මැතිවරණ කොමිසමේ ගැටුම්! මන්ත්‍රීවරු පවුල් එක්කම අසරණයි! – ප්‍රසන්නගේ ආන්දෝලනාත්මක කතාව

මැතිවරණ කොමිසමේ බෙදීමක් තියෙන බවත්, සමහරු ඉල්ලා අස්වෙන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා තිබෙනවා. ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ, මේ වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙවල් ගිනිතැබීමෙන් පවුල් සමග අසරණ තත්වයට වැටී සිටින බව.

මැයි 09 වැනිදා ගෝල්ෆේස් වෙත පොහොට්ටු දේශපාලුවන් සහ මැරයන් එල්ල කළ ප්‍රහාරයෙන් පසු කුපිත වූ ජනතාව විසින් ගිනිතැබූ උඩුගම්පල පිහිටි නිවස, කාර්යාලය සහ ශ්‍රවණාගාරය යළි විවෘත කරන උත්සවයකදී ප්‍රසන්න රණතුංග මහතා ඒ බව කියා තිබුණා. මේ සියල්ල ඔහු තමන්ගේ පෞද්ගලික ධනස්කන්ධයෙන් යළි හදාගෙන තිබුණා. අසරණ මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ව හඳුන්වාගන්නා නමුත්, මේ සියල්ල යළි හදන්නට තරම් පෞද්ගලික ධනස්කන්ධයකුත් ඔහුට තියෙනවා. මේවා කාට කියන්නද?

මැයි 09 නැගී සිටි ලක්ෂ ගණනක ජනතාව ‘ත්‍රස්තවාදීන්‘ ලෙස ඔහු නාමකරණය කර තිබුණේ, ත්‍රස්තවාදය පිළිබඳ අදහස විකෘති කරමින්.

ඔහු එම අවස්ථාවේදී මෙසේ අදහස් පළ කර තිබුණා.

“මැයි 09 වැනිදා ‘ත්‍රස්තවාදී‘ කණ්ඩායම් විසින් කරන අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මගේ නිවස, කාර්යාලය, පොදු පහසුකම්වලට හා දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දුන් ශාලාව ඇතුළු සියල්ල ගිනිබත් කර දැමුවා. අපි දැන් මැතිවරණයකට සුදානම් වෙනවා. දේශපාලන කටයුතු ආරම්භ කරන්න ඕනේ. උඩුගම්පල ඒ තිබුණ ස්ථානයේම නැවත අපි කාර්යාලය ආරම්භ කළා.

නිවාස අලාභානි වුණ කිසිවකුට අද වෙනකන් රජයෙන් කිසිදු වන්දියක් ගෙවන්න කටයුතු කරලා නෑ. තක්සේරු දෙපාර්තුමේන්තුව ඒ සඳහා කටයුතු කරන්න තියෙනවා. පොලිසිය කටයුතු කරන්න තියෙනවා. හානි පූර්ණ එකෙන් එයට සම්බන්ධ වෙන්න තියෙනවා. රජය ඒ වෙනුවෙන් කඩිනමින් කටයුතු කරන්න ඕනේ. මේ ගිනි තැබීමත් එක්ක බොහෝ මන්ත්‍රීවරු ඔවුන්ගේ පවුල් සමඟ අන්ත අසරණ තත්ත්වට පත්වෙලා තිබෙනවා.

මේ ගෙවල් ගිනි තිබ්බේ පොලිසිය හමුදාව හිටපු තැන්වලයි. ඒ නිසා අපි කියන්නේ ජනතාවගේ මුදල්වලින් අපිට ගෙවන්න එපා මේවාට වගකිවයුතු කණ්ඩායම් ඉන්නවා, මේවාට ගිනි තියපු කණ්ඩායම් ඉන්නවා, ඒ අයගෙන් මුදල් අරගෙන මේවා ගෙවිය යුතු බව මගේ මතයයි.

අද මේ රටේ තිබෙන ආර්ථික අර්බුදයත් එක්ක අපගේ පෞද්ගලික දේවල් වලට වඩා ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ රට අද පවතින තත්ත්වයෙන් ගොඩ ගන්නටයි. ගෙවල් ගිනි ගෙන විනාශ වූ මන්ත්‍රීවරු ඇතුළු සියළු දෙනා අද පාර්ලිමේන්තුව තුළත් පිටතත් ඒ අභියෝගය භාරගෙන කටයුතු කරනවා. අපිට කවදා හරි දවසක මේ වන්දිය ලැබිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.

පළාත් පාලන මැතිවරණයට කළට වෙලාවට සියළු නාම යෝජනා අපි භාර දුන්නා. අපිට හොඳ අපේක්ෂකයෝ කණ්ඩායමක් ඉන්නවා. ඒ සියළුම අපේක්ෂකයෝ ගම්වලට සම්බන්ධ වෙලා තිබෙනවා. අපි ඉදිරිපත් කරලා තිබෙන අපේක්ෂකයෝ සියල්ල ගම්වල වැඩ කරපු මිනිස්සුයි. කයිය ගහපු මිනිස්සු නෙමෙයි. අපේක්ෂකයෝ ගෙවල්වලට එනකොට ඒ අයගේ ඉතිහාසය බලන්න කියා මම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ගෙවල් ගිනි තියපු, මංකොල්ලකාපු, අයිඩින්ටි කාර්ඩ් එකතු කරපු මිනිස්සුද? එහෙම නැත්නම් ගමේ පාර හදපු, ලයිට් එක දාන්න, මරණේ ගෙදරට හට් එක දුන්න එදිනෙදා අත්‍යාවශ්‍යතා වලට සම්බන්ධ වුණ මිනිස්සුද?  යන වග ජනතාව තීන්දු කරයි. ඡන්ද දායකයා බුද්ධිමත්ව කටයුතු කළොත් අපිට ගැටළුවක් වෙන්නේ නෑ.

අපිට මැතිවරණය කල් දාන්න කිසිම වුවමනාවක් නෑ. මැතිවරණයකට වඩා මේ රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ කියලා රටේ මතයක් තියෙනවා. හැබැයි ඒක මම දන්නේ නෑ ජනතාව තීන්දු කළ යුතුයි.

දේශපාලන පක්ෂයක් ලෙස අපි මැතිවරණයට සම්පූර්ණයෙන් සුදානම්. මැතිවරණ කොමසාරිස්ට ප්‍රතිපාදන සම්බන්ධයෙන් ගැටළු තිබෙනවා. මැතිවරණ කොමිසමේ බෙදීමක් තිබෙනවා. සමහරු ඉල්ලා අස්වෙනවා. ලොකු අර්බුදයකට ගිහින් තියෙනවා. ස්වාධීන කොමිසන් සභාවක් ලෙස මැතිවරණ කොමිසන් සභාව පත් කළාම මැතිවරණ කොමිසමට වගකීමක් තිබෙනවා. මැතිවරණය තියෙනවාද? නැද්ද? ඒවාට අවශ්‍ය පහසුකම් තියෙනවාද? කරපු ක්‍රමවේදය හරිද? යන්න ඒ අය බලන්න ඕනේ.

මැතිවරණ කොමසාරිස් මොකක්ද කියන්නේ අපි ඒකට සුදානම්. හැමදෙයක්ම රජය රජය කියන්නේ ඇයි? මැතිවරණ කොමිසම ස්වාධීන කරන්න කියලා කිව්වා. අපි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කළාම රජයට ඒකට වග කියන්න බෑ. ඒකට මැතිවරණ කොමිසම වගකියන්න ඕනේ. ඒක ස්වාධීන ආයතනයක්.

විපක්ෂයේ ඉන්නේ මෝඩයෝ. තේරුම් අරන් කතා කරන්න ඕනේ. රටේ ඇත්ත, ඇත්ත හැටියෙන් දැකලා කතා කළොත් හරි. විපක්ෂයම තමයි අපිට කතා කරලා කියන්නේ මැතිවරණවලට යන්න එපා කියලා.

අපි සියළු දෙනා මුහුණ දුන් ගැටළුවක් තිබෙනවා. පෙට්‍රල්, ඩීසල්, ගෑස් ටික නැතුව පෝලිම්වල හිටියා. අත්‍යාවශ්‍ය බෙහෙත් ටික නැති වුණා. මිනිස්සු මොන තරම් අසරණ තත්ත්වයට පත් වුණාද? රටින් ආනයනය කළ බඩු අඩු වුණා. එය සිදු වුනේ අපේම ආණ්ඩුවක් යටතේ කියලා මම පිළිගන්නවා.

අවුරුදු 72 ඉතිහාසය තුළ ඇති වුණ යුද්ධවලට මුහුණ දීලා ඇති වුණ තත්ත්වය තුළ ආර්ථික අර්බුදයක් තිබුණා. ඒ වගේම යහපාලන ආණ්ඩුව කාලයේ ගත්ත ණය ගෙවන්න සිද්ධ වුනේ අපේ ආණ්ඩුව ඇවිල්ලා. අපි ණය ගත්තේ නෑනේ. වත්මන් ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන් ඇතුළු ආණ්ඩුව ඇතිවූ ගැටළුවලට විසදුම් ලබා දෙන ජනතාවට යම් සහන තත්ත්වයක් තිබෙනවා. ජනතාවට ඉන්ධන, ගෑස් ටික එනවා නම් අත්‍යාවශ්‍ය බෙහෙත් ටික එනවා නම් ජනතාවට ඕනේ ඒවාද ඡන්දයක්ද කියන එක ජනතාව තීන්දු කරයි”