස් කුඩු ප්‍රහාරයක් මෙන්ම බයිබල් ප්‍රහාරයක් එල්ල කළ පොහොට්ටු සාමාජිකයන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් විසින් මේ සම්මානය පිරිනැමීමේ තීන්දුව ගෙන තිබේ. එකල ‘ඒකාබද්ධ විපක්ෂය‘ වූ පොහොට්ටු කණ්ඩාමට විපක්ෂ නායකත්වය නොදීමත්, 2018 ඔක්තෝබර් 26 වැනිදා නීතිවිරෝධීව මහින්ද රාජපක්ෂ අගමැතිකම පැහැරගත් මොහොතේ එය පිළිනොගෙන විරෝධය පළ කිරීමත් නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත විරෝධයක් කරු ජයසූරිය මහතාට එල්ල විය.

ස්වාධීන කොමිෂන් සභා ආදිය වෙනුවෙන් පෙනී සිටි කරු ජයසූරිය මහතා වත්මන් ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභාවල කොඳු කඩා දමන්නට ගෙනයමින් පවතින බිහිසුණු පිළිවෙත් හමුවේ මෙම සම්මානය බාරගනීවිද යන්න ඇතැම් අයගේ සාකච්ඡාවට බඳුන් වී තිබේ.