ලංකාව වැනසූ, ඉතිහාසේ හොරකම ගැන කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල පිළිගනී! ඒත් ඒ ගැන ප්‍රමාණවත් නීති නැහැලු!

ලංකාවේ මුදල් පිටරට පැන්නීම එදා ඉඳන් සිදුවෙන බවත්, එය පාලනය සඳහා ප්‍රමාණවත් නීති නොමැති බවත්, රජය මීට වඩා කටයුතු කළ යුතු බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවා.

රජයේ නිල තීන්දු දැනුම්දෙන කැබිනට් මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන පෙන්වා දුන්නේ, මෙය කාලයක් තිස්සේ ලංකාවේ සිදුවන බවත්, මීට කලින් විදේශ විනිමය පිටමං කළ පුද්ගලයන් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කළ අවස්ථා තිබෙන බවත්.

මෙහිදී මාධ්‍ය වේදියා විමසා සිටියේ, මෙරට සමස්ත ණය අර්බුදයට වඩා විශාල මුදල් ලංකාවෙන් අනීතිකව දූෂිත මූල්‍ය ප්‍රවාහ ලෙස පිටමං කර ඇතැයි ලොවපුරා ඉහළම ආර්ථික විශේෂඥයන් 182ක් ඒකාබද්ධ ප්‍රකාශයකින් පෙන්වා දී ඇති පසුබිමක ඒ ගැන ක්‍රියාමාර්ග ගන්නවාද කියායි. ලංකාවෙන් ඩොලර් බිලියන 53ක් තරම් දැවැන්ත මුදලක් පිටමං කර ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කළ ප්‍රකාශයත් මාධ්‍යවේදියා එහිදී උපුටා දැක්වුවා.

මේ ගැන කරුණු දන්නා අය පෙන්වාදෙන පරිදි, මෙය දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ සිදුව ඇති විශාලම මහා පරිමාණ සොරකම ලෙස සැලකිය හැකියි. බැඳුම්කර වංචා, වැට් බදු වංචා මෙන්ම රේගු වංචා ආදී සියල්ල ඉක්මවූ දැවැන්තම සොරකම ලෙස මෙය සලකනවා.

එහෙත් ඔහු වැඩිදුරටත් කීවේ එලෙස පිටමං කළ ධනය පිළිබඳ දැනට තොරතුරු ඇත්තේ ‘කතාන්දර‘ ලෙස වන නිසා, එම මුදල් ගෙන්වාගැනීමට නොහැකි බව. මුදල් තිබෙන තැන් ‘දන්නවා නම්‘ ඒවා කියන ලෙසත් ඔහු විවෘත ආරාධනයක් කළා. එනම්, ලංකාවෙන් සල්ලි හොරෙන් පැන්නූ අය පිළිබඳ ආණ්ඩුව කරුණු සොයනවා වෙනුවට, වෙනත් කවුරුන් හෝ ඒ ගැන සොයා දීමේ අවශ්‍යතාවක් තමයි ඔහු පෙන්වාදුන්නේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරයා කළ ප්‍රකාශය මෙසේයි.

‘අන්ඩර්ඉන්වොයිස්, ඕවර්ඉන්වොයිස් ලංකාවේ නිදහස ලැබුණු දා පටන් තිබෙනවා. සිරිමා බණ්ඩාරණායක මැතිණිය අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව කියලා කොමිසමක් පත් කළා.

ඒ කොමිසමෙන් ලංකාවේ එවකට හිටපු අතිසුප්‍රසිද්ධ ව්‍යාපාර කරන අය මුදල් ගෙනාවේ නෑ කියලා බන්ධනාගාරගත කරලා දඬුවම් කළා. ඒ සමහර සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් මියගියේ බන්ධනාගාර තුළ. ඒ කාලයේත් විනිමය රටින් පිටමං කිරීම තිබෙනවා.

ඒ සඳහා සම්පූර්ණ වගකීම තිබෙන්නේ විනිමය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවට. මුදල් නීති පනතේ විධිවිධාන අනුව, විදේශ විනිමය, සංචිත පාලනය යනාදිය කරන්නේ මහබැංකුව. මධ්‍යම බැංකුව විසින් මේවා පාලනය කරන්න අවස්ථාවක් කලින් තිබුණා. විදේශ විනිමය පාලන පනත කියලා පනතක් තිබුණා. ඒත් 2017 දී මේ පනත අහෝසි කරන්න ගෙනාවා.

ඒ අවස්ථාවෙදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව සිටි මම ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් කීවා වක්කඩ කැඩුවා වගේ රටින් සල්ලි පිටවේවි කියලා. පාර්ලිමේන්තු කමිටුවේදී (මේ පනතට) පාලන කියන වචනය දාන්න බෑ (බැරි බව කීවා.) දැන් විනමය දෙපාර්තමේන්තුවක් තිබෙන්නේ, විනිමය පාලන දෙපාර්තමේන්තුවක් නෙවෙයි. 

දැන් අලුතින් ඇතිවෙලා තියෙන තත්වය තුළ අපට මේ කියන ඒවා, කාටවත් ඔප්පු කළ හැකි ආකාරයෙන් කියන ඒවා නෙවෙයි. දන්නවා නම්, දන්න කෙනෙකුට කවුරුහරි හංගලා තියෙනවා නම් සල්ලි. සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරලා, රට අමාරුවේ වැටිලා තියෙන (වෙලාවේ) ඉදිරිපත් කරන්න පුළුවන්. කතාන්දරයක් කීමෙන් පමණක් ගෙන්වන්න බෑ. (ගෙන්වන්න අපට) අයිතියක් නෑ.

(ගෙන්වීමේ) වගකීම තියෙන්නේ, විනිමය දෙපාර්තමේන්තුවට. ඒ අය තමයි මුදලේ අගය තීරණය කරලා පුවත්පත්වලටත් විනිමය අනුපාතය එවන්නේ.

ඒ පිළිබඳ කටයුතු කිරීම වැදගත් කියලා පිළිගන්නවා.

දැනුත් රටට එන්න ඕනෑ මුදල් ප්‍රමාණය කොටක් ගෙන්වාගැනීම දීර්ඝ කාලයක් තිස්සේ තිබෙනවා. (ඒත්) තීරණ ගැනීම ප්‍රමාණවත් ලෙස සිද්ධවෙලා නැහැ.

ඉන්දියාව අපට වඩා දැඩි ලෙස විදේශ විනිමය ගෙන්වාගැනීමට දැඩි නීතිරීති ක්‍රියාත්මක කරනවා. අපට ඉන්දියාව වගේ වෙන්න පුලුවන්. මම (මේ විෂයේදී) පරාජය වෙලා. අධිකරණයවත් අපි කියන ඒවා කරලා නෑ. අපි හිතන විදිය අනුව තමයි අපි අධිකරණයට ගිහින් මේවා නොකළ යුතුයි කියලා කියලා තියෙන්නේ.‘

(www.satahan.blog)