තාම ගැසට් එක නැතැයි ආණ්ඩුව ප්‍රචාර පතුරද්දී, ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඉදිරියට

පළාත් පාලන මැතිවරණය සඳහා දිනය ප්‍රකාශ කරමින් ගැසට් පත්‍රය නිකුත් කර නැතැයි ප්‍රචාරය කරමින් මැතිවරණ ගැන විශ්වාසය නැති කරන්නට ආණ්ඩුව දඟලද්දී, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අරඹන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට දැනුම්දී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

මේ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන මස මුල් සතියේ ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය ලංකාදීපයට පැවසීයැයි සුජිත් හේවාජුලිගේ විසින් ලියූ වාර්තාවක සඳහන්ය

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු දැනටමත් අරඹා ඇතැයිද ඇය කියා තිබුණි.

පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා එක් කෝටියකට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට නියමිතය. මෙම මුද්‍රණ කටයුතු සඳහා රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වැය වනු ඇතැයි රජය මුද්‍රණාලය සඳහන් කර තිබේ.

මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මූලික අත්තිකාරම් මුදලක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇතැයිද රජයේ මුද්‍රණාලාධිපතිනිය ලංකාදීපයට කියා තිබුණි.

ඡන්ද පත්‍රිකාවලට අමතරව පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය සෙසු ලියකියවිලි මුද්‍රණයද දැනටමත් අරඹා ඇතැයි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය වැඩිදුරටත් කියා තිබුණි.