—————————————————
ලාල් කාන්ත විසින් සිය වෘත්තීය සමිතියේ සාමාජික හෙදියන්ට ‘ඉඟ සුග අතින් මිටට ගත හැකි ලෙස සිටිය යුතු’ බවත් ‘ඔවුන් ඒ සඳහා ජිම් යා යුතු’ බවත්, එය ‘ඔහුගේ ආශාව වන බවත්’ කළ ප්‍රකාශය හුදු අවස්ථානෝචිත සරදමක් වන්නේ නැත.
විශේෂයෙන්ම ලාල් කාන්ත යනු ‘අනාගත ලංකාවට යහපත රැගෙන එනවා’ යැයි පොරොන්දු පවසන දේශපාලන ව්‍යාපාරයක ඉහළ පෙළ නියෝජිතයෙකි.එනම් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ වෘතීය සමිති නායකයෙක්ද ජාතික ජන බලවේගයේ ඉදිරිපෙළ සාමාජිකයෙකුද වේ. එවන් ප්‍රකාශිත දේශපාලනයකින් අපි කිසිසේත් මෙවැනි පටු-පසුගාමී භාෂාවක් සහ එමගින් පවත්වාගෙන යන හිංසනය අපේක්ෂා නොකරමු.
ලාල් කාන්තගේ ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික අදහසක් නොවන බව අවබෝධ කරගැනීම සඳහා එම ප්‍රකාශයෙන් පසුව ඔහුව සාධාරණීකරණය කල අදහස් පද්ධතිය දෙස බැලීම වැදගත් වේ.
“ඔහුගේ සම්පුර්ණ කතාව යහපත්ය. ඉන් පොඩි කොටසක් ගැනීම වැරදි සහගතය.”
“ලාල් කාන්ත කරන්නේ විහිළුවකි.”
“ඔහුගේ පෞද්ගලික ෆැන්ටසිය පොදු අවකාශයේ මුදා නොහැරිය යුතුව තිබුණි.”
“මෙය දේශපාලන පසමිතුරන් විසින් කරන ලද විවේචනයකි. ඒ නිසා එය බරපතලව ගත යුතු නැත.”
“සියල්ලන්ගේ ආශාව ‘ලස්සන’ ස්ත්‍රියකි. ඒ නිසා එය හෙළි කිරීම ලාල් කාන්තගේ අවංකභාවයේ සංකේතයක් වන අතර මීට විවේචන පල කරන්නන් වංකයෝය.”
ලාල් කාන්ත විසින් විටින් විට පළකරන මෙවන් ප්‍රකාශයන් මෙන්ම ඔහුට සහාය දක්වන මේ අදහස්වල එකතුව විසින් ගම්‍ය කෙරෙන්නේ ග්‍රාම්‍ය, පසුගාමී, සමාජ චින්තනයකි.

ලාල් කාන්ත සිය ප්‍රකාශය සිදු කරන්නේ තමන්ගේ වෘත්තීය සමිතියක සාමාජිකාවන් අමතාය. මෙහිදී ලාල් කාන්තට නොවැටහෙන්නේ වැඩපොළේ,කඩපිලේ, මහ පාරේ ස්ත්‍රීන් හිරිහැරයට ලක්වන්නේම ඔවුනගේ ශරීරය පිළිබඳ දමා ගසන මෙවන් ‘විහිලු’ හා ආන්තික ප්‍රලාප හරහා බවය. පොදු අවකාශයේ කාන්තාව මානසික පීඩාවටත් හිංසාවටත් පත් කරන්නේම ‘කැතයි’, ‘කලුයි’, ‘මහතයි’ වැනි අදහස් හරහා වීමය. ලස්සන පමණක් නොව කැත වීමද ඔවුන්ව ප්‍රචණ්ඩත්වයට ලක් කිරීමට පිරිමින් විසින් යොදා ගන්නා ආඛ්‍යානයන්ය. ලාල් කාන්ත මේ පෝෂණය කරන්නේ එම හිංසනීය කතිකාවයි.
එසේම ලාල් කාන්ත මේ කතාව කරන්නේ වැඩ පොලේදී මෙවැනි මානසික හිංසනයන් වැළැක්වීම සඳහා වෘත්තීය සමිති විසින් නීති ඉල්ලා සිටින මොහොතකය.
තවත් තැනෙක ඔහු පවසන්නේ හෙද යුනිෆෝර්මය දකින විට ඔහුට හැඟීමක් ඇති වන බවත් එවැනි හැඟීම් ඇති වන අනෙක් යුනිෆොර්මය පාසල් නිල ඇඳුම වන බවත්ය. පාසල් යුනිෆොර්මය අදින්නේ වයස 18 ට අඩු ළමුන්ය. ඒ අනුව ‘පාසල් යුනිෆොර්මය සිය හැඟීම් අවුස්සන්නේ’ යැයි කරන මේ ප්‍රකාශය පාසල් අහවර වී සිය නිවෙස් බලා යන විට පාරේ සිය හෙළුව පෙන්වමින් ළමුන්ව බියට පත් කරන පුද්ගලයෙකු හා තමන් අතර වෙනසක් නැති බව සමාජයට හෙළි කිරීමක් වැනිය.
ඒ නිසා අපි කිව යුත්තේ ලාල් කාන්ත නියෝජනය කරන දේශපාලනය වෙනුවෙන් ඔහු වග වන්නේ නම් සිය වෘත්තීය සමිති සාමාජික හෙදියන්ට කළ ‘අපහාසයට’ සහ පාසල් නිලඇදුම් ඇදි ළමුන් පවා ප්‍රසිද්ධියේ වස්තුකරණය කිරීමට උත්සුක වීම යන කාරණා වෙනුවෙන් සමාව ගත යුතු බවයි. එය සිදු කිරීමට බල කිරීම, ඊට ලාල් කාන්ත වග කරවීම, ජනතා විමුක්ති පෙරමුණේත්, ජාතික ජනබලවේගයේත් වගකීමක් වන බව අපගේ විශ්වාසයයි.
මෙවැනි හිංසනීය භාෂාවක් ඔහු නොබියව ඉදිරිපත් කරන්නේ පළාත් පාලන මැතිවරණයක් අත ළඟ තිබියදී, යළිත් යම් මැතිවරණ වෙනසක බලාපොරොත්තුවක් තම ව්‍යාපාරය මූලිකව ජනතාව වෙත තබා තිබෙන කාලයකය. ඊට සාපේක්ෂව බැලුවද එය අත් වැරදීමක් නොව වරදකි. එසේම මෙය හුදෙක් ලාල් කාන්තගේ ප්‍රශ්නයක් බවත්, එය ඔහුගේ ෆැන්ටසිය බවත් කීමෙන් සිදු කරන්නේ හිංසනය පෞද්ගලික තතත්වයක් බවට පත් කිරීමය. එසේම හිංසනය ෆැන්ටසිකරණයට ලක් කිරීමය. එය පොදු සමාජයේ සාධාරණ පැවැත්මක් බවට පත් කිරීමය. එමගින් ඇත්ත වශයෙන්ම සිදු කරන්නේ හිංසනය සහ ඒ මතින් මුදා හරින ප්‍රචණ්ඩත්වය සහිත පීඩක සමාජ ව්‍යුහයන් මග හැරීමය.
ඒ නිසා ලාල් කාන්තට සිය ප්‍රකාශයන් සම්බන්ධයෙන් වග වීමක් ඇති කරන තෙක් සහ ඔහු ඒ කෙරෙහි වග වන තෙක් අපි බලා සිටිමු. එය ලාල් කාන්තට හෝ පක්ෂයේ සාමාජිකයන්ට කරන සතුරුකමක් නොව එවන් වග වීමේ යාන්ත්‍රණයක් ඇති කිරීම මගින් සහ නැවත මෙවන් හිංසනයන් ඇති නොවීම සඳහා වන නිමිත්තකි.ඉන් ආරක්ෂා කරන්නේ හිංසකයන්ට ඉඩ නොදෙන සමාජ අපේක්ෂාවය.
ආචාර්ය ගීතිකා ධර්මසිංහ සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර