හවුස් ඔෆ් ෆැෂන් සේවක ප්‍රහාරයට හේතුව හෙළි වේ! කාර් පාක් ගැටුමක්ලු

බම්බලපිටිය හවුස් ඔෆ් ෆැෂන් ආයතනයට පැමිණි පාරිභෝගිකයෙකුට සේවකයන් එක්ව දරුණු ලෙස පහරදීමට හේතුව වාහන නැවැත්වීමේදී ඇති වූ ගැටුමක් බව පොලිස් ආරංචිමාර්ග පදනම් කරගනමින්, ඩේලි මිරර් ආයතනය වාර්තා කර තිබෙනවා.

ඒ වාර්තා බැලුවාම පෙනී යන්නේ, ලංකාවේ වෙළඳ සමාජය තුළ ඇති බරපතල අවුලක්.

ප්‍රසිද්ධ වූ වීඩියෝවේ පෙනෙන ආකාරයට, හවුස් ඔෆ් ෆැෂන් සේවකයන් ඉතාම දරුණු ආකාරයට එම පාරිභෝගිකයාට පිවිසුම් දොරටුව අසලදී පහරදෙනවා. සේවකයෙකු අත පොල්ලක් තිබෙන බවත් දිස් වෙනවා. පාරිභෝගිකයාද ප්‍රතිපහාර එල්ල කිරීමට උත්සාහ කළත්, සේවක පිරිස එක්ව එම පාරිභෝගිකයාට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා. ඉන්පසු කාන්තාවක් පැමිණ ඔහුව රැගෙන යනවා.

වාහන අංගනයේ අවහිර වන ආකාරයට වාහනයක් නවත්වා තිබුණු බවත්, පහරකෑමට ලක් වූ පාරිභෝගිකයා වාහනය ඉවත් කර ඉඩ ලබාදෙන්නැයි වෙළඳසැලේ පරිපාලනයට පැමිණිලි කළ බවත් එම වාර්තාවේ සඳහන්.

වෙළඳසැලේ  තිබුණු ස්පීකර් හරහා වාහනය ඉවත් කරගන්නා ලෙස නිවේදන කිහිපයක් නිකුත් කළද, එම පාරිභෝගිකයා ප්‍රතිචාර දක්වා නොතිබුණු බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

පාරිභෝගිකයා ප්‍රමාදය පිළිබඳ හවුස් ඔෆ් ෆැෂන් කාර්ය මණ්ඩලයට දැඩි ලෙස දෝෂාරෝපණය කිරීමත් සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති කරගත් බවත්, එය අවසානයේ ගැටුමක් දක්වා පෙරළුණු බවත් ඩේලිමිරර් වාර්තාවේ සඳහන් වෙනවා.

මේ වෙද්දී පාරිභෝගිකයා සහ සේවකයන් තුවාල ලබා ඇති බවත්, රෝහලට ගෙන ගොස් ඇති බවත් සඳහන්. සිදුවීම ගැන පොලිස් පරීක්ෂණ සිදු වෙනවාලු.

සාමාන්‍යයෙන් පාරිභෝගික සේවා ලබාදීමේදී, පාරිභෝගිකයාව ඉවසීම මෙන්ම උපරිම සේවාවක් ලබාදෙන්නට අපොහොසත් වූ තැන සමාව ඉල්ලීම වැදගත් කොට සලකනවා. එහෙත්, මෙම සිදුවීමේදී එවැනි පුහුණුවක් නොමැතිව සේවකයන් කටයුතු කර ඇතැයි පෙනෙන්නට තිබෙනවා.

මෙය හවුස් ඔෆ් ෆැෂන් ආයතනයේ ප්‍රශ්නයක් විදියට සලකන්න බැහැ. ඇත්ත. මේක තනි සිදුවීමක් තමයි. හැබැයි මේක තනි සිදුවීමකින් එහා ගිහින් අර්ථකතනය කරන්න සිද්ධවෙනවා. මේ සේවකයන්ට ‘පාරිභෝගිකයාට පහරදුන්නාට ප්‍රශ්නයක් නැහැ‘ කියන අදහස ආවේ කොතැනින්ද? මෙතැන අප දකින්නේ පාරිභෝගිකයෙක්ට පහරදීම වාගේ දරුණු සිදුවීමක්. හැබැයි මෙච්චර දරුණු නැති නමුත්, පාරිභෝගිකයන්ව පහත් කොට සලකන අන්දම අප කෙතරම් දැක තිබෙනවාද?

මෙවැනි හැසිරීම් ලංකාවේ බොහෝ වෙළඳසැල්වලදී දකින්නට පුලුවන්. පාරිභෝගිකයන්ට ගරු නොකරනවා පමණක් නෙවෙයි, ඇතැම් අවස්ථාවල පාරිභෝගිකයන්ව කරදරයක් ලෙස සලකනවා. ගණනකට ගන්නේ නැහැ. එසේ නැතිනම් පාරිභෝගිකයන්ට අනවශ්‍ය කරදරයක් බවට පත් වෙනවා.

ඇතැම් අය මේවැනි භාවිතාවන් නිහඬව ඉවසනවා. තවත් අය මේවාට එරෙහිව ආවේගයෙන් කතා කරනවා.

ලංකාවේ පෞද්ගලික අංශය කාර්යක්ෂමව, විශිෂ්ඨ ලෙස සේවා සපයනවායැයි මේ දිනවල ආණ්ඩුවේ අයත් මතුරනවා. ඒකට හේතුව ආණ්ඩුවට ලංකාවේ සියලු සේවාවන් විකුණලා දාන්නට ඕනෑ වී තිබීම. ඒත්, ඇත්තටම ලංකාවේ පෞද්ගලික අංශය පාරිභෝගිකයන් වෙත කෙතරම් බිහිසුණු ප්‍රතිචාර දක්වනවාදැයි මෙම සිදුවීමෙන් දැකගන්න පුළුවන්.