වසන්ත ගැන මාධ්‍ය කීව බොරු! වසන්තගේ කෙටි අදහස

වසන්ත මුදලිගේව දෙසැම්බර් 12 වැනිදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී වසන්තව තවදුරටත් රිමාන්ඩ් කරන්න නියෝග ලැබුණා. හැබැයි මේ ගැන හිරු නිව්ස් වාගේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සත්‍ය විකෘති කරලා වාර්තා කරනවා. ඒ නිසා ඇත්තටම අධිකරණයේදී වෙච්ච දේ ගැන අපි කෙටි අදහසක් කියන්නම්.

හිරු නිව්ස් වෙබ් අඩවිය ලියා තිබුණේ දින 89ක් තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන හිටපු වසන්ත, අධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ බන්ධනාගාරගත කරලා මේ විදියට ඇප නැතිව ඉන්නවා කියලා.

හැබැයි ඇත්තටම වසන්තට ඇප නොලැබෙන්නේ අධිකරණය නිසා නෙවෙයි. තවමත් ඔහුව තියාගෙන ඉන්නේ දේශපාලන තීන්දුවක් අනුව. තවම ප්‍රශ්නය ඔහුට ඇප දෙන්න නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාව ලැබුණේ නැති එක. අධිකරණයේ ස්වාධීනත්වය නෙවෙයි. තවම වසන්තව තියාගෙන ඉන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ.

උසාවි කටයුත්ත ඉවරවෙලා එළියට එද්දී වසන්ත කෙටි අදහස් දැක්වීමක් කළා. මේක අගෝස්තු මාසයේ ඔහුව අත්අඩංගුවට පත්වීමෙන් පස්සේ පළවැනි ප්‍රසිද්ධ අදහස් දැක්වීම.

‘රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන එකට කියන්නේ ත්‍රස්තවාදය කියලා නම්, අපි ලෑස්තියි අවුරුදු ගාණක් හිරේ ඉන්න. හැබැයි තක්කඩි ආණ්ඩු ඉස්සරහා අපි දණ ගහන්නේ නෑ.‘ බස් රියේ ඉඳන් ඔහු කතා කළේ, එක්රැස් වූ මිනිස්සු වසන්තට ජයඝෝෂා නගන අතරේයි.

අපි වසන්තගේ ඒ කෙටි අදහස් දැක්වීම ගැන කියන්නට කලින්, ඔහුට ඇප නොලැබීම ගැන අදහසක් දක්වන්නම්. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වගේම නීතිඥ නුවන් බෝපගේ ඇතුළු අය දිගින් දිගටම සාලිය වෙනුවෙන් අධිකරණයේ පෙනී ඉන්නවා.

අධිකරණයේ සිටි ක්‍රියාකාරිනියක දැක්වූ අදහස් අනුව, මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් ආණ්ඩුව පැත්තෙන් කීවේ, වසන්ත ගැන කරපු විමර්ශන තවමත් සීයට 60ක් විතරලු වෙලා තියෙන්නේ. වසන්තට තියෙන චෝදනාවලට අදාල සමාජ මාධ්‍ය වීඩියෝ ආදී විද්‍යුත් දත්ත තියෙනවාලු. දැන්, ඒවා ගැන විමර්ශනය කරන්න ඕනෑලු. ඒ වෙනුවෙන් අදාල දර්ශන ආදිය පළකරපු යූටියුබ් සමාජ මාධ්‍යවල අයව ප්‍රශ්න කරන්න ඕනෑලු.

ඒ නිසා වසන්තට චෝදනා ගොනු කරන්නත් තව කල් ඕනෑලු. ඒ වෙනුවෙන් රිමාන්ඩ් කරලා තියන්නලු.

ඒ කියන්නේ, තවමත් වසන්තට චෝදනා හරියට ගොනු කරන්න කරුණු නැහැ. දවස් සීයකට එහා රඳවාගෙන ඉඳලත්, කරලා තියෙන විමර්ශනවල තරම තමයි මේ. ඇත්ත කතාව වසන්තට සාක්ෂි ඇතිව හරි චෝදනාවක් ගොනු කරන්න බැහැ. කරනවා නම්, කතන්දරයක් ගොතන්න වෙනවා.

අනෙක් පැත්තෙන් වසන්තගේ විමර්ශනය පාවිච්චි කරමින්, විරෝධතා ව්‍යාපාරය වාර්තා කරපු සමාජ මාධ්‍ය පාවිච්චි කරපු ස්වාධීන මාධ්‍යකරුවන්ව ප්‍රශ්න කරන්නත් ඉදිරියේදී උත්සාහ කරන බව පේනවා.

ඉතින්, මේ කතන්දර කියලා හරිහැටි චෝදනාත් ගොනු නොකර විමර්ශනයට කල් ඉල්ලීම ගැන ජනාධිපති සාලිය පීරිස් මහතාත් විරෝධයක් මතු කරලා තිබුණා අධිකරණයේදී.

හැබැයි වසන්තට ඇප නොදී කල් දැමීම කියන්නේ මේ වෙද්දී දේශපාලන තීන්දුවක්. දේශපාලනීකරණය වූ නීතිපති දෙපාර්තමේන්තුවේ තීන්දුවක්.

ලංකාවේ මහ හොරුන්ට අදාල නඩු, චෝදනා දුර්වල කරලා ඒ නඩු කල් ඇදලා ඒ නඩුවලින් හොරුන්ට සහ අපරාධකරුවන්ට බේරෙන්න හැරපු නීතිපති දෙපාර්තමේන්තුවේ තීන්දුවක්. මහා අල්ලස් නඩුවලින් පුද්ගලයන් බේරලා හැරපු නීතිපති දෙපාර්තමේන්තුවේ තීන්දුවක්.

මේක දේශපාලන තීන්දුවක්.

ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව ගැන මීට කලින් හිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් කෙනෙක් වන ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා කරපු අදහස් දැක්වීමක් තියෙනවා. 2021 ඔක්තෝබර් මාසේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පැවැත්වූ වැඩසටහනකදී තමයි ශ්‍රීනාත් පෙරේරා මහතා කතා කළේ. ඒකෙන් මෙතැනට අදාලව ඔහු කීව දෙයක් අපි මතු කරන්නම්.

‘මේ රටේ බරපතළ අපරාධයක් කළාම ඒ අපරාධයට නඩු පවරන්නෙ මහාධිකරණයේ. නීතිපතිවරයා විසින් තමයි ඒක කරන්නෙ. අදාළ අපරාධය ගැන පරීක්ෂණ කරලා ඉවර වෙලා, පොලිසිය විසින් ඒ ගොනුව නීතිපතිවරයා වෙත එව්වම ඒකෙ තියෙන කරුණු සලකලා, අඩුපාඩු තියෙනවා නම්, තවදුරටත් විමර්ශන කරන්න කියලා දැනුම් දීලා, ඒ සියල්ල සම්පූර්ණ කළාට පස්සෙ තමයි, අධිචෝදනා ගොනු කරන්නෙ….

…. යම්කිසි රාජ්‍ය නිලධාරියෙකුට ස්වාධීනව තීන්දු තීරණ ගන්න තිබුණු ඒ කොඳු නාරටිය හතරට කඩලා ඉවරයි. නීතිපති දෙපාර්තමේන්තුවෙ ඉන්න නිලධාරීනුත් අධිකරණවලට පත්වීම් ලබාගන්න කැමැත්තෙන් ඉන්නවා. ඒකෙ වැරැද්දක් නෑ. නීතිපති දෙපාර්තමේන්තුවෙ දීර්ඝ කාලයක් වැඩ කරන අය, ඊට පස්සෙ අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් ලෙස පත්වීමේ කැමැත්තකින් ඉන්නවා.‘

ස්වාධීන නොවන නීතිපති දෙපාර්තමේන්තුව, මේ වෙද්දී වසන්තව සිරගත කරමින්, හරිහැටි චෝදනාත් ඉදිරිපත් නොකරමින්, මූලික චෝදනාවක් ගොනු කරන්න දීර්ඝ කාලයක් ගනිමින් වසන්තට කිසිදු වරදක් නොකරම සිර දඬුවම් විඳින්න සලස්සලා තියෙනවා. මේක බරපතල අයුක්තියක්, අසාධාරණයක්.

ඉතින්, වසන්ත අර කීව කතාවට නැවත යොමුවෙමු. ‘රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන එකට කියන්නේ ත්‍රස්තවාදය කියලා නම්, අපි ලෑස්තියි අවුරුදු ගාණක් හිරේ ඉන්න. හැබැයි තක්කඩි ආණ්ඩු ඉස්සරහා අපි දණ ගහන්නේ නෑ.‘

වසන්තගේ මේ අදහස් දැක්වීම කෙටියි, සරලයි. හැබැයි වසන්ත පෙන්වන්නේ තවමත් ඔහුගේ නොසිඳුණු සටන්කාමීත්වය. දීර්ඝකාලයක් සිරගත කරපු සමහර දේශපාලනඥයන්ගේ සැර, කල් යද්දී බාල වෙනවා අපි දැකලා තියෙනවා. ටිකක් දුර්වල වෙනවා. බය වෙනවා. හැබැයි වසන්ත එහෙමමයි.

ජනතාවක් විදියට කොහොමහරි වසන්ත එළියට ගන්නට මැදිහත් වෙන්න ඕනෑ. මේ සිදුවීම් වාර්තා කරන මාධ්‍යවල සිට, සියල්ලන්ගේ තියෙන කුහකකම් එළියට එන්න ඕනෑ. රටක ජනතාවක් දැඩි ඒකාධිපති ආණ්ඩු හමුවේ සටන්කාමී වෙන තරමට රටක් ඉදිරියට යනු ඇති.