පාස්කු ප්‍රහාරයට වසර හතරක් – මලල්ගොඩ කමිටු වාර්තාව මුදා හැරීමට තීන්දු වෙයි

Gemunu Amarasinghe/AP

පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විනිසුරු විජිත් මලල්ගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව තොරතුරු පනත යටතේ මුදා හැරීමට ජනාධිපති ලේකම් කාර්යාලය අද (26) එකඟ වීමෙන් පසු එම වාර්තාව කොමිසමටද පිටපතක් සහිතව පෙබරවාරි 09 වැනිදාට පෙර මුදා හැරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව නියෝග කළේය.

විජිත් මලල්ගොඩ කමිටු වාර්තාව මුදා හරින ලෙස වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ කාදිනල්තුමා ඇතුළු විවිධ පාර්ශ්ව ඉල්ලීම් කළත් එය මුදා නොහැරි අතර වාර්තාව මුදා හැරීමට වසර හතරකට පසු තීන්දු කිරීම තොරතුරු පනත අනුව ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

සමාජය සහ සාමයික කේන්ද්‍රයේ (සීඑස්ආර්) පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබූ මෙම අභියාචනය අවස්ථා ගණනාවකදී තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව හමුවේ කැඳවීය. මෙම වාර්තාව තොරතුරු පනත යටතේ නොදී සිටීමට ජනාධිපති ලේකම් කාර්යාලයට හැකියාවක් නැති බව සමාජය සහ සාමයික කේන්ද්‍රයේ (සීඑස්ආර්) පර්යේෂණ කණ්ඩායම වාචික කරුණු දැක්වීම්වගින් සහ ලිඛිත කරුණු දැක්වීම් මගින් අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නේය.

මීට පෙර අභියාචනය කැඳවූ අවස්ථාවේ දී සමාජය සහ සාමයික කේන්ද්‍රය කළ කරුණු දැක්වීමේදී ජනාධිපති කාර්යාලය පෙන්වාදෙන කිසිම කරුණක් මෙම වාර්තා මුදා හැරීමට අදාල නැති බව සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම පෙන්වා දීමෙන් පසු සහ ඔවුන් සඳහන් කර තිබූ ඇතැම් නඩු කටයුතු අවසන් වී ඇති බව කොමිෂන් සභාවද පිළිගැනීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයේ තීරණය අද දැනුම් දීමට නියෝග කර තිබිණි.

ඒ අනුව අද තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේදී මෙම අභියාචනය කැඳවූ අවස්ථාවේදී ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් පැමිණි තොරතුරු නිලධාරියා අදාල වාර්තාව මුදා හැරිය හැකි බව දැනුම් දුන්නේය. ඒ අනුව පෙබරවාරි 09 වැනිදාට පෙර තොරතුරු කොමිසමට ද පිටපතක් සහිතව අදාල වාර්තාව අභියාචක වෙත මුදා හැරීමට කොමිෂන් සභාව දැනුම් දුන්නේය.

එම තීන්දුවෙන් පසු දීර්ඝ කාලයක් තිස්සේ පැවැති අභියාචනා විභාගය අවසන් විය.

විජිත් මලල්ගොඩ විනිසුරුවරයාගේ ප්‍රධානාත්වයෙන් යුත් කමිටු වාර්තා මුදා හරින ලෙස වසර හතරක් තිස්සේ බොහෝ පිරිසක් ඉල්ලීම් කළ ද එය මුදා හැරීම සිදු කළේ නැත. ඒ අනුව මෙම වාර්තාව නිල වශයෙන් මුදා හැරීම සිදුවන්නේ පළමු වතාවටය.

මෙම අභියාචනා විභාගය අද කැඳවනු ලැබුවේ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, කොමසාරිස් නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන සහ කොමසාරිස් නීතිඥ ජගත් ලියන ආරච්චි යන මහත්වරුන් ඉදිරියේය. අද අභියාචනා විභාගයට සමාජය සහ සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා, එහි පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු, නීතිඥ මනුෂිකා කුරේ, තරිඳු ජයවර්ධන සහ දුරේක්ෂා ගයනි යන පිරිස සම්බන්ධ වූහ. ජනාධිපති ලේකම් කාර්යාලය වෙනුවෙන් එහි තොරතුරු නිලධාරී ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එස් කේ හේනාධීර මහතා සහභාගී විය.

TIJ