ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු අතර ලබන සාපේක්ෂ සාර්ථක ප්‍රතිචාරය සම්බන්ධයෙන් ඇතැමුන් දක්වන අදහසක් වන්නේ මීට පෙර ‘බයියන්’ ලෙස සිටි අය ජාතික ජන බලවේගය වෙත ආකර්ෂණය වෙමින් සිටින බවයි. ඔවුන් එය දකින්නේ නිශේධනීය යමක් ලෙසටය. 2019 දී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇති වූ රැල්ල වැනි ‘බයි’ රැල්ලක් ලෙස ජාතික ජන බලවේගය සම්බන්ධව ඇති වී තිබෙන පොදුජන අවධානය හෙලා දැකීමට මෙම විචාරකයන් යොමු වී සිටිති.
පසුගිය කාලයේ පොදුජන පෙරමුණ වෙත සහය දැක්වීමට නැඹුරු වී සිටි අති විශාල පිරිසක් මෙම මැතිවරණය වන විට ජාතික ජන බලවේගය වෙත නැඹුරුව තිබෙන බව රහසක් නොවේ. මෙය යට කී ඊනියා විචාරකයන් කියන විධිහට ‘නරක’ ප්‍රවණතාවයක් ද? එලෙස කියන අයට අසු නොවන කාරණාව වන්නේ දේශපාලන අනන්‍යතා යනු ස්ථිතික යමක් නොවන බවය. 2019 දී පොදුජන පෙරමුණ වෙත දකුණු ලංකාව තුල ඇති වූ මහජන ආකර්ෂණය දක්ෂිණාංශික-ජනතාවාදී නැඹුරුවක් සහිත වූවකි. ජනතාවාදය යනුවෙන් අදහස් වන්නේ පොදු ජනතාව හා පොදු ජනතාවට එරෙහි ප්‍රභූ සුලුතරයක් ලෙසට දේශපාලනය සකස් වී තිබෙන බවට වූ අදහස මත සමාජය සංවිධානය කිරීමය. 2019 දී පොදුජන පෙරමුණ සාර්ථක වූයේ ඒ වනවිට පැවැති යහපාලන ආණ්ඩුව නම් වූ ජනතාවගෙන් වියෝ වූ ප්‍රභූ සුලුතරයට එරෙහිව ජාතිවාදී පදනමක් මත පොදුජනයා සංවිධානය කිරීම තුලිනි. බටහිර ගැති රනිල් වික්‍රමසිංහ ඇතුලු ප්‍රභූ නඩය හා ඔවුන් විසින් පෝෂණය කරන සුලු ජාතීන් ‘ජනතාවගේ සතුරා’ ලෙස හුවා දැක්වුණු අතර, ඒ නිසා අසාධාරණයට ලක්වූ ජනතාවගේ විසම්මුතිය නියෝජනය කරන බලවේගය ලෙස පොදුජන පෙරමුණ පෙනී සිටියේය.
පසුගිය දශකයේ ගෝලීය දකුණේ වගේම සංවර්ධිත රටවල ද ඇති වූ දක්ෂිණාංශික ජනතාවාදී ව්‍යාපාර දේශපාලනය කලේ මේ හා අඩු වැඩි ලෙස සමාන ආකාරයකිනි. මේ සම්බන්ධව ලිබරල්වාදී කොටස්වල සාම්ප්‍රදායික ප්‍රතිචාරය වූයේ මෙම ජාතිවාදී දක්ෂිණාංශික ව්‍යාපාරවලට පොදුජනයා ආකර්ෂණය වන්නේ ජනයාගේ වන නෛසර්ගික දේශපාලන අසාක්ෂරතාවය, ‘බයිකම’ නිසා බවය. මීට පටහැණිව අදහස් දැක්වූ විවේචනාත්මක විචාරකයන් පෙන්වා දුන් කරුණක් වූයේ දක්ෂිණාංශික ජනතාවාදී ව්‍යාපාරවලට ජනතාව ආකර්ෂණය වීම හුදෙක් ජනතාවගේ මෝඩකම බඳු සූත්‍රයකින් පැහැදිලි කල නොහැකි බවයි. දක්ෂිණාංශික ජනතාවාදය විසින් විසකුරු ලෙසකට වුව සංවිධානය කරන්නේ නව ලිබරල්වාදය තුල නිර්මාණය වූ සංස්ථාපිත දේශපාලනය විසින් පසෙකට විසි කල, විගලිතභාවයට ලක්කල ජනයාගේ අතෘප්තිය බව ඔවුන් පෙන්වා දුන්හ. මෙම ජනයා යලි ප්‍රගතිශීලී අරමුණක් සඳහා දිනා ගැනීමට නම්, දක්ෂිණාංශික ජනතාවාදයේ ආමන්ත්‍රණය අබිබවා යා හැකි ප්‍රගතිශීලී, ‘වාමාංශික’ ජනතාවාදී ආමන්ත්‍රණයක් අවශ්‍ය බවට ඔවුන් තර්ක කලහ.
මේ වනවිට දකුණු ලංකාවේ පොදුජන දේශපාලනය තුල අපි දකින්නේ කුමක්ද? රාජපක්ෂවාදය විසින් නියෝජිත දක්ෂිණාංශික ජනතාවාදයේ ආමන්ත්‍රණය වූ වාර්ගික ජාතිකවාදය සතුව පැවැති බලය ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල ලෙස බලවත් ලෙස හීන වී තිබේ. 2019 දී ගම් දනව්වල, අග නාගරික ප්‍රදේශවල සාමාන්‍ය සිංහල ජනයාගේ පොදු අවබෝධය වූයේ ‘අපිට කෙල වී තිබෙන්නේ සුලු ජාතීන්’ නිසා බවයි. මෙම පැරණි පොදුජන අවබෝධය වෙනුවට නව පොදුජන අවබෝධයක් වේගවත් ලෙස මතු වෙමින් පවතී. එනම් ‘අපිට කෙල වී තිබෙන්නේ දේශපාලඥයන් හොරකම් කල නිසා’ බවට වූ විශ්වාසයයි. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ දෙකම එක් සංස්ථාපිතයක් නියෝජනය කරන බවත්, ඔවුන් ජනතාවගේ සතුරන් බවත් වන මතවාදය ජනතා විමුක්ති පෙරමුණ විසින් දශකයක පමණ කාලයක සිට සමාජගත කරමින් සිටි අදහසකි. ඇතැමුන් මෙය සරල වංචා දූෂණ විරෝධී දේශපාලනයක් ලෙස දුටුවද, මෙම ආමන්ත්‍රණයේ දුර දිග යන ප්‍රජාතාන්ත්‍රීය හැගවුමක් පවතී. එම දේශපාලන හැගවුම වන්නේ මෙතෙක් කල් රට පාලනය කල දේශපාලන ප්‍රභූ තන්ත්‍රය ජනතාවට වග නොකියන බවය ; ඒ වෙනුවට ජනතාවට වගකියන නව දේශපාලන පර්යායක් නිර්මානය කල යුතු බවය. තම සතුරා ලෙස සුලු ජාතිකයා දකිනු වෙනුවට, දේශපාලන ප්‍රභූ තන්ත්‍රය, ඒ හා සම්බන්ධ වූ කලු ව්‍යාපාරිකයන් හා නිලධාරීන්ගෙන් සමන්විත ‘දූෂිත වලල්ල’ ට එරෙහිව විරෝධය ගොනු කරන ලෙසට මෙම ව්‍යාපෘතිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජාතික ජන බලවේගය වෙත බිම් මට්ටමින් ලැබෙමින් තිබෙන ප්‍රතිචාරය දෙස බලන විට අපට පෙනී යන්නේ මෙතෙක් ආධිපත්‍යය ඉසිලූ දක්ෂිණාංශික ජාතිකවාදී අදහස අබිබවා ප්‍රගතිශීලී ජනතාවාදී අදහසක් පොදුජනයා අතර ශක්තිමත් වෙමින් පවතින ආකාරයයි. මීට පෙර පොදුජන පෙරමුණට සහය දැක්වූ සාමාන්‍ය ජනයා ජාතික ජන බලවේගයේ ආමන්ත්‍රණය වෙත ආකර්ෂණය වීම මේ නිසා කිසිසේත්ම නරක දෙයක් නොව මහත් ප්‍රහර්ෂයෙන් පිලිගත යුත්තකි. සාමාන්‍ය ජනයා ‘බයියන්’ ලෙස සලකා, ඔවුන් දෙස සැකයෙන් හා අවඥාවෙන් බලන ලිබරල් පණ්ඩිතයන්ට මෙය ගෝචර නොවිය හැකි වුවත්, ජාතික ජන බලවේගය කතිකාව ගම් මට්ටමින් ශක්තිමත් වීම යනු තීරණාත්මක දේශපාලන පෙරලියකි. අලුත් දේශපාලන අනාගතයක් පිලිබඳ සංඥා කරන දේශපාලන සුබ නිමිත්තකි. වත්මන් නැඹුරුව දිගටම පැවතුණහොත්, ප්‍රගතිශීලී හා වාමාංශික ජනප්‍රියවාදය සම්බන්ධ තුන්වන ලෝකයේ සන්දර්භය තුල වන වැදගත් අවස්ථාවක් ලෙස ජාතික ජන බලවේගයේ නැගීම ඉතිහාසය විසින් සලකුණු කරනු ඇත.