පාස්කු ප්‍රහාරයට සමාවෙන්න! මම මැන්ඩෙලා වගේ! ඊළඟ ජනාධිපතිවරණයට තරග කරනවා! – මෛත්‍රීපාල කියයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත්, තමන්ට එරෙහි කුමන්ත්‍රණයක් තිබුණු බවත්, තමන් නෙල්සන් මැන්ඩෙලා වාගේ බවත්, ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.

එහිදී ඔහුගේ ප්‍රකාශයේ කොටසක් මෙසේයි.

‘මම දන්නා පරිදි, කිසිසේත්ම කතෝලික ජනතාවගේ මා පිළිබඳ වෛරයක් හෝ ක්‍රෝධයක් නැහැ. අවුරුදු 15, 16 බයිබලය කියවූ කෙනෙක් විදියට මගේ පාලන කාලය තුළ මෙවැනි සිදුවීමක් වෙනත් අය කරලා, ඒ නිසා මට අද වන්දියක් ගෙවන්න සිදුවෙලා තිබීම පිළිබඳ ප්‍රධාන වශයෙන්මත්, ඒ වගේම මියගිය ජනතාව සහ ඒ වගේම අතපය කැඩිලා අද එකතැන්වෙලා සිටින ජනතාවගෙනුත් මම දෙවියන් වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්ම සමාව ඉල්ලා සිටිනවා.

ඒ වගේම කතෝලික ජනතාවගෙන් මම සමාව ඉල්ලා සිටිනවා. මම කිසි දෙයක් දන්නේ නැතිව මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවෙලා, මගේ පාලන කාලය තුළ මේ ජීවිත විනාශ වීම පිළිබඳ.

මේ නඩුවේ පැහැදිලිව තිබෙන්නේ මම වැරැද්දක් කළා කියලා නෙවෙයි. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන්, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන් යම් බරපතල වැරැද්දක් කළොත් ඒ වරදට ජනාධිපතිවරයාද වගකිවයුතු වන්නේය. ඒක තමයි ඡේදය මා සම්බන්ධයෙන් තිබෙන.

නෙල්සන් මැන්ඩෙලා , දකුණු අප්‍රිකානු නායකයා 27 අවුරුද්දක් හිරේ හිටියා. එළියට ඇවිල්ලා රටේ ජනතාව එයාව රටේ ජනාධිපති කළා. මම පැහැදිලිව කියන්නම්, මම කිසිදේකින් පස්සට යන කෙනෙක් නෙවෙයි. මම කුමන්ත්‍රණවලට බය වෙන්නේ නැහැ. මම අධිකරණයට ගෞරව කරනවා. හිස නවනවා. හැබැයි නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය මම කියවලා තියෙනවා.

මට මොන වධ දුන්නත්, ඉදිරි ජනාධිපතිවරණය මම මගේ පක්ෂයේ සහයෝගය අරගෙන, ඡන්ද කීයක් හම්බවුණත් ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසය උඩ ඉදිරි ජනාධිපතිවරණයත් තරග කරනවා කියන එක කියන්න ඕනෑ.‘