රාජ්‍ය ඇමතිගේ වංචාව ගැන කොරියාවේ උසස් නිලධාරියෙකුගෙන් දැඩි දොස්! රටටම ලැජ්ජාවක්

සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් සහ ඒ අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමකට රාජ්‍ය ඇමතිවරයා විනාඩි 30ක් ප්‍රමාද වීම දකුණු කොරියානු ආපදා සහන පදනමේ (SKDRF) සභාපති චෝ සුං ලීගේ දෝෂ දර්ශනයට ලක් වුණා.

තමන් දැනුම් දුන් වෙලාවට වඩා ප්‍රමාද වීම ‘වංචාවක්‘ ලෙස ඔහු හැඳින්වුවා.

සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේදී දෙසැම්බර් 21වැනිදා පැවති මෙම හමුවේදී දකුණු කොරියාවේ වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි ආකාරය පිළිබඳව සොයා බැලුවාලු.

“නියමිත රැස්වීමක් විනාඩි 30 කින් ආරම්භ කිරීමට ප්‍රමාද වීම හොඳ සලකුණක් නොවේ. තම පොරොන්දු ඉටු කිරීමට සහ වෙලාවට වැඩ කිරීමට ඇමතිවරුන් වගකිව යුතුයි.” යනුවෙන් ලී මහතා ප්‍රකාශ කළේයැයි ඩේලි මිරර් වාර්තා කර තිබෙනවා. මෙවැන්නක් දකුණු කොරියාවේ සිදු වුණේ නම්, එවැනි අයට විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කීවා.

අනේ මහත්තයෝ, තමන්ගෙ අමාත්‍යාංශයේ තිබිච්ච නිවාස සංකීර්ණවල වධකාගාර හදාගෙන, මේ රටේ දරුණු මිනීමැරුම් කරපු උං, ඒ මිනීමැරුම් ගැන සාක්ෂි ඇතිව හෙළවුණාට පස්සෙත්, රටේ මානව හිමිකම් ආරක්ෂකයො විදියට රඟපෑවා. ඊට පස්සේ ජනාධිපති වුණා.

ශ්‍රී ලාංකිකයන්ට බොරු කීම සහ ප්‍රමාදය සාමාන්‍ය පුරුද්දක් වී තිබෙනවායැයි ලී මහතා වැඩිදුරටත් විවේචනාත්මකව කියා තිබුණා. ප්‍රමාදය පිළිබඳ පුද්ගලයන් ලැජ්ජා විය යුතු බවත් ඔහු කීවා.

“ජනතාව දුන් පොරොන්දු ඉටු කළ යුතුයි. ඒවා ඉටු කිරීමට කිසිදා අමතක නොකළ යුතුයි. ජීවිතය ගියත් පොරොන්දු ඉටු කළ යුතුයි. ඇමැතිවරු වුණත් එහෙම කරන්න ඕන. එහෙම නොවුණොත් මේ වගේ ඇමැතිවරු හමුවෙලා වැඩක් නැහැ. බොරු කියන්න එපා.‘ යනුවෙන් පැවසූ ලී මහතා අවසානයේ මෙසේ කියා තිබුණා. “එබැවින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ සහ මිනිසුන්ගේ චින්තන රටාවේ වෙනසක් සිදුවිය යුතුයි”