හම්බන්තොට මහ රෝහලට පැමිණෙන රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග එකසිය විස්සකට වැඩි ප්‍රමාණයක් රෝහලෙහි නොමැති බවත්, වෛද්‍යවරුන් 38ක් රෝහල අත්හැර ගොස් තිබෙන බවත් රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින්, ලංකාදීප පුවත්පතට අමිල සම්පත් ශ්‍රී ලියා තිබෙනවා.
රාජපක්ෂ ආණ්ඩුව සමයේ, නිසියාකාර සැලසුමක් නැතිව ඉදි කළ දැවැන්ත ඉදිකිරීම් අතර හම්බන්තොට දිස්ත්රික් මහ රෝහලත් තිබෙනවා. අවශ්‍යතාවන් ඉක්මවූ දැවැන්ත ඉදිකිරීම් සිදුකළත්, මානව සම්පත් ඇතුළු අනෙකුත් කාරණා ගැන කිසි සැලසුමක් එම ඉදිකිරීම තුළ තිබී නැහැ.
මේ හේතුවෙන් රෝගීන් මෙන්ම වෛද්‍යවරු ද දැඩි අපහසුතාවට පත්ව ඇති අතර යම් අවස්ථාවල හදිසි හෘද රෝග ප්‍රතිකාර ඒකකය වසා දැමීමට සිදු වූ බවද රෝහල් ආරංචි මාර්ග කියයි.
මේ තත්ත්වය හමුවේ පසුගිය මාස කිහිපය තුළ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු වෛද්‍යවරුන් 38 දෙනෙකු රෝහල හැර ගොස් ඇති බවත් ඉදිරියේදී තවත් වෛද්‍යවරු කිහිපදෙනෙකු විදේශගත වීම සඳහා ඉල්ලුම් කර ඇති බවත් පැවැසේ.
හම්බන්තොට මහ රෝහලේ රෝගී අංශ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් තිස් පස් දෙනකු අවශ්‍ය වුවත් සිටින්නේ වෛද්‍යවරුන් තිස් දෙනකු පමණක් බවත් ඒ හේතුවෙන් ශල්‍යකර්ම මෙන්ම විශේෂඥ වෛද්‍ය සායන කරගෙන යෑම දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් වාර්තාවේ.
එමෙන්ම සාමාන්‍ය වෛද්‍යවරුන් 160දෙනකු රෝහලට අවශ්‍ය වුවද සිටින්නේ වෛද්‍යවරුන් 123 දෙනකු බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ හේතුවෙන් එදිනෙදා පැමිණෙන රෝගීන් මෙන්ම වෙනත් රෝහල්වලින්මාරු කර එවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම දැඩි ගැටලුවක් වී ඇති බවද දැනගන්නට ඇත.
මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ වෛද්‍යවරුන් විදේශගතවීම් බව රෝහල් නිලධාරියෙක් සඳහන් කළේය.
දරු ප්‍රසූතියකදී අධික රුධිර වහනය වැළැක්වීම සඳහා භාවිතා කරන ඖෂධ කිසිවක් රෝහලේ නැති අතර දියවැඩියා රෝගීන් සඳහා ලබා දෙන ඉන්සියුලින් කිසිවක්ද රෝහලේ නැති බව ඔහු කීවේය.
එමෙන්ම හෘද රෝග සඳහා ලබාදෙනා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිසිවක්ද නොමැති අතර හෘද රෝග සායන සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හිඟ බවද ඔහු පැවසීය.
වේදනා නාශක වර්ග මෙන්ම ඇදුම රෝගීන්ට ලබාදෙන ඉන්හේලර් වර්ග රෝහලේ නොමැති බවද වාර්තාවේ. ප්‍රතිකාරවලදී ලබාදෙන විශේෂ ඖෂධ මෙන්ම ස්නායු රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග කිසිවක් රෝහලේ නොමැති බවත් ඔහු සඳහන් කළේය.
මීට අමතරව අක්ෂි සායනවලදී ලබා දෙන ඖෂධ බොහොමයක් රෝහලේ නොමැති අතර චර්ම සායනවලදී ලබාදෙන ක්‍රීම් වර්ග මෙන්ම තයිරොයිඩ් ඌනතා සඳහා ලබාදෙන තයිරොක්සීන් ඖෂධයද රෝහලේ නොමැති බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර ප්‍රතිජීවක ඖෂධ හා ඉන්ජෙක්ෂන් වර්ගද රෝහලේ නොමැති බව රෝහලින් කළ විමසීමකදී එහි නිලධාරියෙක් සඳහන් කළේය.
මීට අමතරව ශල්‍යකර්මවලදී භාවිතා කරන උපකරණ ඇතුළු රෝහල් උපකරණ රාශියක් රෝහලේ නොමැති බැවින් රෝගීන් මෙන්ම වෛද්‍යවරුන්ද දැඩි අපහසුතාවකට ලක්ව ඇත.
ඉදිරි දින කිහිපය තුළ මෙම තත්ත්වය දෙගුණ තෙගුණ විය හැකි බවත් එසේ වුවහොත් රෝහලේ අංශ කිහිපයක ප්‍රතිකාර කිරීම තාවකාලිකව හෝ අත්හිටුවීමට සිදුවනු ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම උපුටාගැනීම අනිද්දා පුවත්පතට රේඛා නිලුක්ෂි හේරත් 2018 ඔක්තෝබර් මාසයේදී ලියූ ‘හම්බන්තොට හොල්මන් නගරයේ සිට‘ ලිපියෙහි හම්බන්තොට රෝහළ පිළිබඳ මෙසේ සඳහන් වුණා.
//අප සිටියේ හම්බන්තොට දිස්ත්රික් මහ රෝහල අසලය. හම්බන්තොට වරාය අසලින් හැරී. සූරියවැව දක්වා දිවෙන මාර්ගයේ ටික දුරක් ගිය කළ හම්බන්තොට මහ දිස්ත‍්‍රික් මහ රෝහල හමුවෙයි. දිස්ත‍්‍රික් මහ රෝහල වුව තවමත් රෝහලේ ප‍්‍රතිකාර කටයුතු කෙරෙන්නේ නැත. තට්ටු දහයක ගොඩනැඟිල්ලක්, අති දැවැන්ත වාට්ටු සංකීර්ණයක් සම්පූර්ණයෙන්ම පාහේ හිස් ගොඩනැඟිලි ලෙස පවතියි. රෝහල අද්දරම මාර්ගය දෙපස ‘වන අලින්ගේ අනතුරු’ පිළිබඳ අනතුරු හැඟවීම් සහිත පුවරු තිබෙයි.
හම්බන්තොට දිස්ත්රික් මහ රෝහලේ ඉදිකිරීම් ආරම්භ වී තිබුණේ 2013 ජුනි 30 වැනිදාය. ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් කෝටි 700ක නෙදර්ලන්ත ප‍්‍රතිපාදන වෙන්වී තිබුණි. රෝහල ඇඳන් 850කින් සමන්විත වෙයි. 2015 ජුනි මාසය වෙද්දී මේ ඉදිකිරීම් අවසන් කර තිබුණි. අතිදැවැන්ත රෝහලක් වන හම්බන්තොට දිස්ත‍්‍රික් රෝහලේ ප‍්‍රතිකාර කටයුතු ආරම්භ කළද රෝහලේ දැවැන්ත බවට ගැලපෙන අන්දමට රෝගීන් පැමිණෙන්නේ නැත. මෙය හම්බන්තොට හොල්මන් නගරයේ ඇති දැවැන්තම නාස්තිකාර ඉදිකිරීමකි.//
