පීචං නොවූ, සුප්‍රබුද්ධයා නිහාල් නෙල්සන්

“ඔබට මම අද ගෙනාව මල් වෙඩිල්ලක්. මල් ලස්සනට පුපුරලා මල් විහිදුවා බලන අයට චමත්කාරයක් පෙන්නලා බිමට වීසිවෙලා යනවා. මම අද ගෙනාව මල් වෙඩිල්ල කවදාවත් බිමට වැටෙන්නේ නැහැ.‘‘

දිනය 1963 මාර්තු 31. වේලාව දහවල් 12.20යි. කරුණාරත්න අ‍බේසේකර මුල්මවරට ගුවන් විදුලියෙන් තමන්ගෙ ගීයක් විකාශය කරන්න කලින්, තමන්ව ඔය විදියට හඳුන්වාදුන් හැටි ජීවිතය ඇති තුරාවට නිහාල් නෙල්සන්ට අමතක වුණේ නැහැලු. තරුණ කොල්ලෙක් විදියට නිහාල් නෙල්සන්ගෙ ගැයීම මුලින්ම කරීම් මාස්ටර්ටත්, ඊට පස්සේ තව ලොකු පිරිසකටත්, කරුණාරත්න අබේසේකරටත් ඇහෙනවා. එදා හිටපු සංගීතය දන්න උදවිය ඇහුණ ගමන් කටහඬක වටිනාකම අඳුනගන්නවා. කෙළින්ම සංගීත ලොවේ දොරටු නෙල්සන්ට ඇරුණා. ඇත්තටම එදා පත්තු කරපු මල් වෙඩිල්ල අදටත් පත්තු වෙනවා.

නිහාල් නෙල්සන් ජීවිතයෙන් සමු අරන්. මිනිසුන් ජීවිතෙන් සමුගත්තාට පස්සේ වර්ණනා කරනවා කියලා කෙනෙක් කියාවි. එහෙත්, මනුස්සයෙක් ජීවිතෙන් සමුගනිද්දී, ඒ කෙනා ගැන අතීත ස්මරණයකට යන එක කොච්චර වැදගත්ද? ඉතින්, අපි නෙල්සන් ගැන කතා කරමු. නිහාල් නෙල්සන් ගැන මතකයට නගාගන්නට වටිනම කරුණු කිහිපයක් අප මෙහි කියනවා.  

අමරදේව බිහි වූ මොරටුවෙන්, මොරටු විද්‍යාලයෙන් නිහාල් නෙල්සන් ආවත්, අමරදේවගේ ශෛලියට වඩා වෙනස්ම ශෛලියකින් ගී ගැයූ කෙනෙක් ඔහු. විශේෂයෙන්ම අමදේවගේ ගීතවල තිබුණ සාහිත්‍යයට බර, සෞන්දර්යාත්මක, බර වචන වෙනුවට නිහාල් ගැයූ ගීතවල තිබුණේ හරිම සිම්පල් වචන. ඒ නිසා මිනිස්සු ඔහුව ආදරෙන් වැළඳගත්තා.

ජෝතිපාල සිනමාවේ රජ කරද්දී, වේදිකාව සහ කැසට් කලාවේ නෙල්සන් රජ කළා. හැත්තෑනවයේ කැසට් කලාව ව්‍යාපාරයක් විදියට ඇරඹුණ අවුරුද්දේම නෙල්සන් කැසට් පටන් ගත්තා. වැඩිම කැසට් සංඛ්‍යාවක් ගහපු, වැඩිපුරම කැසට් විකුණපු සිංහල ගායකයා විදියටත් ඔහුව සලකනවා. හාරදාහට වඩා සිංදු ගණනකුත් ගැයූ ඔහු වැඩිම සංගීත ප්‍රසංග ගාණක ගායනා කරපු ගායකයා විදියටත් සමහරු හඳුන්වනවා.

නිහාල් නෙල්සන්ගෙ, හේමසිරි හල්පිට ලීව ‘ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ‘ සිංහල ගීත ඉතිහාසයේ ලියවෙච්ච හොඳම සාහිත්‍ය නිර්මාණයක්. අතිශය ප්‍රබල විදියට ගලපපු වචන ඒකෙ තිබුණා.

හැබැයි විචාරකයන් මේ සිංදුවලට මාර විදියට ගැහුවා. පීචං සිංදු කියලා. ඔය අසූව, අනූව දශකයෙ නිහාල් නෙල්සන්ලව ගීත කලාවෙන් එළවන්න සමහරු නොකරපු දෙයක් නෑ. සමහර ප්‍රසංගවල, රේඩියෝ වැඩසටහන්වල දොර නෙල්සන්ට ඇරුණේ නෑ.

ඒ නිසා නෙල්සන් දිව්වේ කෙළින්ම මිනිස්සුන්ගෙ බලයෙන්.

බොහෝ අය ඔහුගෙ ගීත අහන්නේ, ගයන්නේ සහ ඔහුගෙ ගීතවලට නටන්නේ පොඩි මධුවිතක් එක්ක. වීදුරුව එක් අතක, සිගරැට්ටුව එක අතක තියෙද්දී තාලෙට ඩාන්ස් එකක් දාන්න ගැලපෙනම සිංදු ඔහු ගයලා තියෙනවා.

හැබැයි ඔහුගෙ සැබෑ ජීවිතේ, ඔහු අගය කරන දේවල් වෙනස්ලු. අප කිසිදා ආශ්‍රය කරලා නැතත්, ඔහු කියන විදියට ඔහු මත්පැන් හෝ සිගරැට් බොන්නේ නැහැලු. ඔහු හැදී වැඩුණේ හැමදාම උදේට පන්සිල් අරගෙන. ඉස්කෝලෙ ඔහු ගායන හැකියාව වර්ධනය කරගත්තේ පිරිත් කියන කණ්ඩායමේ සහ එක එක බෞද්ධ කවි ආදිය ගායනා කරලා. ඊට පස්සේ පාලි වගේ විෂයනුත් ඉගෙනගත්ත කෙනෙක් ඔහු.

ඔහුගේ මිත්‍ර සරත් මුණසිංහ තමයි එපා එපා මස් කන්නට කිරි අම්මාගේ කියන සිංදුව ලියා තිබුණේ. පසුව, සරත් මුණසිංහ පැවිදි වෙලා තිබුණා.

නිහාල් නෙල්සන් බිරිඳට පුදුම විදියට ආදරය කරපු කෙනෙක් විදියට තමන්ව සලකන්න කැමතියි. 2020 දී ‘මාලි‘ කියන නමින් ඔහු හඳුන්වපු බිරිඳ ජීවිතෙන් සමුගත්තා. ඇත්තටම නිහාල් නෙල්සන් මහතා තමනගෙ බිරිඳට ගීතත් හදලා තියෙනවා. බිරිඳ සමුගැනීමෙන් පස්සේ ඔහු දුන්න සම්මුඛ සාකච්ඡාවක් දැක්කාම හිතුණා මේ වටිනා මනුස්සයා පාලුවට, තමන්ගේ මරණය එනතුරු බලා ඉන්නවාද කියලා. ‘මාලිගේ මළගෙදරට තරම් මිනිස්සු මගේ මළගෙදරට එයිද දන්නේ නැහැ. මොකද, මිනිස්සු මාලිට ආදරෙයි‘ කියලා නෙල්සන් පත්තරේකට කියා තිබුණා.

නෙල්සන් ගැන බ්ලොග් සටහනක තිබුණ කොටසකුත් මෙතැන උපුටා දක්වන්නම්.

//”එක පාරක්, පුන්කලස් තියපු රතු පලස් එළපු දොරගාව මඩ ටිකක් ළාවට වැදිච්ච ටෙලිවිෂන් වැඩසටහනක නිවේදකයෙක් අමරදේව මාස්ටර්ගෙන් අහනවා “අද බොහෝ ගීත භාෂාව විකෘති කරලා ගැයෙනවා නේද” වගේ ප්‍රශ්නයක්. බලාගෙන ඉන්න අයට තේරෙනවා එයා මොන වගේ උත්තරයක්ද බලාපොරොත්තු වෙන්නෙ කියලා. හැබැයි අමරදේව මාස්ටර් එයාගෙ අතට සාම්ප්‍රදායික කැච් එක නොදී මොඩර්න් සික්සර් එකක් වැටට උඩින් යන්න ගහනවා මෙන්න මෙහෙම. “මෙහෙමයි, වියත් වහර – ජන වහර – පුර වහර කියලා තුනක් භාවිත වෙනවනේ. එක් එක්කෙනා ගයන්නෙ එක් එක් වහරින්. ඒ හැම එකක්ම එකතු වෙලා තමයි ගීත සාහිත්‍යය හැදෙන්නේ” අන්න ඒ කියපු පුර වහර පාවිච්චි කරලා මනහර – සුන්දර – පලබර පද පිළිවෙළින් ගින්දර වගේ සින්දු කියපු ගායකයා නිහාල් නෙල්සන් කියලා අපි කිව්වොත් කවුරු මොනවා කියන්ඩද? “//

නිහාල් නෙල්සන්ට විරුද්ධව අමරදේව මොනාවත් කියල නැතිවුණාට, අමරදේවලාගෙ සංගීතයට කැමති සමහරුන්, නිහාල්ලාගේ සංගීතයට ගැහුවා. ප්‍රබුද්ධ ගීත කියල වෙනම මගුලක් හැදුවා. නිහාල් ඒකට දුන්න උත්තරේ ‘එයාල ප්‍රබුද්ධ නම්, අපි සුප්‍රබුද්ධ‘ කියලයි.

‘‘ජෝති මැරුණාම ප්‍රබුද්ධයෝ කිව්වේ මොකක් ද? ජෝති සංස්කෘතික බලකණුවක් කියලා. ජීවත්ව සිටි ජෝතිට වඩා ‘සුප්‍රබුද්ධ‘ වුණේ මිය ගියාට පස්සේ.“ නෙල්සන් කීවා.