‘ඇමෙරිකාවේ ජෝං බයිඩංගෙ වයස බලන්න‘
මේ වන විට ග්‍රාමීය ජනතාව මහින්ද රාජපක්ෂට හැර වෙනත් කිසිවෙකුට ඡන්දය නොදෙන බව කියන්නේයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රීවරයා කියා තිබෙනවා. මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කීවේ, ග්‍රාමීය ජනතාවට මහින්ද රාජපක්ෂ හැර ඡන්දය දෙන්නට වෙනත් කිසිවෙකුට නොමැති බවයි.
‘සජිත්ට දෙන්නද? අනුරට දෙන්නද?‘ කියා ඇතැම් අය විමසනවායැයි ඔහු එහිදී සඳහන් කර තිබුණා.
අද ඇතැමුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට “මයිනා” ලෙස ආමන්ත්‍රණය කරන්නේ ඔහුගේ වයස වැඩි නිසා බවයි ඔහු කියා සිටින්නේ.
පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය, මහමැතිවරණය පොදුජන පෙරමුණ ජයගත් බව කී ඔහු වැඩිදුරටත් කරුණු කිහිපයක් එම අදහස් දැක්වීම තුළදී කීවා.
‘පාරවල් කිලෝමීටර් ලක්ෂයක් කාපට් කළා. වැව් 14,000ක් ප්‍රතිසංස්කරණය කළා. උපාධිධාරීන් 60,000ක් පෙළපාලි ගියා. ඒ පිරිසට රැකියා ලබා දුන්නා. අට සමත් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩපිළිවෙලේ බාගයකට රැකියා දුන්නා. වී කිලෝ එකේ අගය වැඩි කළා. මේ වගේ විශාල වැඩකොටසක් කරගෙන යද්දී කොරෝනා ආවා. අපට පොඩි තැනක් වැරදුණා. රසායනික පොහොර භාවිතය නවත්වලා කාබනික පොහොරවලට කෘෂිකර්මය හරවන්න යෑමේ අඩුපාඩුවක් වුණා. හිටපු ජනාධිපතිතුමාට වැරදි උපදෙස් දුන්නා වෛද්‍යවරු, සමහර ස්වාමීන් වහන්සේලා, වටේ හිටපු පිරිසක්. ඒ කඩාවැටීමත් එක්ක තමයි ආර්ථික අර්බුදයක් ඇතිවුණේ.
අවුරුදු ගාණක් තිස්සේ ඩොලර් බිලියන ගණන් ණය වුණා. අන්තිමේ ඒක පිපුරුවේ අපේ ආණ්ඩුව කාලේ. ඒක උගත් සාමාන්‍ය ජනතාව දන්නවා. හැමදාම නිතරම පාරට බැහැලා ආණ්ඩුව විනාශ කරන්න කටයුතු කරපු පිරිසට මේවා අදාල නැහැ. එයාලාට ඕනෑ නැති ප්‍රශ්න ඇති කරලා උද්ඝෝෂණය කරලා ආණ්ඩුව අපහසුතාවට පත් කරලා ආණ්ඩුව පෙරළන්න.
අපි ගමට ගියා. පහුගිය දවස් ටිකේම හිටියේ ගම්වල. ගම්වල ජනතාව හොඳින් දන්නවා. අපට දැන් තියෙන පක්ෂය මොකක්ද? සජිත් පස්සේ යන්නද? අනුර පස්සේ යන්නද? මේ රටට වැඩක් කරපු මහින්ද රාජපකෂ මහත්තයා නායකයා විදියට ඉන්න පක්ෂය හැරෙන්න වෙනත් කිසිම පක්ෂයකට යන්නේ නැහැ කියන උත්තරය අපට දුන්නා.
අපේ පොදුජන පෙරමුණ කාර්යාලයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු පටන් ගත්තා. නාමයෝජනා දීලා අපේ පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු පටන් ගත්තා.
හුඟක් දෙනෙක් අලුත් තරුණ කතාවක් කියාගෙන යනවා. තරුණයෝ තමයි දේශපාලනය කරලා පරිණතභාවයට පත් වෙන්නේ. තරුණයෝ එන්න ඕනෑ. නමුත්, අපේ හිටපු ජනාධිපතිතුමාට කියනවා මයිනා කියලා. මයිනා කියන්නේ වයස වැඩියි කියලා.
කියුබාව අනුගමනය කරනවා කියන අය ෆිදෙල් ක්‍රස්තෝ ජනාධිපතිතුමා කොච්චරකල් හිටියද? ඊළඟට බලන්න ඇමෙරිකාව ලෝකෙ තියෙන ප්‍රධානම රට. ජෝං බයිඩන් ජනාධිපතිවරයාගේ වයස කීයද දැන්? ඊළඟට බලන්න පුටින්, රුසියාවේ හැත්තෑවත් පැනලා. බොරු ස්ලෝගන් ඉදිරිපත් කරලා, තරුණයෝ අවුස්සලා අරන් යන ක්‍රමයට රටේ ජනතාව විරුද්ධයි. ඒක මැතිවරණයක් තිබ්බාම බලාගන්න පුළුවන් තමුන්නාන්සේලාට.‘
මෙම අදහස් දැක්වීම යම් දුරටකට සාවද්‍ය වුණත්, මේ පසුපස තිත්ත ඇත්තකුත් තිබෙනවා. අප අද දකින ජවිපෙ රැල්ල වගේම පොහොට්ටු විරෝධය මෙරට සමස්ත ජනතාව අතර කිඳා බැසගත් අදහසක්දැයි අපම විමසිය යුතුයි. ආර්ථික අර්බුදය හමුවේ පීඩාව දරාගත නොහැකිව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එළවා දැමීමට විශාල පිරිසක් කොළඹ ආවත්, ඇතැම් සාමාන්‍ය ජනතාවගේ හිස් තුළට රාජපක්ෂවාදය කෙතරම් කිඳා බැස තිබෙනවාදැයි නැවත පරීක්ෂාවට ලක්විය යුතුයි. 2015 ජනාධිපතිවරණය සහ මහමැතිවරණයත් ඇතුළත්ව මෑත ඉතිහාසයේ සියලු මැතිවරණවලදී ජනතාව රාජපක්ෂ පාර්ශ්වයට ඡන්දය දුන්නා. රාජපක්ෂලාට එරෙහි වෙන විපක්ෂයේ ඕනෑම කණ්ඩායමක් ගැන ජනතාවගේ ලේ තුළට කාවැද්දූ සමහර අදහස් තිබෙනවා. ඒවා අතිශය ප්‍රබලයි.
ඒ නිසාම රාජපක්ෂලා ගැන සමස්ත රටේම විරෝධයක් ඇති වුණත්, රාජපක්ෂවාදය මුලිනුපුටා දමන්නට පසුගිය වසරක කාලසීමාවේ සිදු වූ සිදුවීම් ප්‍රමාණවත්දැයි ඉදිරි මැතිවරණයකදී අලුතින් පරීක්ෂාවට ලක් කරන්න සිදු වේවි.