අරගලයට පහුගිය දවස්වල බෙහෙත් දුන්නානේ, ඉදිරියටත් දෙනවා! – සනත් නිශාන්ත

මැයි 09 මෙරට තුළ හිංසනකාරී ක්‍රියාවලියක් දියත් කිරීමට චෝදනා ලබා, නිදැල්ලේ සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, අරගලයට පහුගිය කාලේ බෙහෙත් දුන්න බවත්, නැවත ආවොත් නැවත බෙහෙත් දෙන බවක් මාධ්‍ය වෙත කියා තිබෙනවා.

ඒ සිය ප්‍රදේශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අවසන්ව එළියට එන අතරතුරේයි.

දේශපාලන කටයුතු නියමයි. අපිත් එක්ක සන්ධානගත වෙන්න කැමති කණ්ඩායම් එකතු කරගෙන තමයි වැඩ කරන්නේ.

අරගලවලට බෙහෙත් තියෙනවා. පහුගිය ටිකේත් දුන්නානේ. ආයේ ආවොත් ආපහු බෙහෙත් දෙනවා.‘ යනුවෙන් මාධ්‍ය අමතමින් ඔහු කියා තිබුණා.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව පැවැත්වෙන අවස්ථාවේ මත්ද්‍රව්‍ය පිළිබඳ ඔහු අදහස් දැක්වීමක් කර තිබුණේ මෙසේයි.

‘හොරෝයින්, ගංජා, කඩු, අයිස්, කසිප්පු නීතිවිරෝධී ක්‍රියාකාරකම් කරන අය බේරන්න කියලා මහජන නියෝජිතයෝ කවුරුහරි කතා කරනවාද? එහෙම තිබුණොත් මාව දැනුවත් කරන්න ආ..

මේකේ මෙහෙමයි. ආගම, ජාතිය, කුලය, පක්ෂය මොකුත් වැඩක් නෑ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා නම්, ජාවාරම් කරනවා නම් අල්ලලා දාන්න.

මම කතා කරලා නෑනේ. ප්‍රතිපත්තියක් හැටියට කතා කරන්නේ නෑ.

අනිවාර්යයෙන් අල්ලලා ඉවර කරන්න. කෙනා, තරාතිරම ගැටලුවක් නෑ. අනිවාර්යයෙන්ම ඉවර කරන්න. ‘

ඒ අනුව, පොලීසිය වැඩ කරන්න ඕනෑ ආකාරය ගැන ‘උපදෙස් දෙන්නට‘, අල්ලන්න ඕනෑ අය සහ නැති අය ‘තීන්දු කිරීමට‘ බලයක් ඇතැයි මේ අපරාධකා දේශපාලුවා සිතා සිටින බව පේනවා. ඒ වුණාට ‘ප්‍රතිපත්තියක් මත අහවල් වරද කරන අය නිදහස් කරන්න විතරක් කතා නොකරන‘ බව තමයි මාධ්‍ය ඉදිරිපිට ඔහු සංදර්ශනාත්මක ආකාරයට කියන්නේ. හැබැයි අපරාධකාරී දේශපාලුවන් පොලීසියට කතා කරමින් උපදෙස් දෙන කුජීත සංස්කෘතිය ඔහු එළිපිට රඟපා පෙන්වනවා. පොලීසිය ගංජා, කුඩු අල්ලනවනම්, ඒකටත් ඇමති කියන්න ඕනෑ. ‘තරාතිරම ප්‍රශ්නයක්‘ නෑ කියලා ඇමති කියන්න ඕනෑ. ඒ ප්‍රකාශය අවංකව කී එකක්ද, තිරය පසුපස කියන්නේ කුමක්ද, සැබෑ ලෙස මේ ගංජා කුඩු ගැන ගන්න පියවර මොකක්ද කියා අපි හැමෝම නොදන්නවා නෙවෙයි.

හැබැයි මේ රංගනය සැබෑවක් ලෙස මොහොතකට පිළිගත්තත්, ඒ රංගනය තුළින් පවා දේශපාලුවන්ගේ කටවචනයට යට වූ ජරාජීර්ණ පොලීසියක දුඟද හමනවා.

මීට කලින් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී ඔක්සිජන් කන්නදැයි සනත් නිශාන්ත විමසා තිබුණා. ඔක්සිජන් අවශ්‍ය නොවන සනත් නිශාන්තලා තමයි, රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ඒ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ගැන මුලසුන හොබවන්නේ. ඉතින්, මේ දවස්වල බොරු පරිසර ප්‍රේමයක් එක්ක එරික් සෝල්හයිම් අල්ලගෙන ජාත්‍යන්තරයෙන් සල්ලි ටිකක් ඩැහැගන්න බලන රනිල් වික්‍රමසිංහලා, ප්‍රාදේශීය වශයෙන් තමන්ගෙ නියෝජිතයන් විදියට පත් කරමින්, ළඟ තියාගෙන ඉන්නේ තම තමන්ගෙ ප්‍රදේශවල වන සම්පත රකින නිලධාරීන්ට බැන වැදුණු පරිසර භක්ෂකයන් වීමත් මේ ප්‍රවෘත්තිය මොහොතේ අප සිහියට නගාගත යුතුයි.