රටේ පවතින ආර්ථික අර්බුදයට පෞද්ගලික අංශය පවා වගකිව යුතු බවත් රජය හෝ දේශපාලනඥයන් පමණක් නොවන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ චෝදනා කළේය.
මේ ප්‍රකාශය කර තිබුණේ, රටේ පෞද්ගලික අංශයේ ඉහළම ව්‍යාපාරික එකමුතුව වන ලංකා වාණිජ මණ්ඩලයේ ‘ආර්ථික දැක්ම‘ නම් ප්‍රකාශයනය එළිදැක්වූ අවස්ථාවේදීය.
කෙසේ වෙතත් මහබැංකු අධිපතිවරයා මෙයට පාදක කරගෙන තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ පසු පෞද්ගලික අංශයට බදු අඩු කිරීමට අවශ්‍ය වූ නිසා රජයේ ආදායම අඩු වූ බව පෙන්වා දෙමින්ය. මේ වන විට ලංකාවේ ඩොලර් විශාල ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් පිටරට පැන්නීම සඳහා දූෂිත මූල්‍ය ප්‍රවාහ යොදාගනිමින් පෞද්ගලික අංශයේ සිදු වූ වංචා සහගත ක්‍රියාවන් මෙම අදහස් දැක්වීමට පාදක කරගෙන තිබුණේ නැත.
“පසුගිය කාලයේ සමහර අය බදු අඩු කරන්න කියලා ඉල්ලලා රට අර්බුදකාරී තත්ත්වයකට පත් කළා,” ආචාර්ය වීරසිංහ එසේ පැවසීය.
නව බදු වැඩිකිරීම් පවා පෞද්ගලික අංශයේ විරෝධයට හෝ හෙළා දැකීමට ලක්වන බව ඔහු වැඩිදුරටත් කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ප්‍රකාශයට පත් කරන ලද පුළුල් බදු කප්පාදුව හේතුවෙන් 2021 දී දළ දේශීය නිෂ්පාදිතයට ලැබෙන මුළු බදු ආදායම ඓතිහාසික අඩුම අගය වූ 7.3% සහ 2022 දී 7.8% ලෙස ගණන් බලා ඇත. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රෙජීමය එය මේ වසරේ 10.3% දක්වා ඉහළ නැංවීමට බලාපොරොත්තු වන්නේ මෑතකාලීන බදු අනුපාත ඉහළ නැංවීමේ සහ නව ක්‍රියාමාර්ගවල සහාය ඇතිව ය. කෙසේ වෙතත් මහබැංකු අධිපතිවරයා සහ ආණ්ඩුව මෙම බදු වැඩි කිරීමට සූදානම් වන්නේ, වැඩකරන ජනතාව මත වැඩිපුර බදු බර පැටවීමෙනි. ඉහළම ධනවතුන්ගේ වත්කම්වලට බද්දක් ගැසීමෙන් නොවේ.
එමෙන්ම මහබැංකු අධිපතිවරයා කියන ආකාරයට ආර්ථික අර්බුදයට වගකිව යුතු පෞද්ගලික අංශයටම, ලංකාවේ සේවාවන් පවරාදීමෙන් රටට ආර්ථික සහනයක් අත්පත් කරගන්නට හැකි වේයැයි කල්පනා කළ නොහැක.