ලංකාවේ දූෂිත මූල්‍ය ප්‍රවාහ ගැන මහබැංකු අධිපති සහ පෞද්ගලික ව්‍යාපාරිකයන් ප්‍රසිද්ධ කළ සාවද්‍ය අදහස්වලට වෘත්තිය සමිති ලබාදුන් ප්‍රතිචාරය!

නීතිවිරෝධී විදේශ විනිමය රැගෙන යාම් සම්බන්ධයෙන් මහ බැංකු අධිපති, JAAF, TEA  සහ රොහාන් මාසකෝරාල දැක්වූ  නොමඟ යවන සුළු ප්‍රතිචාර

■ සමස්තයක් ලෙස අපනයන අංශයේ වැටුප් වැඩි නොකිරීම අපනයනකරුවන්ට නීතිවිරෝධී ලෙස විදේශයන්හි ආදායම් රඳවා ගැනීමට හැකි වන මූලික සාධකය වේ.

■ අපනයනකරුවන් තම ආදායම් නීතිවිරෝධී ලෙස විදේශයන්හි රඳවා තබා ගැනීම මගින් දේශීය මූල්‍ය පද්ධතිය තුළ විදේශ විනිමය ලබා ගැනීමේ හැකියාව නැති වන අතර අධි උද්ධමනයක් ඇති කරයි.

■ අයථා ලෙස ඉන්වොයිසිකරණය මගින් 2009 සිට 2018 දක්වා අපනයන සහ ආනයන අංශ ඇමෙරිකානු ඩොලර් බිලියන 40කට වැඩි මුදලක් විදේශයන්හි රඳවාගෙන ඇත.

■ මෙසේ නීති විරෝධී ලෙස විදෙස් රටවල රඳවා ඇති මුදල් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට සහ වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීමට වහාම පියවර ගන්නා ලෙස වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන මහ බැංකුවට සහ රජයට බලකරයි.

■ අපනයන හා ආනයන අංශය විසින් සිදු කරනු ලබන මෙවන් නීතිවිරෝධී විදේශ විනිමය ගලායාම් විමර්ශනය කිරීම සඳහා ලබැඳියාවන් අතර ගැටුම් නොමැති දක්ෂ පුද්ගලයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවිය යුතු බවට වෘත්තීය සමිති යෝජනා කරයි.

■ රජය ජාත්‍යන්තර බේරුම්කරුවෙකු හරහා ශ්‍රී ලංකාවේ විදේශ ණය පිළිකුල් සහගත (ඕඩියස්) ණය ලෙස ප්‍රකාශයට පත් කළ යුතුය.

ඇඟලුම්, තේ සහ රබර් අපනයනකරුවන්ගේ සංගම් පසුගියදා නිවේදනය කළේ සාවද්‍ය  ඉන්වොයිසිකරණය සහ අපනයන මගින් ඉපැයූ විදේශ විනිමය ආදායම ආපසු රටට නොගෙන ඒම වැනි බරපතල ආයතනික වංචා චෝදනා සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කරන ලද චෝදනා පිළිබඳ නිවැරදි තත්වය වාර්තා කළ යුතු බවයි.

අපනයනකරුවන්ගේ මෙම ප්‍රකාශ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව සිය චෝදනා ඉල්ලා අස්කර ගන්නා බවක් පෙනෙන්නට ඇති අතර, එය ආර්ථික වශයෙන් විනාශකාරී ආයතනික වංචාවකට ඉඩ දෙන්නක් විය හැකි බවට සංඥා කරයි.

භාණ්ඩ අපනයනකරුවන්ට අපනයන ආදායම් රුපියල්වලට පරිවර්තනය කිරීමකින් තොරව ලංකාවට ගෙන්වා රඳවා තබාගත හැකි බවට 2022 දෙසැම්බර් 8 වැනි දින සම්මුඛ සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා ලංකාවේ මූල්‍ය නීතිය වැරදි ලෙස අර්ථකථනය කරමින් ප්‍රකාශ කරයි. රටේ නීතියේ සඳහන් වන්නේ මුදල් ආපසු හරවා යවන්නේ නම් එම පරිවර්තනය දේශීය වාණිජ බැංකු හරහා ආපසු ගෙන්වා ගත් දිනට පසු ඊළඟ මාසයේ පළමු සතිය වන විට කළ යුතු බවයි (28. 10. 2021) දිනැති අංක 2251/42 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ  CBSL FAQ හි අංක 8 බලන්න). සේවා අංශයේ අපනයනකරුවන්ට පමණක් මුදල් පරිවර්තනය කිරීමකින් තොරව ආපසු ගෙන්වා ගැනීමට නීතියෙන් අවසර ඇත.

අපනයන ව්‍යාපාරිකයන් තම වංචනික ක්‍රියාවන් සැඟවීමට ඉදිරිපත් කරන තර්ක තම ආරක්ෂාවට පමණක් ඉදිරිපත් කරන්නක් බව පහත දැක්වෙන කරුණුවලින් පෙන්වමු. ඒ අනුව, අපි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේම ක්‍රියා පටිපාටි සහ අපනයන අංශයේ ගතිකතාවයන් පිළිබඳ සවිස්තරාත්මක විගණනයක් සිදු කර රටට අහිමි වූ විදේශ ආදායම නැවත ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.

ඒකාබද්ධ ඇඟලුම් සංගමයේ සංසදයේ ළාමක ප්රබන්ධ

කඩාවැටෙන ආර්ථිකයේ බර හේතුවෙන් තම බලාපොරොත්තු සුන්වීම නිසා මහබැංකුවේ අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ විවිධ විදේශ විනිමය ගෙවීම් සපුරාලීමෙන් පසු ඇඟලුම් අපනයනකරුවන් ගේ අගය එකතු කල හෝ ඉතිරිවන ආදායම දළ ආදායමෙන් 55%ක් පමණ වන බවත් අපනයන ආදායමෙන් 14%ක් පමණක් ආපසු මෙරටට ගෙන්වා ගන්නා බවයි. අපනයන ආදායමේ ඉතිරි 41% ගැන ඒකාබද්ධ ඇඟළුම් සංසදය පවසන්නේ ඔවුන් දේශීය සැපයුම්කරුවන්ට, විශේෂයෙන් ඛනිජ තෙල් මිලදී ගැනීම් සඳහා විදේශ විනිමය වලින් ගෙවූ බවයි. ඇඟලුම් කම්හල්වලට ඔවුන්ගේ දළ ආදායමෙන් 41%ක ප්‍රමාණයකට ඛනිජ තෙල් පරිභෝජනය කළ නොහැකි බව ඕනෑම පුද්ගලයකුට වැටහෙනු ඇත. ඔවුන්ගේ ප්‍රකාශයන් සත්‍ය නම්, 2022 පළමු මාස 11 තුළ ශ්‍රී ලංකාවේ සමස්ත ඛනිජ තෙල් වියදම වන ඇමරිකානු ඩොලර් බිලියන 4.16 න් ඇඟලුම් අපනයනකරුවන් පමණක් 54% ක් හෝ ඇමරිකානු ඩොලර් බිලියන 2.24 ක් වටිනා ඉන්ධන පරිභෝජනය කරනු ඇත, එය විය නොහැකි ය.

දෙවනුව, ඇඟලුම් අපනයනකරුවන් දේශීය සැපයුම්කරුවන්ගෙන් යෙදවුම් කිහිපයක් පමණක් ලබා ගන්නා අතර ඉතිරි සියල්ල ආනයනය කරන බව සාමාන්‍ය දැනුමයි. දේශීය සැපයුම්කරුවන්ගේ යෙදවුම් සාමාන්‍යයෙන් ගෙතූ රෙදි (knitted fabric), මුද්‍රණ වියදම් සහ ඇසුරුම් ඇතුළත් වේ. ඒවා දළ ආදායමෙන් 45% ක පමණ යෙදවුම් පිරිවැයේ කොටසක් වෙයි. එබැවින්, සියලුම දේශීය යෙදවුම් විදේශ මුදලින් ලබා ගත්තද, දළ ආදායමෙන් යෙදවුම් පිරිවැයට ආරෝපණය කර 45% න් මෙම වියදම් සියල්ල ආවරණය වේ. එබැවින්, විදේශ විනිමය යෙදවුම් පිරිවැය අඩු කිරීමෙන් පසු අපනයන ආදායම (එය අවශේෂ ආදායම ලෙස හැඳින්වේ) සම්පූර්ණයෙන්ම  රටට ගෙන ආ යුතු අතර, අපනයනකරුවන් විසින් ප්‍රකාශ කරන 55% ක් වූ අගය එකතු කිරීම හාස්‍යයක් නොවීමට නම් මෙම ආදායම් ප්‍රතිශතය රටට ගෙන ආ යුතුය.

ඇඟලුම් ක්‍ෂේත්‍රය තාක්ෂණික වශයෙන් පසුගාමී ක්‍රියාවලියක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අඩු වැටුප් සහ භෞතික වශයෙන් විනාශකාරී දීර්ඝ ශ්‍රම කාලයක් සහ සේවකයින් කෙරෙහි දැඩි පීඩාකාරී තත්වයක් ඇති කරයි. ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදනය ආරම්භයේ සිටම, නූල් සහ යන්ත්‍ර සූත්‍ර වැනි යෙදවුම් නිෂ්පාදනය සඳහා අතිරික්ත මුදල් නැවත ආයෝජනය කිරීමට ව්‍යාපාර අසමත් විය. ඊට පටහැනිව, ඔවුන් බොහෝ දුරට සාවද්‍ය ඉන්වොයිසිකරණය හරහා ප්‍රාග්ධනය රටින් පිටතට ගෙන ගොස් ආර්ථිකයේ ඉතිරිව ඇති අතිරික්තය සුඛෝපභෝගී පරිභෝජන හරහා විනාශ කර ඇත.

තේ අපනයනකරුවන්ගේ සංගමය අපනයන ආදායම් නැවත මෙරටට ගෙන ඒම පිළිබඳ කථා ගොතයි

අපනයන ආදායම් රටට ගෙන්වා නොගැනීම පිළිබඳව JAAF විසින් කරන ලද නොමඟ යවනසුළු ප්‍රකාශයෙන් පසුව, තේ අපනයනකරුවන්ගේ සංගමය ද ඒ හා සමාන අපැහැදිලි මතයක් ප්‍රකාශ කළේය. මෙම අංශයේ අගය එකතු කිරීමේ අනුපාතය මුළු නිෂ්පාදනයෙන් 90%ක් වන අතර නැවත මෙරටට ගෙන්වා ගැනීමේ අනුපාතය දළ ආදායමෙන් 23%ක් පමණක් බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර තිබුණි. ඊට ප්‍රතිචාර වශයෙන්, තේ අපනයනකරුවන්ගේ සංගමය කියා සිටියේ එම අංශයේ පිරිවැය දළ ආදායමෙන් 75% වීම හේතුවෙන් රටෙන් පිටත ආදායම රඳවා ගැනීමේ වාසනාව ඔවුන් භුක්ති නොවිඳින බවය.. මෙය තේ අපනයනකරුවන්ගේ සංගමය විසින් කරණ නිර්ලජ්ජිත කරුණු විකෘති කිරීමකි.

2021 දී තේ කිලෝවක නිෂ්පාදන පිරිවැය රු. 533.13ක් වූ අතර අපනයන මිල කිලෝවක් රු. 920.76 ක් (ශ්‍රී ලංකා මහ බැංකුව) එනම් නිෂ්පාදන පිරිවැයට වඩා 72.7% පමණ වේ. වඩා වැදගත් වන්නේ රුපියලේ අගය 80% ට වඩා අවප්‍රමාණය වීම සහ තේ සඳහා ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් 2021 දෙසැම්බර් සිට 2022 ඔක්තෝම්බර් මාසය වන විට තේ වල අපනයන මිල 116% ට වඩා ඉහල යමින්  තේ කිලෝවක් රුපියල් 1990.00 ක් පමණ වීමයි. (ශ්‍රී ලංකා තේ මණ්ඩලය)  කෙසේ වෙතත්, වතු හිමියන් සහ අපනයනකරුවන් තේ ඒකක පිරිවැයෙන් 70-80% ක් පමණ වන වැටුප් වැඩි කර නොමැති හෙයින් ඒකක නිෂ්පාදන පිරිවැය 20-30% ට වඩා වැඩි විය නොහැක. එබැවින් රුපියල කඩාවැටීම, ලෝක වෙළෙඳපොළේ තේ මිල වැඩිවීම, වැටුප් වැඩි නොකිරීම සමඟ එකට යමින් 2022 දී වතුවල සහ බලයලත් තේ අපනයනකරුවන්ගේ ලාභය 2022 දී විශාල ලෙස වැඩි වූ අතර එම හේතුවෙන් මෑතදී වතුවල කොටස් මිල දර්‍ශකය විශාල ලෙස ඉහල ගියේය.

වර්තමාන මිල ගණන් අනුව, ඒකක නිෂ්පාදන පිරිවැය සාමන්‍ය අපනයන මිලෙන් 32%ක් පමණක් වන අතර, එය තේ අපනයනකරුවන්ගේ සංගමය කියන 75% අනුපාතයෙන් අඩකටත් වඩා අඩු අගයක් බව ඇස්තමේන්තු කළ හැක. තේ ඒකකයක අපනයන මිල නිෂ්පාදන පිරිවැයට වඩා 210% ක පමණ වැඩි අගයකි. වෙනත් වචන වලින් කිවහොත්, තේ වල සාමාන්‍ය අපනයන මිල 2022 දී එහි ඒකක නිෂ්පාදන පිරිවැයට තුන් ගුණයකට වඩා වැඩිය. මෙමගින් තේ අපනයනකරුවන්ගේ සංගමය අපට විශ්වාස කිරීමට සලස්වන දෙයට පටහැනිව අපනයන ආදායමෙන් වැඩි කොටසක් රටින් පිටත රඳවා ගැනීමට හැකි වන අතර මහ බැංකුව විසින් මෙම අංශයේ 23%ක් වූ ආපසු ගෙන්වා ගැනීමේ අනුපාතය මූලික ගණනය කිරීම සාධාරණීකරණය කරයි.

මෙයින් අදහස් කරන්නේ සමස්තයක් ලෙස අපනයන ක්ෂේත්‍රයේ වැටුප් වැඩි නොකිරීම අපනයනකරුවන්ට නීතිවිරෝධී ලෙස විදේශයන්හි ආදායම් රඳවා ගැනීමට හැකි වන මූලික හේතුව බවයි. මෙය දේශීය මූල්‍ය පද්ධතියේ විදේශ විනිමය හිඟයක් සහ අධි උද්ධමනයක් ඇති කරයි. එබැවින් අපනයන අංශයේ වැටුප් රුපියල අවප්‍රමාණය වීමේ අනුපාතයට අනුව වැඩි කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

නීතිවිරෝධී ප්‍රාග්ධන ගලනය පිළිබඳව මාසකෝරාළ සහ මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රතිචාරය

වොෂින්ටනය පදනම් කරගත් Global Financial Integrity වාර්තාව උපුටා දක්වන ආකාරයට, 2009 සිට 2018 දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 40 කට වඩා වැඩි ප්‍රමාණයක් අන්තර් ජාතික වෙළඳාම සාවද්‍ය ඉන්වොයිසිකරණය හරහා ව්‍යාපාරික ප්‍රභූ තන්ත්‍රය විසින් රටින් පිටමන් කර ඇත. එම වාර්තාව තවදුරටත් සඳහන් කරන්නේ, මෙම අගය ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික වෙළඳාම සාවද්‍ය ඉන්වොයිසිකරණය පිළිබඳ දත්ත අවතක්සේරු කිරීමක් කරන බවයි. එය විවෘත ගිණුම් මත පදනම් වූ වෙළඳාමට පමණක් සිය විශ්ලේෂණය සීමා කර ඇති අතර ණයවර ලිපි මත පදනම් වූ වෙළඳාම සහ සේවා අංශය නොසලකා ඇත. ණයවර ලිපි මත පදනම් වූ වෙළඳාම සහ සේවා ශ්‍රී ලංකාවේ සමස්ත ජාත්‍යන්තර වෙළඳාමෙන් විශාල කොටසකට හිමිකම් කියන බව සඳහන් කළ යුතුය.

නීතිවිරෝධී ප්‍රාග්ධන ගලනය පසුගිය දශක කිහිපය තුළ බදු ආදායම කඩා වැටීමටද හේතු විය, එය 1990 ගණන්වල මැද භාගයේ ව්‍යාප්ත වූ වෙළඳාම සාවද්‍ය ඉන්වොයිසිකරණය හරහා ප්‍රාග්ධන ගලනයේ ප්‍රධාන නියෝජිතයන් වූ BOI සමාගම්වල ව්‍යාප්තියට සමපාත වේ (පහත ප්‍රස්ථාරය බලන්න). දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ බදු ආදායම 1990 දශකයේ මැද භාගය වන තෙක් සාමාන්‍යයෙන් 22% සිට 24% දක්වා විය. එය 2022 වන විට 8.7% දක්වා පහත වැටුණේ මූලික වශයෙන් අපනයන සහ ආනයන අව ඉන්වොයිසිකරණය සහ ආනයනවල අධි ඉන්වොයිසිකරණයේ ප්‍රතිඵලයක් වශයෙනි, BOI සමාගම්වල යෙදවුම් සඳහා ආනයන බද්දක් නැති අතර ඔවුන් භුක්ති විඳින අනෙකුත් විශාල බදු සහන හේතුවෙන් ආනයන අධි ඉන්වොයිසිකරණයට උචිත වූ නෛතික පදනම සැකසී ඇත. 2023 අයවැය මගින් ජනතාව මත කුරිරු ලෙස බදු පැනවීමෙන් පසුවත්, රජයට 2023 දී අපේක්ෂා කළ හැක්කේ  දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස බදු ආදායම 11.3% දක්වා 2.6% ක වැඩිවීමක් පමණි. එමෙන්ම මෙම වැඩිවීම පවා යථාර්ථවාදී නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පුරෝකථනය කර ඇත. වසර ගණනාවක් පුරා රාජ්‍ය ආදායම් අනුපාතයේ දැවැන්ත කඩාවැටීම හා සංසංදනය කල විට 2023 දී අපේක්‍ෂිත සුළු ඉහල යාම නොසලකා හැරිය හැක. කෙසේ වෙතත්, මෙම දවැන්ත හා ව්‍යසනකාරී බදු ආදායම අහිමි කිරීමට තුඩු දෙන මහාපරිමාණ සමාගම්වල දූෂණයට විසඳුම් සෙවීමට රජයට හෝ මහ බැංකුවට කිසිදු අදහසක් නැති බවක් පෙනෙන්නට තිබේ.

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් රොහාන් මාසකෝරල පවසන්නේ රටේ නීතියට අනුව ප්‍රාග්ධනය පිටතට ගෙනයාම සම්බන්ධයෙන් ව්‍යාපාරවලට දොස් පැවරිය නොහැකි බවයි. ව්‍යාපාර විසින් ප්‍රාග්ධනය පිටරටට ගෙන ගොස් ඇති බව පිළිගැනීම ගැන අපි මාසකෝරල මහතාට ස්තූතිවන්ත වන අතර දැන් වෙළඳාම අයථා ඉන්වොයිසිකරණය හරහා ප්‍රාග්ධනය රටින් පිට කිරීමට අයිතිය ලබා දෙන ලංකාවේ නීති මොනවාදැයි පෙන්වීම මාසකෝරල මහතාට භාරය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ 1994 සිට 2016 දක්වා කාලය තුළ ව්‍යාපාරවලට ඔවුන්ගේ විදේශ විනිමය ආදායම රටින් පිට රඳවා ගැනීමට නීතියෙන් අවසර දී ඇති බවයි (2022 දෙසැම්බර් 8 වැනි දින ඔහුගේ සම්මුඛ සාකච්ඡාව බලන්න). ශ්‍රී ලංකාවට අයත් ව්‍යාපාර විසින් උත්පාදනය නොකරන ලද විදේශ විනිමය පවා නීතිවිරෝධී ලෙස රටින් පිට කිරීමට ඔවුන්ට අවසර දී ඇති අතර සාවද්‍ය ඉන්වොයිසිකරණයේ යෙදීමට ව්‍යාපාරවලට අවසර දී ඇති නීතිය කුමක්ද?

ඇත්ත වශයෙන්ම, 2006 දී “මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම අවහිර කිරීම“ (Preventing Money Laundering and Combating the Financing of Terrorism) යන තම ප්‍රකාශනය මගින් අපට සාවද්‍ය ඉන්වොයිසිකරණය සම්බන්ධයෙන් අනතුරු ඇඟවූයේ අන් කවරෙක්වත් නොව මහ බැංකුවයි. එහි සඳහන් වන්නේ “මුදල් විශුද්ධිකරණය කරන්නන් විදේශ විනිමය රටින් පිට කිරීම සැඟවීමට ආනයන හා අපනයනවල සාවද්‍ය මිලකරණය (වැරදි ඉන්වොයිසි) හරහා ඔවුන්ගේ විශුද්ධිකරණය කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ජාත්‍යන්තර වෙළඳාම භාවිතා කිරීමට නැඹුරු වෙයි. උදාහරණයක් ලෙස, ආනයන අධි ඉන්වොයිසිකරණය හරහා රටින් පිටතට විදේශ විනිමය රැගෙන යා හැකිය.“ පසුගිය වසර 12ක කාලය තුළ අපනයනකරුවන් විසින් ඩොලර් බිලියන 53ක් විදේශගත කර ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ අනුව, නීති විරෝධී ලෙස ගෙන ගොස් ඇති මුදල් ආපසු මෙරටට ගෙන්වා ගැනීමට සහ වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස අපි මහ බැංකුවට සහ රජයට බලකර සිටිමු. මේ සම්බන්ධයෙන් විමර්ශනය කර දැඩි දඬුවම් සහ ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා ලබැඳියාවන් අතර ගැටුමකින් තොර දක්ෂ පුද්ගලයින්ගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවන ලෙස ද අපි රජයට බලකර සිටිමු.

ණය අවලංගු කිරීම සඳහා ඉල්ලීම

ජාතික ඉතිරිකිරීම් සහ බාහිර ණය ගැනීම් නීතිවිරෝධී ලෙස ආර්ථිකයෙන් පිට කළ විට, රටකට සහ එහි ජනතාවට පැවැත්මට ඇති හැකියාව ඉක්මනින් අවසන් වනු ඇත. කෙසේ වෙතත්, ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජනපද දේශීය නීතිය යන දෙකම පවසන්නේ බාහිර ණය ගැනීම්වල නිදන්ගත අවභාවිතය පිළිබඳ පුලුල්ව පැතිරුනු සාක්ෂි ඇති විට එය එසේ නොවන බව ඔප්පු කිරීමේ භාරය ණයහිමියන් මත පවතින බවයි.

ණයහිමියන් විසින් අරමුදල් ආපසු ලබාගත යුත්තේ එය අයථා ලෙස පරිහරණය කිරීම හෝ අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන අයගෙන් මිස ඔවුන්ගේ පාලනය යටතේ පීඩාවට පත් වූ ජනතාවගෙන් නොවේ. ජනතාවට ප්‍රතිලාභ ලබා නොදෙන ස්වෛරී ණය පිළිකුල් සහගත චන අතර එම ණය ආපසු ගෙවීම අනුප්‍රාප්තික රජයකට පැවරිය නොහැක. මෙම මූලධර්මය අදාළ කර ගනිමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බේරුම්කරුවෙකු හරහා ණය නීත්‍යානුකූල නොවන ලෙස සලකන බව ශ්‍රී ලංකාවට ප්‍රකාශ කළ හැකිය. බොහෝ අප්‍රිකානු ජාතීන් දැනටමත් එක්සත් ජාතීන්ගේ වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ සමුළුව සමඟ එක්ව එයම ඉල්ලා සිටින්නේ පසුගිය දශකය තුල වෙළඳාම සාවද්‍ය ඉන්වොයිසිකරණය හරහා සිදු වූ නීතිවිරෝධී ප්‍රාග්ධන ගලනයෙන්, විදේශ ණය සහ ආධාර හරහා ලැබුණු ප්‍රාග්ධනයට වඩා වැඩි ප්‍රාග්ධනයක් තම කලාපයෙන් ඉවතට ගත් නිසාය.

ලොව පුරා සිටින කීර්තිමත් ආර්ථික විද්‍යාඥයින් සහ විද්වතුන් 182 දෙනෙකුගේ අත්සනින් යුතුව මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශය, වෙළඳාම සාවද්‍ය ඉන්වොයිසිකරණය හරහා ගලා යන නීතිවිරෝධී ප්‍රාග්ධනයේ බලපෑම උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ ණය අවලංගු කිරීම පිළිබඳ මෙම ස්ථාවරයට සහාය දක්වයි. පසුගිය වසර 15 තුළ ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණයට වඩා නීතිවිරෝධී ප්‍රාග්ධන ගලනයක් ඇස්තමේන්තු කර ඇති බව ඔවුහු අවධාරණය කරති. ඒ වෙනුවට රජය දරාගත නොහැකි වක්‍ර බදු, පෞද්ගලීකරණය සහ අත්‍යාවශ්‍ය  වියදම් කප්පාදු කරමින් ආර්ථික කඩාවැටීමේ පිරිවැය තනිකරම ජනතාව මතට තල්ලු කරමින් සිටී. මේ අසාධාරණ සහ තිරසාර නොවන තත්ත්වය වහා අවසන් කළ යුතුය.

ලංකා බැංකු සේවක සංගමය, ලංකා වතු සේවක සංගමය, ලංකා කම්කරු සම්මේලනය, ලංකා ගුරු සංගමය, ඩාබිඳු සංගමය, ඉංජිනේරු සේවා වෘත්තීකයන්ගේ සංගමය, අතුරුදන් වූවන්ගේ පවුල් (මානව හිමිකම් සංවිධානය), මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, සමාජ සාධාරණත්වය සඳහා වූ ව්‍යාපාරය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරය, ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය, දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාව, උතුරු දකුණු සහෝදරත්වය කණ්ඩායම, ජනතා වෘත්තිකයන්ගේ මධ්‍යස්ථානය, ප්‍රොටෙක්ට් සංගමය, Satahan Media, ශ්‍රී ලංකා සියළුු විදුලි සංදේශ සේවක සංගමය, ස්ටෑන්ඩ්අප් සේවක සංගමය , රෙදිපිළි හා ඇඟලුම් සේවක සංගමය, එක්සත් ධිවරයින්ගේ සහ ධීවර සේවකයන්ගේ කොන්ග්‍රසය, තරුණ නීතීඥවරුන්ගේ සංගමය

සුගත් කුලතුංග – ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති, මහාචාර්ය එම්.පී.එස්. මාගමගේ – ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති, ග්‍රේෂන් ඒ පීරිස් – ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති සහ සැපයුම් දාම විශේෂඥ, ආචාර්ය කල්ප රාජපක්ෂ – ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අමාලි වෙදගෙදර – දේශපාලන ආර්ථික විද්‍යාඥ සහ ආචාර්ය උපාධිධාරිනී, ධනුෂ පතිරණ – ආර්ථික විද්‍යාඥ වෙනුවෙන්

ස්වස්තිකා අරුලිංගම්,

සභාපති,

වාණිජ හා කාර්මික සේවක සංගමය,

එක්සත් කම්කරු සම්මේලනය

2023 ජනවාරි 21 දින