නිලධාරීන් සීත කාමරවල ඉඳන් සැලසුම් හදන බවත්, ඒවා බිමට ගැලපෙන්නේ නැති බවත්, ඒ නිසා ඇමතිවරුන්ට බැණුම් ඇසීමට සිදුවන බවත් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කියා තිබෙනවා.
කතරගම පූජා භූමි සංවර්ධනය සම්බන්ධයෙන් ඇමති නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සමඟ ජනවාරි 26 වැනිදා පැවති විශේෂ සාකච්ඡාවක දී ඔහු මේ බව කීවාලු.
“සමහර නිළධාරින් මේ සැලසුම් හදන්නේ සීත කාමරවල ඉඳන්. ඒ සැලසුම් බිමට ගැළපෙන්නේ නැති අවස්ථා හුඟක් තියෙනවා. මේ නිසා රටේ සංවර්ධන කටයුතු වලින් අපේක්ෂිත අරමුණු ඉෂ්ට වෙන්නේ නෑ. හැබැයි ඒවට බනින්නේ ඒ විෂයභාර ඇමතිවරුන්ට. එහෙම නැත්නම් ආණ්ඩුවට. නිලධාරින්ගේ වැඩ නිසා තමයි දේශපාලනඥයන් වන අපිට බැනුම් අහන්න වෙලා තියෙන්නේ.” යැයි ද ඇමතිවරයා මෙහි දි කියා තිබුණා.
“කතරගම වන්දනා මාන කරන්න එන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සලසනවා වගේම ඒ පූජා භූමියේ ගෞරවය රැකෙන පරිදි ඔබතුමන්ලාගේ සැලසුම් සැකසීම වැදගත්.” කියලාත් ඇමතිවරයා කීවාලු.
එහෙත්, ඇත්තටම මෙරට බොහෝ සැලසුම් අවුල් වී තිබෙන්නේ තාක්ෂණික විෂය දන්නා නිලධාරීන්ගේ ප්‍රශ්නවලට වඩා, දේශපාලනඥයන් පටු වුවමනා මත ඒවාට ඇඟිලි ගසන්නට උත්සාහ කිරීම නිසා බවයි අප විශ්වාස කරන්නේ. නාගරික ඉදිකිරීම්, වාරි ව්‍යාපෘති, මහාමාර්ග ආදී බොහෝ ව්‍යාපෘතිවල මුල් සැලසුම් දේශපාලන වුවමනා මත වෙනස් කළ අවස්ථා ඕනෑ තරම් අප අසා තිබෙනවා. එක් එක් ඉදිකිරීම් ව්‍යාපෘතිවලට කහපාර ඉංජිනේරු ‘තොප්පියක්‘ දාගෙන ඇවිත්, කොහේට හෝ ඇඟිල්ල දිගු කරගෙන, තාක්ෂණ විශේෂඥයන් වගේ හැසිරෙන දේශපාලනඥයන්ගේ ඡායාරූප ඕනෑ තරම් අප දැක තිබෙනවා.
සීත කාමරයක ඉඳන් සැලසුමක් හැදුවාට ගැටලුවක් නැහැ, ඒ සැලසුම නිසි දත්ත සහිතව නිසියාකාරව සකස් කරනවා නම්. සීත කාමරේ වුණත්, රස්නේ කාමරේ වුණත් සැලසුම සැලසුමමයි. ජනතාවගෙන් දේශපාලනඥයන් වැඩිපුර බැණුම් අසන්නේ දේශපාලනඥයන්ගේම වැරදි නිසා මිස, නිලධාරීන්ගෙ සැලසුම්වල ප්‍රශ්න නිසා නෙවෙයි.