ජාතික ආරක්ෂාවට භික්ෂු දේශපාලනය ඕනෑ! මාක්ස්, ලෙනින් අනුමත කරන්නෑ!

ජාතික ආරක්ෂාව වෙනුවෙන් භික්ෂූන් දේශපාලනය කළ යුතු නමුත්, භික්ෂූන් මැතිවරණවලට ඉදිරිපත් වීමට එකඟ නැති බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ, මහා ලේඛකාධිකාරී, රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරි සීවලී හිමි කියා තිබෙනවා.

ඒ හිමියන්ගෙන් ‘කොණ්ඩය රැවුල් වවාගෙන මාක්ස් ලෙනින් අදහන‘ භික්ෂූන් ගැන කළ විමසීමකදී, ඒවා නිකායන් තුනම අනුමත නොකරන බවත්, එම හිමියන් කියා තිබෙනවා.

ඒ අනුව ‘භික්ෂු දේශපාලනය‘ කරනවා නම් නායක හිමිවරුන් ඇතුළු ගතානුගතික සංඝ සංස්ථාවේ කැමැත්ත ඇති මතවාදවලට අනුගත වන දේශපාලනයක පමණක් යෙදෙන්නට සිදුවනු ඇතැයි පෙනී යනවා.

එමෙන්ම, ගතානුගතික සංඝ ආඥා රටේ ව්‍යවස්ථාපිත නීති බවට හරවන ක්‍රියාවලිය පිළිබඳ ඒ හාමුදුරුවන් වැඩිදුරටත් අදහස් දක්වා තිබෙනවා.

“මේ වනවිට පනත් දෙකක් පිළිබඳව කතා කරනවා. එකක් තමා කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත, අනෙක තමා විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීම. අමරපුර මහා නිකාය හැටියට පාර්ශව 22ම මහානායක හාමුදුරුවෝ, ලේකම් හාමුදුරුවරු ඇතුළු සියලුදෙනා හාමුදුරුවන්ගේ කැමැත්ත ලබාදීලා තියෙනවා නිල වශයෙන් ම බෞද්ධ කටයුතු කොමසාරිස්ට. හේතුව අදටත් හැම සංඝ සභාවකටම කථිකාවත් තියෙනවා. නමුත් ඒවා සාම්ප්‍රදායිකව පවත්වාගෙන යන නිසා රටේ නීතියට එකඟ නැති නිසා යම් සංඝ සභාවකින් යම් පන්සලක් ගැන හෝ භික්ෂූන් වහන්සේ නමක් ගැන අධිකරණ නිමිත්තක් ආවා කියලා. අධිකරණ සංඝනායක හිමිවරු තීන්දුවක් දුන්නත් අපිට ඒ තීන්දුව රටේ නීතිය සමග බලාත්මක කරන්න බලයක් නෑ. මෙයින් කරන්නේ, ඒ සංඝ සභාවන්වලට ඒ නීතියට අවස්ථාව ලබාදෙන එක.”

ප්‍රශ්නය – කොණ්ඩ රැවුල් වවාගෙන, මාක්ස් ලෙනින් අදහන භික්ෂු පිරිසක් බිහිවෙලා තියෙනවා. එකඟයිද මෙහෙම කොණ්ඩ රැවුල් වවාගෙන ඉන්න පුළුවන්ද?

“මම හිතන්නේ අමරපුර මහා නිකායේ විතරක් නෙමෙයි. ලංකාවේ තියෙන තුන් නිකායම කවදාවත් ඒවා අනුමත කරන්නේ නැහැ.”

ප්‍රශ්නය – මේ අලුත් පනත හරහා යම් කිසි විදියකට භික්ෂුවට දේශපාලනයට ඒමට සීමා දාන්න සූදානම්ද?

“රජයෙන් ගේන්නේ කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනතක්. එතකොට ඒ නිකායට තමා ඒ බලය තියෙන්නේ ඒ නිකායට අදාළ කථිකාවත ඉදිරිපත් කරන්න. සාමාන්‍යයෙන් පොදු මතය තමයි ඒ භික්ෂු දේශපාලනය කියන එක ජාතික ආරක්ෂාව සමඟ තිබිය යුතුයි. නමුත් අපට එකඟවෙන්න බැරි භික්ෂුවක් සක්‍රීය දේශපාලනය කියන එක. මැතිවරණවලට, අපේක්ෂකයෝ හැටියට පාර්ලිමේන්තුවට යන එකට … ඒ කියන දේශපාලනයට අපිට එකඟවෙන්න බෑ නිකායක් විදියට.”