අපි කතා කරන්න යන රූබන් ඔස්ට්ලන්ඩ් කියන ස්වීඩිෂ් ඩිරෙක්ටර්ගේ ට්‍රයිඈන්ගල් ඔෆ් සෑඩ්නස් ෆිල්ම් එක, ලොකු ඛේදවාචකයක් එක්ක ගැටගැහිච්ච ෆිල්ම් එකක්.. උසස් සිනමාව තුළ ඉහළම සම්මානය වන කාන් සිනමා උළෙලේ පාම් දෝ සම්මානය 2022 දී ලැබූ චිත්‍රපටිය මේක වුණත්, මේ කියන ඛේදවාචකය සහ චිත්‍රපටිය එකිනෙකින් වෙනස් කරන්න බෑ.
චිත්‍රපටියෙ රඟපෑව ප්‍රධාන රංගන ශිල්පිනිය හරියටම චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙන්න ඔන්න මෙන්න තිබියදී ජීවිතයෙන් සමුගැනීම පිළිබඳ ඛේදවාචකයක්.
ඇය චාර්ල්බි ඩීන් කියන තරුණ, විශිෂ්ඨ රංගන ශිල්පිනිය. අසනීපයකින් රෝහල්ගත කරපු ඇය, ඉක්මනින් අසාධ්‍ය තත්වයට පත්වෙලා හදිසියේ මියගියාලු. ඒ එක්කම තමයි මේ චිත්‍රපටිය රිලීස් වුණේ. කාන් සම්මාන උළෙලේ ප්‍රදර්ශනයෙන් පස්සේ, චිත්‍රපටියට විනාඩි අටක් තිස්සේ ප්‍රේක්ෂකයන් නැගිටලා ඔල්වරසන් නැගුවාලු.
මේකේ කතාව සරල භාෂාවෙන් කීවොත්, යොත් බෝට්ටුවක නිවාඩුවකට යන ධනවතුන් පිරිසක් සහ ඒකෙ වැඩකරපු පිරිසක් යාත්‍රාවට සිදුවන අනතුරකින් පස්සේ දූපතක අතරමං වෙනවා. හැබැයි මේ කියන අනතුර වෙන්නේ චිත්‍රපටියේ තුන්වැනි කොටසේදී. අනතුරට කලින් මේ අතරමං වෙන චරිත කවුද කියන එකත්, එයාලාගේ තත්වයත් ප්‍රේක්ෂකයාට තේරුම් කරලා දෙන එක තමයි චිත්‍රපටියේ මුල් තුනෙන් දෙක පුරා සිද්ධ වෙන්නේ.
අඳුරු උපහාසයක් තියෙන, හරියට බැලුවොත් හිනා යන, රසවත් සිදුවීම් ගණනාවක් තුළ කතාව ගලා යනවා.
මුලින්ම නිරූපණ ලෝකය ගැන පොඩි දර්ශනයක්. පරිභෝජනවාදය, භාණ්ඩ මාකට් කරන විදිය ගැන අපූරු දර්ශනයක් ඒක. ඊට පස්සේ අධ්‍යක්ෂවරයා ප්‍රධාන චරිත දෙක අතර සම්බන්ධය එස්ටැබ්ලිෂ් කරන්න ඩිනර් ටේබල් සීන් එකකට යනවා. මේ සීන් දෙකම නාගරික හයි ක්ලාස් ස්ථාන දෙකක තියෙන දර්ශන.
ඊට පස්සේ අපට හම්බවෙනවා, ඉතාම ධනවතුන් පිරිසක් ඉන්න යොත් බෝට්ටු සවාරියක්. බෝට්ටුවේ ඉන්නවා රුසියානු ‘අසූචි වෙළෙන්දෙක්‘. ඔව්, පොහොර විදියට අසූචි විකුණලා ප්‍රකෝටිපති වූ කෙනෙක්. තව ඉන්නවා බෝම්බ වෙළෙන්දෙක්. ඔව්, අත්බෝම්බ තමයි මිනිහගෙ එකම බිස්නස් එක. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රඥප්ති අත්සන් කරලා බිම්බෝම්බ තහනම් කරලා තමන්ගෙ බිස්නස් එකට කරපු ‘විනාසය‘ ගැනත්, තමන් ‘ඒ අභියෝගය‘ මුහුණදුන්න හැටි ගැනත් බෝම්බ වෙළෙන්දා ආඩම්බරෙන් කියනවා.
ඊට පස්සේ බෝට්ටුවේ ඉන්නවා මාක්ස්වාදී කැප්ටන් කෙනෙක්. මිනිහා චිත්‍රපටියේ ප්‍රබලම දර්ශනය වන යොත් බෝට්ටුවේ කැප්ටන්ගේ ඩිනර් එක අවසන් වෙද්දී ධනවතුන් ගැන නියම දේශනයක් දෙනවා. ඒ කැප්ටන්ගෙ ඩිනර් එක මාර දර්ශනයක්. හයි ලෙවල් ඩිනර් එකක තියෙන විකාර ගතිය ගැන අමුතුවෙන් කියල දෙන්න ඕනද? බෙල්ලොයි, අමුතු සලාද වර්ගයි, අමුතුවට සරසපු කෑම ප්ලේටුයි කොච්චර සමයංද? ඊට වඩා අපේ විදියට නං බත් ඩිංගක්, ඇමෙරිකන් විදියට නං බර්ගර් එකයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකයි කොච්චර නියමයිද?
හැබැයි මේ විකාරරූපී ඩිනර් එක සම්පූර්ණ පිස්සුවකට හැරෙන්නේ, සාදය අස්සේ කුණාටුවක් ඇතිවෙන හින්දා. ඉතාම ප්‍රබල දර්ශන ගණනාවකින් සමන්විත මේ ඩිනර් සීන් එක අවසන් වෙන්නේ, ඇමෙරිකන් මාක්ස්වාදියෙක් සහ රුසියානු ලිබරල්වාදියෙක් අතර වාදයකින්.
ඔව්, මේ වෙද්දී ලෝකෙ ගොඩක් අය දන්නවා සුපිරි ධනවතුන් මේ ලෝකෙ ඉන්න දුෂ්ඨම මිනිස්සු පිරිසක් කියලා. බහුතරයක් මිනිස්සුන්ට අයිති දේවල් තනියෙන් ගොඩගහගෙන, අතිශයින් මිල අධික දේවල් පරිභෝජනය කරන ගමන්, හරියට බදු නොගෙවන සුපිරි ධනවතුන්. සමාජය වෙනුවෙන් තමන්ගෙ කාර්යභාරය හරියට නොකරන සුපිරි ධනවතුන්.
හදිසියේවත් දූපතක අතරමං වුණත්, කන්න මාළුවෙක් අල්ලගන්නවත් දන්නේ නැති, අනුන් ලව්වා හැමදේම කරගන්න බලන සුපිරි ධනවතුන්. සල්ලිවලින් හැමදේම කරන්න යන සුපිරි ධනවතුන්.
භාණ්ඩවලට, වස්තූන්ට තණ්හා කරන සුපිරි ධනවතුන්. ඇත්තටම, උංට එරෙහි ෆිල්ම් එකක් හදන එක එච්චර ෂොකින්, නැවුම් තේමාවක් නෙවෙයි. අනෙක සුපිරි ධනවත්තු ටිකක්, දුප්පත් දෙතුන් දෙනෙක් එක්ක දූපතක තනි වුණාම වෙන දේ අනුමාන කරන්නත් අමාරු නෑ.
ට්‍රයිඈන්ගල් ඔෆ් සෑඩ්නස් ෆිල්ම් එකේ මේ සරල තේමාවන් අරගෙන ඒක රාමුවක් විදියට තෝරගෙන, මිනිස්සු ගැන කතා කරනවා. වර්තමාන යුගයේ කාන්තාව සහ පිරිමියා ගැන කතා කරනවා. ප්‍රේම සම්බන්ධතාවක තේරුම ගැන කතා කරනවා. ඒ විතරක් නෙවෙයි, මුළු කතා තේමාවම දියුණු රූපවලට නගනවා.
ඩිරෙක්ටර් රුබෙන් කියන විදියට ඔහුගෙ චිත්‍රපටිවල එක් ප්‍රධාන තේමාවක් තමයි නූතන සමාජය තුළ පිරිමියෙකුගෙ භූමිකාව කියන එක. ඒක ආත්මීය වැඩක්. සාමාන්‍යයෙන් හැම තැනකදීම වගේ කෝනර් වෙන්න පිරිමින්ට සිද්ධවෙන බව ඔහු කියනවා. හොඳ පිරිමියෙක් කළ යුත්තේ කුමක්ද? තීන්දු ගන්න එක හරිම අමාරුයි.
ලංකාවෙ නම් තවමත් ඔය පිරිමි- ගැහැණු සම්බන්ධතාව ගැන තියුණු සංවාද පත්තු වෙලා නෑ. හැබැයි යුරෝපය, ඇමෙරිකාව වගේ බටහිර ලෝකයේ රටවල දැන් පුරුෂ- ගැහැණු බල සම්බන්ධතා ගැන සාකච්ඡා කරනවා.
මේ චිත්‍රපටියේ මුලින්මත්, අවසානයේදීත් අප දකින ප්‍රධානම චරිතය තමයි හැරිස් ඩිකින්සන්. හරිම කියුට් කොල්ලෙක්. ඔහු කාල් කියලා පිරිමි මොඩල් කෙනෙක්. පිරිමි මොඩල්ලා කාන්තා මොඩල්ලාට වඩා ඉතාම අඩු පඩියක්ලු ගන්නේ.
මේ චිත්‍රපටිය තුළ බලය පිළිබඳවත් කතා වෙනවා. කැපිටල් එක හෙවත් ප්‍රාග්ධනය එක්ක බලයත් ගැටගැහෙනවා. හැබැයි බලය හිමි අය තමන්ට ඕනෑ දේවල් ලබාගන්න ප්‍රාග්ධනය අවභාවිත කරනවා. ඊට පස්සේ තමන්ගේ හිත තුළ තමන්ව සාධාරණීකරණය කරනවා. බලය රැකගන්න ඕනෑ අපරාධයක් කරනවා. ලංකාවේ අද වෙන්නේත් ඒක. ලෝකයේ වෙන්නේත් ඒක.
සමස්තයක් විදියට කීවොත් නූතන සමාජය තුළ පුද්ගලයා, පුද්ගලයන් අතර සමාජ සම්බන්ධතා, බලය, ධනය හැසිරෙන විදිය කතා කරන අස්සේම, ඉහළම ධනවතුන් මිනිසුන්ව හූරගෙන කාලා ඉපැයූ ධනය පාවිච්චි කරමින් ගෙවන්නට උත්සාහ කරන විකාරරූපී ජීවිතය ගැන අඳුරු උපහාසාත්මක ඇහැකින් දකින නියම ෆිල්ම් එකක් මේක.
අද අපේ පාලකයො කරන්නේ, මේ චිත්‍රපටිය අවසානයේ ඇබිගේල් කියන කාන්තාව කරන දේමයි. බැලූ කෙනෙක්ට මේ කියපු දේ වැටහේවි.