රාජ්‍ය ආයතන ඡන්දෙට උදව් කරනවා මදි! වහා මැදිහත් වෙන්න – මැකොස ජනපතිට ලියලා

ඇතැම් ආයතන මැතිවරණයට සහයෝගය දීමට පැකිළෙන බවත්, ජනාධිපතිවරයාට මැදිහත් වී එම සහයෝගය ලබා දෙන ලෙසත් සඳහන් කරමින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් ලියා ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

එම ලිපියේ සඳහන් වී තිබුණු එක් ප්‍රධාන කාරණයක් වනුයේ, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකුට මරණ තර්ජන එල්ල වී ඇති පසුබිම, ජනාධිපතිවරයා මැදිහත් වී කොමිසමේ සාමාජිකයන්ට ආරක්ෂාව ලබා දෙන ලෙසය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පසුබිම සකසන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබේ.

ඇතැම් ආයතන මැතිවරණය පැවැත්වීම සඳහා සහයෝගය නොදෙන තත්වය ඉතා පැහැදිලිව ආණ්ඩුවේ වුවමනා මත සිදුවන්නක් බව පෙනේ. මෙය ඉතා බිහිසුණු තත්වයක් බවට පත්ව තිබෙන්නේ, අනාගතයේදීත් ජනප්‍රිය නැති ආණ්ඩු බලය රැකගැනීමට මෙවැනි උපක්‍රම පාවිච්චි කිරීමට ඉඩ තිබෙන නිසාය. මෙය ඉතා පැහැදිලිව ප්‍රජාතන්ත්‍ර විරෝධී සංස්කෘතියකි.

ආණ්ඩු පාර්ශ්වය ඍජුව මැතිවරණයට අකැමැත්ත පළ කර තිබෙන පසුබිමක ඇතැම් ආයතනවල සහයෝගය මන්දගාමී වී තිබීම පුදුමයක් නොවේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශ ලබා දෙමින් මැතිවරණයට මුදල් වෙන් කළ නොහැකි බව කියා තිබෙන්නේ කෝටි ගණන් නිදහස් දින සැමරුම්වලට වෙන් කරන පසුබිමකය. තවත් විශාල වියදම් රජයේ වෙනත් ආයතනවල අත්‍යවශ්‍ය නොවන කටුයුතු සඳහා වෙන් කර ඇත්තේ, රටක අත්‍යවශ්‍යම කාරණයක් වන මැතිවරණ පැවැත්වීමේ කටයුත්තට මුදල් වෙන් නොකරමිනි.

වාර්තා වන ආකාරයට මැතිවරණයට ඉතා ආසන්න තත්වයක් තිබියදී පවා රජයේ මුද්‍රණාලය තවම ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඉතා මන්දගාමීව සිදු කරයි. ඒ අතර පත්‍රිකා මුද්‍රණය සඳහා අත්තිකාරමක්ද මෙවර ඉල්ලා ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මැතිවරණය ගැන විශ්වාසය නැති කිරීමේ යටි අරමුණෙන්, තවමත් මැතිවරණ දිනය නිවේදනය කිරීම පිළිබඳ ගැසට් පත නිකුත් කර නැතැයි මාධ්‍යවලට ප්‍රවෘත්ති යොමු කරයි.

එමෙන්ම මේ වෙද්දී ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මැදිහත්වීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු පිණිස, මැතිවරණය සඳහා මුදල් නැතැයි සඳහන් ප්‍රකාශයක් සකස් කර තිබේ.

මේ සියල්ල මැතිවරණය මන්දගාමී කිරීම සඳහා ගනු ලබන අශෝබන දේශපාලන මැදිහත්වීම් මාලාවක දිගුවකි.

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්. චාර්ල්ස් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වුණායැයි කියන සිදුවීම තවමත් කුමන්ත්‍රණකාරී මට්ටමක පවතී. ඒ අතර මැතිවරණ කොමිසමේ සාමාජික එම්.එම්.මොහොමඩ් මහතාටත් සිය ධුරයෙන් ඉවත් වන ලෙසට ජනවාරි 27 රාත්‍රියේ දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර තිබුණි.

මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට ඉකුත් 25 වැනි දා ඉල්ලා අස්වීමේ ලිපියක් යවමින් දැනුම් දුන්නායැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග වාර්තා කර තිබුණි. අප කළ විමසීමකදීත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානියෙකු කීවේ ඇගේ ඉල්ලා අස්වීමේ ලිපිය තිබෙන බවය.

එහෙත් ඇගේ ඉල්ලා අස්වීමේ කතාවට පෙර, මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපතිවරයාට දුන්නායැයි, ඇතැම් මාධ්‍යවලට ප්‍රවෘත්ති යොමු කර තිබුණි. පසුගිය ඉරිදා අනිද්දා පුවත්පත වාර්තා කර තිබුණේ, එම පුවත කෙළින්ම ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍යවල ‘පැළ කිරීම‘ සඳහා එවූ ලිපියක් බවය.

පී.එස්.එම්. චාර්ල්ස් ඉල්ලා අස් වූ බව ප්‍රවෘත්ති එව්වේ ඉන් පසුය.

රාජ්‍ය සේවයේ දශක ගණනක් සේවය කර අත්දැකීම් ඇති මෙම නිලධාරිනිය ඉල්ලා අස් වන්නේ නම් එම ලිපියේ පිටපත් මැතිවරණ කොමිසම, කථානායක, පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු අදාල ආයතනවලට යොමු කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය කියා නොදන්නවා විය නොහැක. මෙම නිලධාරිනිය මේ වෙද්දීත් සිය ඉල්ලා අස්වීම ගැන නිසියාකාරයෙන් ප්‍රසිද්ධියේ දැනුම් දී නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පවා ඇගේ ඉල්ලා අස්වීම දැනුම් දී නැතැයි, මේ වෙද්දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසීම්වලදී මාධ්‍යවේදීන් වෙත දැනුම් දී තිබේ.

මේ අතර ලංකාදීප වාර්තා කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවා ද?නැද්ද? යන කාරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් තීරණය කර නැති බවය.ෙ

චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවාද? නැද්ද? යන කාරණය ජනාධිපතිවරයා ඉදිරි දිනකදී තීරණය කරනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීපය සඳහන් කරයි. මෙය බැලූ බැල්මටම ‘තර්ජනයට ලක් වූ‘ අනෙකුත් සාමාජිකයන්ගෙන් අඩු තරමේ දෙදෙනෙකු හෝ ඉල්ලා අස් වීමේ ලිපි ලබාදෙනතුරු ඇගේ ලිපිය ළඟ තබාගෙන ජනාධිපතිවරයා හොරගල් ඇහිලීමක් ලෙස තර්ක කළ හැක.

ඇගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දුන්  පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කර තිබුණි.

ජනවාරි 18 වැනිදා සිට මේ දක්වා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වන එස්.බී. දිවාරත්න, කේ.පී. පතිරණ යන නිලධාරීන්ටද තර්ජන එල්ල වී තිබෙන අතර, මුල් තර්ජනයෙන් පසුව නැවතත් තර්ජන එල්ල කර තිබේ. මෙය, මැතිවරණ කොමිසම ඉවත් කිරීම සඳහා තර්ජනකාරී ලෙස කටයුතු කිරීමක් බවත්, මෙවැනි මොහොතක තර්ජනකාරී හැසිරීමක නිරත විය හැක්කේ ආණ්ඩුවේ ආශිර්වාද ඇති පාර්ශ්වයකට පමණක් බවත් බොහෝ දෙනා පෙන්වා දෙති.

එමෙන්ම පී.එස්.එම්. චාර්ල්ස්ගේ ඉල්ලා අස්වුණායැයි කියන සිදුවීම තවමත් නිල වශයෙන් ප්‍රසිද්ධ නොකර බලා සිටින්නේ, තවත් සාමාජිකයන් බිය ගන්වා ඉල්ලා අස්වන තැනට පත් කොට තවත් සාමාජිකයන්ව අස් කරවීම සඳහාදැයි සැකයක් පවතී. සාමාජිකයන් තිදෙනෙකු හෙවත් ගණ පූර්ණයට වඩා අඩු සංඛ්‍යාවක් දක්වා මැතිවරණ කොමිසමේ සාමාජික සංඛ්‍යාව අඩු කළහොත්, මැතිවරණය පැවැත්විය නොහැකියැයි ආණ්ඩුව පැත්තෙන් තර්ක කරමින් සිටී. කෙසේ වෙතත්, බොහෝ මැතිවරණ නීති විශේෂඥයන් කියන්නේ මේ ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී හැසිරීම සාර්ථක කරගන්නට හැකි වුණත්, මැතිවරණ කොමිසමේ කාර්යභාරය මේ මැතිවරණයට අදාලව අවසන් බැවින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක යටතේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සමග මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොමැති බවය.