ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනය දුන් අවුරුදු දෙකේ සහනය මදි! අයිඑම්එෆ් කීවාලු

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමිකරුවකු වන චීනය තම ණය ආපසු ගෙවීම සඳහා ලබාදී ඇති වසර දෙකක සහන කාලය කිසිසේත්ම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා ප්‍රමාණවත් නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකම් ලබා දීමට නියමිතව ඇත්තේ චීනය, ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ ණය හිමියන් ගේ පූර්ණ එකඟතාවය ලබා දීමෙන් පසුවයි. ‍

ශ‍්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉන්දියාව සිය කැමැත්ත දැනුම් දී ඇති නමුත් චීනය ලබාදී ඇත්තේ ණය ආපසු ගෙවීම් සඳහා වසර දෙකක සහන කාලයකි.

මේ අතර ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම සඳහා පැරිස් සමාජය වසර 10 ක සහන කාලයක් ලබා දීමට එකඟ වී ඇති බවද එම පුවතේ තවදුරටත් දැක්වේ.

පැරිස් සමාජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දිය යුතු යැයි නිර්දේශ කර ඇති වසර 10 ණය ආපසු ගෙවීම අත් හිටුවීමේ කාල සීමාව වෙනුවට චීනයේ එක්සිම් (අපනයන – ආනයන) බැංකුව මෙරටට ලබා දී ඇත්තේ වසර දෙකක කාලයක් වීම හේතුවෙන් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය  ලබා ගැනීමේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුවට බලපෑමක් එල්ල කළ හැකි බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතද පුවතකින් පෙන්වා දී තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් සමාජය වසර 15 ක කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු යැයි නිර්දේශ කර තිබෙන බවද එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

එසේම ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ පැරිස් සමාජයේ නිර්දේශවලට අනුකූලව ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබා දෙන බව දැනටමත් ලිඛිතව දන්වා අවසන් බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කර ඇත.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණයට සහය දැක්වීමට ඉන්දියාව තීරණය කරමින් වසර 10 ක ණය ආපසු ගෙවීමේ කාල සීමාව අත් හිටුවීමක් සහ වසර 15 ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාල සීමාවක් ලබා දීමට තීරණය කර ඇතැයි ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති එකම විකල්පය වන්නේ ස්වෛරී හිඟ මුදල් පිළිබඳ ප්‍රතිපත්ති මත මෙරටට ණය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වීම බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.