ආනන්ද පාලිතලා රිමාන්ඩ්! සජිත් බලන්න ඒවියැයි බයෙන්, පොලීසිය ඔහුව හැංගූ හැටි!

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකුගේ සැකසහිත ක්‍රියාකලාපය ගැන ප්‍රශ්න කිරීම, තර්ජනය කිරීමක් ලෙස සඳහන් කරමින් අත්අඩංගුවට ගත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික පෙබරවාරි දක්වා රිමාන්ඩ් කර තිබෙනවා. ‍

තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම ඔවුන්ට තිබුණු චෝදනා.

ජනතාවගේ විදුලි බිල වැඩි කිරීම ගැන මැදිහත් වූ වෘත්තිය සමිතිවල සහ බහුජන සංවිධානවල නායකයන් දෙදෙනෙක් වන මේ දෙදෙනාව මර්දනය කිරීමේ අරමුණෙන්, 23 වැනිදා රාත්‍රියේ කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවත්, ඔවුන්ව 24 වැනිදා උදේ රහසේම එම පොලීසියෙන් පිටමං කර තිබුණා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම, මෙරට තවත් වෘත්තිය සමිති නායකයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් එම පුද්ගලයන්ව බැහැදකින්නට පැමිණෙනු ඇතැයි බියෙන්. මේ නායකයන් දෙදෙනාව බියගන්වීම පිණිස, බාහිර පුද්ගලයන්ට ගොස් බැහැදැකීමට අසීරු ස්ථානයක් වන වරාය පොලීසියට ගෙන ගොස් තිබුණා.

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් පිරිසක් විදුලිබිල වැඩි කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට පක්ෂ වීම සඳහා, සිය කොමිසමේ සභාපතිවරයාත් නොමැතිව ජනාධිපතිවරයා මුණගැසීම මෙම සිදුවීමේ මුල වුණා. වෘත්තිය සමිති සහ බහුජන සංවිධානවල නායකයන් පිරිසක් මෙලෙස රහසේ ජනාධිපතිවරයා මුණගැසුණු කොමිසමේ සාමාජිකයන්ව මුහුණට මුහුණ මුණගැසී ප්‍රශ්න කර තිබුණා. එය ‘තර්ජනයක්‘ ලෙස හුවා දක්වමින් මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන දෙදෙනා පොලීසියට පැමිණිලි කර තිබුණා. එහෙත් මේ වෙද්දී ආණ්ඩුව සහ ජනාධිපතිවරයා තර්ජනාත්මක ලෙස සමස්ත ජනතාවගේ විදුලි බිල දරාගත නොහැකි තරම් වැඩි කිරීමට උත්සාහ කරමිනුයි සිටින්නේ.