අස්වුණත් ඡන්දයට බලපාන්නෑ! – නිරීක්ෂණ සංවිධාන
මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාර්ල්ස් ඉලලා අස්වුණායැයි පළවෙන ප්‍රවෘත්තිවල සත්‍ය අසත්‍යතාව කුමක් වුණත්, එක් සාමාජිකයෙකු ඉල්ලා අස්වීමෙන් මැතිවරණයට කිසිම බලපෑමක් නොවන බව පැෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි මහතා අප කළ විමසීකදී පැවසීය.
මෙම නිලධාරිනියගේ ඉල්ලා අස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයට පමණක් යොමු කර ඇති අතර, ඒ ලියුමේ පිටපත් වෙන කිසිදු ආයතනයකට මෙතෙක් යොමු කර නැත.
මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශයේ ප්‍රධානියෙකු අප වෙත ප්‍රකාශ කළේ පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලියුම ලැබී ඇති නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය ඒ ගැන කිසිදු නිල ප්‍රකාශයක් නොකරන බවය. එයට හේතුව ලෙස එම ප්‍රධානියා කීවේ, ඒ ගැන නිල ප්‍රකාශයක් කිරීම ‘ඉල්ලා අස් වූ‘ නිලධාරිනියගේ වගකීම බවය.
ඒ අනුව මෙම ඉල්ලා අස්වීම ගැන නිල තහවුරු කිරීමක් තවමත් සිදු වී නොමැති අතර, ඉල්ලා අස්වීම හුදෙක් මාධ්‍යවලින් මවාපාන ප්‍රවෘත්තියක් පමණක් වී තිබේ. එවැනි පසුබිමක දේශපාලනඥයන් මැතිවරණය කල් දැමීම පිලිබඳ ප්‍රචාර නිකුත් කරමින් සිටී.
මේ අතර අප වෙත අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 අනුව සාමාජිකයෙක් ඉල්ලා අස් වූ පමණින් කොමිසමේ කටයුතු නතර නොවන බවය. මැතිවරණ කොමිෂන් සභාවේ ගණ පූර්ණය 3ක් බවද ඔහු සිහිපත් කළේය. ඒ අනුව මෙම ඉල්ලා අස්වීම සැබෑවක් ලෙස සැලකුවද, සාමාජිකයන් 4 දෙනෙකු සිටී.
හදිසියේවත් මැතිවරණ කොමිසමේ කටයුතු නතර කිරීමට ආණ්ඩුවේ දේශපාලන ගේම්වලින් හැකියාවක් ලැබුණහොත් කුමක් සිදුවේදැයි අප කළ විමසීමකදී හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, අනෙක් සාමාජිකයන් ඉල්ලා අස් නොවන බව තමන්ට තහවුරු කිරීමක් දැනට ලැබී ඇති බවත්, එවැන්නක් සිදු වී කොමිසමේ කටයුතු නතර වුණත්, මැතිවරණයට බලපෑමක් නොවන බවත්ය.
එයට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ, මැතිවරණය ප්‍රකාශ කිරීමට අදාල කොමිසමේ කාර්යභාරය විශාල වශයෙන් අවසන් වී තිබෙන බවය. දැන් කාර්යභාරය පැවරී ඇත්තේ මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයාට සහ දිස්ත්‍රික් මට්ටමෙන් තේරීම් භාර නිලධාරීන්ට බවය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ දැනටමත් පවතින අධිකරණ කටයුතු මෙන්ම, ඉදිරියේදී අධිකරණය ඉදිරියේ මතු විය හැකි කටයුතු පවා මැතිවරණයට බාධාවක් නොවනු ඇතැයි පොදුවේ විශ්වාස කළ හැකි බවය. එවැනි විශ්වාසයක් ඇති වීමට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ, මීට පෙර අධිකරණය ඉදිරියේ මැතිවරණ පිලිබඳ කටයුතු විභාග වූ අවස්ථාවලදී ජනතාවගේ මැතිවරණ පිළිබඳ අයිතියට ප්‍රමුඛතාවක් ලැබී අති බවත්, මැතිවරණ පැවැත්වීමට මුල් තැන දී ඇති බවත්ය.
මේ අතර කොමිසමේ අනෙකුත් සාමාජිකයන් ඉල්ලා අස් නොවනු ඇතැයි සහතිකයක් තිබෙන බව මැතිවරණ නිරීක්ෂකයෙකු වන මංජුල ගජනායක මහතාද සමාජ මාධ්‍යවලින් ප්‍රකාශ කර තිබේ.ෙ
පීඑස්එම් චාර්ල්ස් මැතිවරණ කොමිසමට පත් කරන ලද්දේ 2021 ඔක්තෝබර් මාසයේදීය. ඒ, ඊට වසරකට පෙර, එනම් 2020 දෙසැම්බර් 9 වැනිදා පත් කරපු මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතරින්, ජීවන් ත්‍යාගරාජා මහතා ඉල්ලා අස් වූ පසුය. නිමල් ජී පුංචිහේවා, එම්.එම්. මොහොමඩ්, එස්බී දිවාරත්න සහ කේපීපී පතිරණ යන අය මැතිවරණ කොමිසමේ අනෙකුත් සාමාජිකයන් වේ.
මැතිවරණ කොමිසම පත් කර වසර 5ක් යනතුරු ධුර කාලය පවතී. සාමාජිකයෙකු ඉල්ලා අස්විය හැක්කේ ජනාධිපතිවරයාට යොමු කරන ලිපියක් මගිනි.
එහෙත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පත්වීමේදී ලිපිය නිකුත් කරන්නේ කෙසේදැයි විෂය දැනුමැති නීතිඥවරයෙකු පෙන්වා දුන්නේ මෙසේය. ‘අස්වීම හරිද කියලා හොයන්න ඕනෑ. දැන් කොමිසමේ සාමාජිකයෙක් පත් කරනකොට පත් කරන්නේ ජනාධිපතිවරයානේ. ලේකම්ගේ අත්සනින් තමයි පත්වීමේ ලියුම යන්නේ. ඒත් ඒ ලියුම යවනකොට, ඒකේ පිටපත් මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල්, පාර්ලිමේන්තු ලේකම් ජෙනරල්, කථානායක, විගණකාධිපති වගේ තවත් ආයතනවලට සහ පුද්ගලයන්ට යොමු කරනවා. මේක තමයි සාමාන්‍ය රාජකාරීවල ස්වභාවය.
පීඑස්එම් චාර්ල්ස් මහත්මිය අත්දැකීම් සහිත පරිපාලන නිලධාරිනියක්. එවැනි කෙනෙකු අස් වෙනකොටත් අස්වීම ඒ ආයතනවලට පිටපත් යවා දැනුම් දෙනවා.‘
ඒ අනුව පීඑස්එම් චාර්ල්ස් මහත්මිය අස්වුණාද, නැද්ද යන්න තවමත් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඇය අස්වීම පිළිබඳ පිටපත් ප්‍රසිද්ධ කර නොමැති නිසාය. ඇතැම් විට නුදුරේදීම එය සිදුවීමේ ඉඩකඩක් ඇත. එහෙත් 25 වැනිදා රාත්‍රියේ මෙම ප්‍රවෘත්තිය පළ වූ ආකාරයත්, මෙවැනි ලියුමක් නිසි ආයතනවලට 26 වැනිදා දහවල් වනතුරු නිකුත් කර නොතිබීමත් විසින් කියා පාන්නේ මෙම සම්පූර්ණ සිදුවීම කුමන්ත්‍රණයක් බවත්, නාඩගමක් බවත්ය.
මෙලෙස හැසිරෙන නිලධාරීන් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබිම තිබේ. පීඑස්එම් චාර්ල්ස් මහත්මිය 2021 පත් වූ අවස්ථාවේ සිට වසර දෙකකට වැඩි කාලයක් වැටුප් ලබාගෙන ඇත්තේ, ස්වාධීනව මැතිවරණ කටයුතු කරගෙන යෑමටය. ඇය මෙතරම් කාලයක් තනතුරේ සිටිමින්, සියලු වැටුප් සහ පහසුකම් ලබාගත්තාට පසු, හරියටම මැතිවරණයක් ප්‍රකාශ කළ අවස්ථාවක ඉල්ලා අස්වීම පැහැදිලිව තමන්ගේ තනතුරේ වගකීම් පැහැරහැරීමකි.
මෙම ක්‍රියාව නිසා සිදුවිය හැකි සියලු ප්‍රතිඵලවලට ඇය වගකිව යුතුය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෑතකදී තමන්ගේ රාජකාරී පැහැරහැරීම නිසා දැවැන්ත වන්දියක් ගෙවීමට නියම වූ හැටි කිසිවෙකුට අමතක නැත. රටේ ජනාධිපතිවරයෙකුට එසේ සිදු වී නම්, නිලධාරිනියකට නීතියෙන් ගැලවීමට නොහැකි වනු ඇත.
මෙම නිලධාරිනියට බලපෑම් ආවේ කාගෙන්ද, මෙය කුමනාකාරයේ කුමන්ත්‍රණයක්ද ආදී සියලු කරුණු ඉදිරියේදී තහවුරු කරගත යුතුය.
මැතිවරණ කල් දැමීම සෙල්ලමක් හෝ විහිළුවක් නොවේ. එය බරපතල ප්‍රතිඵල ඇති කරන භයානක ක්‍රියාවකි. එයට සම්බන්ධ වූ සියලු දෙනා නීතිය ඉදිරියට පැමිණවිය යුතුය.