රනිල්ලාගෙ නිදහසේ පළමු බිල්ල, ෆේස්බුක් පෝස්ට් දැම්මා කියා කෙනෙක් අත්අඩංගුවේ!

75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් ව මහරගම දී අත්අඩංගුවට ගත් බව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි.

ඔහු 40 හැවිරිදි පුද්ගලයෙකි.

ඒ අනුව නිදහස් දින සැමරුම, සාමාන්‍ය ජනතාවගේ අදහස් මර්දනය කරමින් දරුණු ආකාරයෙන් සැමරීමට ආණ්ඩුව සූදානම් වන බව පෙනී යනවා. නිදහස් දිනයේ ‘කොහේ තිබෙන නිදහසක්ද?‘ යන තේමාවෙන් යුතුව විරෝධතා දිනයක් දැනටමත් සංවිධානය වෙමින් පවතින අතර, ඒවාට එරෙහිව පොලීසිය යොදවමින් නිදහස සැමරීමට ආණ්ඩුව සූදානම් වීම විහිළුවක්. වසන්ත මුදලිගේ සිරගතව තබා සිටින පසුබිමක, තව බොහෝ තරුණ තරුණියන් අත්අඩංගුවට ගනිමින්, සිරගත කරමින් සහ නඩුවලට උසාවිවල රස්තියාදු කරමින් පීඩාවට පත් වන මොහොතක පිනට පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිදහස සැමරීම විහිළුවක් වනු ඇති.

පුද්ගලයකු සිය ෆේස්බුක් හි මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් (පොස්ට්) පළකර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.

සැකකරු ඉහත ආකාරයෙන් මහජන කැලඹීමක් ඇතිවන ආකාරයේ අදහස් (පෝස්ට්) විවිධ ආකාරයෙන් සකස්කර  ඔහුගේ මුහුණු පොතට ඇතුළත් කර තිබූ බව පරිගණක අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

ඒ අනුව එලෙස අදහස් පළ කළ සැකකාර පුද්ගලයාගේ මුහුණු පොතේ ගිණුම පරීක්ෂාකර ඔවුන්ගේ සවිස්තර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව මහරගම ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

සැකකරුව නුගේගොඩ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.