විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙන බව මාධ්‍ය වාර්තා පළවෙනවා.
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 19 වැනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මේ අලුත්ම පියවර ගැන හෙළි වුණා.
මේ වෙද්දී ආණ්ඩුවට හිතවත් ජනමාධ්‍යවලින්, දේශබන්දු තෙන්නකෝන් වැනි පොලිස් නිලධාරීන්ගේ සහයෝගයෙන්, පාර්ලිමේන්තුවේ ප්‍රසන්න රණතුංග ඇතුළු දේශපාලනඥයන් පවත්වන කතාවලින් සහ ඉන්දීය සහයෝගයත් ඇතිව රඟදැක්වෙන, මත්ද්‍රව්‍ය සැබෑ ලෙස තුරන් කිරීම වෙනුවට එය මර්දනයේ මුවාවෙන් දේශපාලන වාසි ගැනීමේ නාට්‍යය සඳහා එම ජනාධිපති කාර්යසාධක බලකාය යොදාගැනේවි.
මෙරට ඉහළම ධනවතුන්, දේශපාලනඥයන් සහ ඔවුන්ට සේවා සපයන උදවිය ගෙවන මිල අධික මත්ද්‍රව්‍ය වර්ග විශාල වශයෙන් පාවිච්චි කරමින් විනෝද වීමේ සංස්කෘතිය මෙන්ම ඔවුන් විසින්ම පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය ගැන කතා නොකර, සාමාන්‍ය සමාජය තුළ මත්ද්‍රව්‍ය වැටලීම්වල
මෙය ලොව ඕනෑම මර්දනකාරී ආණ්ඩුවක් විසින් යොදාගන්නා, මූලිකම මර්දන උපක්‍රමවලින් එකක්. මර්ධන යාන්ත්‍රණයක හෝඩි පොතේ තිබෙන දෙයක්.
මර්දනය සිදු කරද්දී සමාජයේ කැමැත්ත දිනාගන්නට නොයෙකුත් ක්‍රම තිබෙනවා. සාමාන්‍ය මිනිස්සු දූෂණය, අසාධාරණය වගේම තමන් විඳින ආර්ථික පීඩාවන් පවා අමතක කරලා මුග්ධ පාලකයන්ට සහයෝගය දෙන්නට නම්, එවැනි ක්‍රම පාවිච්චි කරන්නට සිද්ධ වෙනවා.
ඒ ක්‍රම අතරින් ප්‍රකටම එකක් වන්නේ ජාතිවාදය. හුදු, අමු ජාතිවාදය. හිට්ලර් වැනි අය හුදෙක් යුදෙව්වන් ගැන විරෝධය මත දේශපාලනය කළා. තවත් ප්‍රකට උපක්‍රමයක් වන්නේ ත්‍රස්තවාදයට එරෙහි අදහස්. සමහරවිට ජාතිවාදයයි, ත්‍රස්තවාදයයි එකට මුහු කරලා දූෂිත, මර්දනකාරී පාලකයන් මිනිස්සුන්ගෙ කැමැත්ත දිනාගන්නා අවස්ථා තිබෙනවා.
මත්ද්‍රව්‍ය කියන්නේ ජාතිවාදය අවුස්සන්න බැරිව අසමත් වෙන පාලකයන්ට පාවිච්චි කරන්න පුළුවන් තවත් හොඳ උපක්‍රමයක්. පහුගිය කාලසීමාවේ ජාතිවාදය අවුස්සන්නට ගත් උත්සාහයන් අසමර්ථ වෙද්දී, මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රචාරක ව්‍යාපෘතියක් නැවත මතු වීම පුදුමයක් නෙවෙයි.
මේ වෙද්දී ඉන්දියාවේත්, මෙතෙක් කාලයක් නිදැල්ලේ සිටි අපරාධ කල්ලි සාමාජිකයන් 9 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ අය ගැන කතාන්දරයකුත් සියලු මාධ්‍යවලින් එක හා සමාන පිටපතකින් යුක්තව ප්‍රචාරය කෙරුණා. ඉන්දීය සහයෝගය මේ මොහොතේ රජය රකින්නට ලැබෙන බවට කතා දෙකක් නෑ.
පාසල් පද්ධතිය මෙන්ම, විශ්වවිද්‍යාල පද්ධතිය තුළත් මත්ද්‍රව්‍ය ගැන ප්‍රචාරය කරනවා. මාධ්‍ය ආයතනවලින් වැඩි ඉඩක් ඒවා ගැන වාර්තාවලට වෙන් කරනවා. ඊටත් අමතරව කොළඹ ජාතික රෝහලේ වෘත්තිය සමිති කිහිපයකට එරෙහිවත් දැන් මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කරන්නට තවත් වෘත්තිය සමිති නායකයෙක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කටයුතු කර තිබෙනවා. ඒ චෝදනාවලින් පෙනෙන්නේ මත්ද්‍රව්‍ය චෝදනාවලින් වෘත්තිය සමිති මර්දනය කරන්නට උත්සාහයක්ද පවතින බව.
මෙහි අරමුණ විවිධ දේශපාලන පක්ෂ මෙන්ම, ඒ ඒ පක්ෂවල ලේබල් ගසා ඇති අනෙකුත් ස්වාධීන කණ්ඩායම් සහ ක්‍රියාකාරීන්ද මර්දනය කර දැමීම. ඒ බළලා මේ මෙහෙයුමේ මුල සිටම මල්ලෙන් එළියට පැන්නා. එනම්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඇතුළු අයගේ කටවල්වලින් එළියට පැන්නා. කිසිදු සාධකයක් නොමැතිව, මත්ද්‍රව්‍ය ජාවාරම් පවත්වාගෙන යනවායැයි කණ්ඩායම්වලට චෝදනා එල්ල වුණා. හැබැයි ඒ චෝදනා ලබන අය මත්ද්‍රව්‍ය ජාවාරමක් පවත්වාගෙන යන්නට අවශ්‍ය බලය සහ ධනය හිමි උදවිය නෙවෙයි.
ඒ කීවේ? මත්ද්‍රව්‍ය ජාවාරමක් පවත්වාගෙන යෑමට නම් විශාල ධනස්කන්ධයක් අවශ්‍ය වෙනවා. ආණ්ඩුවේ දේශපාලන බලයත් අවශ්‍ය වෙනවා. පොලීසිය ඇතුළු ආයතන යටත් කරගැනීමේ මහා බලයක් අවශ්‍ය වෙනවා. ලංකාවේ දුප්පත්ම පක්ෂවලට, දේශපාලන කණ්ඩායම්වලට මත්ද්‍රව්‍ය මාෆියාවක් පවත්වාගෙන යන්න බැහැ. ඇමති තනතුරු, ඉහළ පුටු සහ මහා ව්‍යාපාරික සහයෝගය නොමැතිනම් මේ මාෆියා නැහැ. රටවල්වලට මත්පැන් එන්නේත් නැහැ.
සමාජ මාධ්‍යවලින් මේ නාටකය හඳුනාගෙන තිබුණු නිසා, හිරු සහ දෙරණ ආදී මාධ්‍ය ආයතනවලට උපහාසාත්මක ලෙස පෝස්ට් විශාල වශයෙන් හුවමාරු වුණා. එම පෝස්ට් දරාගත නොහැකිව දෙරණ ආයතනය ප්‍රතිචාර දක්වන්නටත් උත්සාහ ගෙන තිබුණා. චතුර අල්විස් මාධ්‍යවේදියා එම චෝදනාවලට පිළිතුරු දෙමින්, ‘අපට වෙන වැඩ නැතිද‘ කියා විමසා තිබුණා. අද දෙරණ ප්‍රවෘත්ති විකාශය තුළින් කෙළින්ම චෝදනා කර තිබුණේ, ඇතැම් දේශපාලන පක්ෂ තමන්ගේ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වලට මඩ ප්‍රහාර එල්ල කරන බවට.
කෙසේ වෙතත් මෙලෙස කාර්ය සාධක බලකා පත් කිරීම, ප්‍රශ්න විසඳන බවට ව්‍යාජ නාට්‍ය රඟපාමින් ප්‍රශ්නය නොවිසඳීම කියන්නේ කාලාන්තරයක් තිස්සේ ජනතාව හුරුපුරුදු වූ තත්වයන්. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ මෙවැනි නාට්‍ය ගණනාවක් ක්‍රියාත්මක වුණා. මේවාට හසුවෙන ජනතාව තවම ඉන්න බව ඉතා පැහැදිලියි. හැබැයි මේ නාට්‍ය ක්ෂණිකව හඳුනගන්න විශාල පුරවැසියන් ප්‍රමාණයකුත් ලංකාවේ ඉන්නවා. ඒ නිසා, මෙදා පාර ඒ නාට්‍යවලින් මිනිසුන් ඇන්දීම පහසු වෙන එකක් නැහැ.
ඇත්තටම ශ්‍රී ලංකාවේ සමාජය බිඳී ගිය, විනාශ වී ගිය එකක්. අන්තරායකර මත්ද්‍රව්‍ය වර්ග කියන්නේත් එවැනි සමාජයකම දිගුවක්. ඕනෑම මත්ද්‍රව්‍යයක් මෙන්ම මත්පැන් පවා වැරදි ලෙස භාවිතය විනාශකාරයි. මේවා ගැන නව සමාජ සම්මුතීන් ඇති වෙන්න ඕනෑ. ඒ වගේම, බලවතුන්ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන මේ සංස්කෘතීන් විනාශ වෙන්න ඕනෑ. හැබැයි ඒ කටයුත්ත කරන්නට ඒ බලවතුන්ම අයත්වන ආණ්ඩුවකින් කරන්න බැහැ.