හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අවවාද කර ඇති බවත් සිරිසේන මහතාට විත්ති කූඩුවට නගින ලෙසට පවසා ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
එලෙස අවවාද කර ඇත්තේ පාස්කු ඉරුදින නඩුව කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවෙක් ලෙස සඳහන් මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොනැගීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ ප්‍රහාරයෙන් පාදයක් අහිමි වු අයෙකු සහ ගරු සිරිල් ගාමිණී පියතුමාන් මෙම නඩුව ගොනුකර ඇති අතර පසුව එය ලබන මාර්තු 17 වනදා නැවත කැඳවීමට මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර ඇත.
අදාල නඩුව විවෘත අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදි මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නැගීමකින් තොරව ඉන් පිටත රැඳී සිට ඇති බවත් එම අවස්ථාවේදී පැමිණිලිකරුවන් වෙනුවන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සැකකාර මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවෙන් පිටත රැඳීසිටීම කෙරෙහි අධිකරණයේ අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් විරෝධතාව පළකර ඇත.
සිය සේවාදායකයාට එරෙහිව පවරා ඇති පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනිම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්ති කූඩුවට නැගීමක් සිදුනොකළ බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණයට පෙන්වා දී ඇති බවය.
අභියාචනාධිකරණය තම අධිකරණයට නියෝග කර ඇත්තේ එම සැකකරුට චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළිත් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබාදෙන තුරු වැළැක්වීමක් මිස ඔහුට විත්ති කූඩුවට නොනගින ලෙසට නියෝගයක් නොවන බවට පෙන්වා දුන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නඩුවේ සැකකරුගේ නම ප්‍රකාශකර නැවත අඬගසන ලෙස අධිකරණ භාෂණ පරිවර්තකවරියට නියෝග කර ඇත.
දෙවන වරට නඩුව කැඳවූ පසු මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නැගීමක් සිදුකළ අතර නඩුව නැවත කැඳවන විටදී සැකකරුවෙකු සිටිය යුතු ස්ථානය වන විත්ති කූඩුවට මින් ඉදිරියට නගින ලෙසත් ඔහුට මහෙස්ත්‍රාත්වරයා අවවාද කර ඇත.
පාස්කු ඉරු දින මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එකී ප්‍රහාර ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හා රටේ විධායක ජනාධිපතිවරයා ලෙස වළක්වා ගැනීමට අපොහොසත්වීම අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති පෞද්ගලික නඩුව ජනවාරි 27 දින කැඳවා ඇත.