අතිවිශිෂ්ඨ සිනමාකාරයා ගුරු දත්, ප්‍රේමය සහ බිහිසුණු මිනීමැරුම් දක්වා කතා කරන්නට ටිකක් පර්යේෂණාත්මක සහ උපහාරමය රූපරාමුවලින් පිරිච්ච අපූරු චි ත්‍රපටියක් විදියට අධ්‍යක්ෂ ආර්. බාල්කිගේ ‘චුප්- ද රෙවේන්ජ් ඔෆ් ඇන් ආටිස්ට්‘ සලකන්න පුළුවන්. චිත්‍රපටියේ ලස්සන යටිපෙළක් තියෙනවා. ඒක සිනමාවට තියෙන ආදරය ගැන යටිපෙළක්. අපිත් පණ වගේ සිනමාවට ආදරය කරන නිසා, ජීවිතයේ දුක, සතුට, පීඩනයන් ආදී සියල්ල සමනය කරගන්නට සිනමාව පාවිච්චි කරන නිසා, ඉතාම ආදරයෙන් මේ ෆිල්ම් එක ගැන කතා කරන්න පුළුවන්.
මේ ෆිල්ම් එකේ පළමු තේමාව විචාරකයන්ව මරන සයිකෝ කිලර් කෙනෙක්. ඒ කෙනා කවුද කියලා හොයා යන අර්වින්ද් මාතූර් කියන රහස් පරීක්ෂකයාගේ චරිතය සනී ඩියොල් රඟපානවා. මේකෙ සයිඩ් එකෙන් දුල්කර් සල්මාන් රඟපාන, ඩැනී කියන මල් විකුණන්නා සහ ෂ්‍රෙයා සල්මාන් රඟපාන නිලා මෙනන් කියන සිනමා මාධ්‍යවේදිනිය ඉන්නවා. ඩැනී සහ නිලා ආදරය කරනවා. යම් මොහොතක නිලාටත් කලින් කීව මිනීමරුවාගේ තර්ජනය එල්ල වෙනවා.
මේ චිත්‍රපටියෙ මිනීමරුවා කවුද කියල අපි මෙතැන කීවෙ නැතත්, චිත්‍රපටිය ස්පොයිල් නොකර, ඒ මිනීමරුවා සිනමාව අත්හැරපු අධ්‍යක්ෂ කෙනෙක් කියා කියන්න පුළුවන්.
හැබැයි මේ මිනීමරුවා පුංචි කාලෙ ලොකු වේදනාවක් පිට කරන්න කලාවට යොමු වුණ කෙනෙක්. පුදුමාකාර දුකක් විඳින මිනිස්සු ඒ දුක පිට කරන්න එක්කො උමතු වෙනවා, සයිකෝපාත්ලා වෙනවා නැත්නම් කලාකරුවන් හෝ චින්තකයන් වෙනවා. මේ මිනීමරුවා මුලින් වැටිලා තිබුණේ කලාකරුවාගේ පාරට. ඒත්, ඔහුගේ සිනමාව විචාරකයන් විසින් මරා දැමුවා. ඔහු කලාවෙන් පෙන්වන්න හදපු තමන්ගේ වේදනාවට විචාරකයන් හිනා වුණා. අන්තිමේ ඔහු දාම ඝාතකයෙක් හෙවත් සීරියල් කිලර් කෙනෙක් වුණා.
‘උඹේ වැඩේ සිනමාව විඳින එක. ෆිල්ම් එකක් කොච්චර බිස්නස් කරයිද කියන එක නිෂ්පාදකයගෙ වැඩක්.‘ එක මිනීමැරුමක් කරන අතරේ මිනීමරුවා එහෙම කියනවා.
කාගාස් කි පූල් කියන චිත්‍රපටියත් මේ ෆිල්ම් එකට මූලික ආභාසය සපයනවා. කාර්ගාස් කි පූල් හෙවත් කඩදාසි මල් කියලා කියන්නේ, ගුරු දත් කියන නවසිය පණස් ගණන්වල, හැට ගණන්වල හිටපු සිනමාකරුවෙකුගෙ චිත්‍රපටියක්. අද සිනමා පාසල්වල ළමයින්ට පෙන්වන මේ ෆිල්ම් එක, එදා විචාරකයන් විසින් කම්මැලි, මලානික, මන්දගාමී ෆිල්ම් එකක් කියල විවේචනය කළා.
ඉතින්, මේ ෆිල්ම් එකේ ඩැනීගේ සහ නිලාගේ ආදර කතාවට අමතරව එන අනෙක් තීම් එක තමයි ‘හොඳ සිනමාව‘ සහ විචාරකයා. මේකේ කෙටි නමුත්, ප්‍රබල කැමියෝ එකක් අමිතාබ් බච්චන් කරනවා. අමිතාබ් රඟපාන්නේ තමන්ගේම චරිතය. එහිදී ඔහු කියනවා සිනමාවේ පැවැත්මට විචාරකයන් ඕනෑ බව.
හැබැයි, හරියට සිනමාව නොදැන, හොඳ චිත්‍රපටිවල නරක කියන විචාරකයන් වගේම සල්ලිවලට නරක චිත්‍රපටි වර්ණනා කරන විචාරකයන් නිසා සිනමාවට වෙන්නේ හානියක්.
ඇත්තටම මේක සිනමාවට විතරක් අදාල නැහැ. ජනමාධ්‍යවේදය, අදහස් සන්නිවේදනය කියන්නේ හරිම ප්‍රබල මාධ්‍යයන්. සිනමාව ගැන වුණත්, ක්‍රීඩාව ගැන වුණත්, දේශපාලනය ගැන වුණත්, ආගම ගැන වුණත්, කෑම ගැන වුණත්, සෞඛ්‍ය ගැන වුණත් වෙනත් ඕනෑම ප්‍රවෘත්තියක් ගැන වුණත් ලියද්දී, කියද්දී, විකාශය කරද්දී දැවැන්ත වගකීමක් සන්නිවේදකයා මත පැටවෙනවා. අනුන්ගෙ ජීවිත එක්කයි මේ සෙල්ලම.
ගොඩක් ෆිල්ම්වල මාධ්‍ය වාර්තා නිසා මිනිස්සුන්ගෙ ජීවිත විනාශ වෙන හැටි කතා කරලා තියෙනවා. චුප් ෆිල්ම් එකේ වෙනස ඒකේ කතා කරන්නේ ඒකේ වෙනම පැත්තක්. විචාරකයන් නිසා සිනමාකරුවන් විනාශ වෙන හැටි.
චිත්‍රපටියෙ සස්පෙන්ස් පැත්තට ගියොත්, මේක මිනීමරුවා කවුද කියලා හොයන රහස් පරීක්ෂක ෆිල්ම් එකක් නෙවෙයි. අර අගතා ක්‍රිස්ටි හා කොනත් ඩොයිලි ටයිප් එකෙන්, අන්තිම මොහොතේ එකපාරම නොහිතන විදියට අපට මිනීමරුවව හෙළිදරව් වෙන්නේ. යකෝ මෙයාද මිනීමරුවා කියන කුතුලයෙන් අපි පුදුම වෙන්නේ. යූෂුවල් සස්පෙක්ට් වගේ එකක් නෙවෙයි මේ චිත්‍රපටිය. ඒ නිසා ‘අයියෝ, අපට මුල ඉඳන්ම මිනීමරුව කවුද කියලා තේරුණා, චිත්‍රපටිය හරි නෑ‘ කියල හිතන් ඕනෑ නෑ.
මේ චිත්‍රපටිය හිච්කොක් පන්නයේ සස්පෙන්ස් ත්‍රිලර් එකක්. හිච්කොක් කියනවා ඇත්තම සස්පෙන්ස් එක එන්නේ බෝම්බයක් තියෙනවා කියලා කලින් නොපෙන්වා, එකපාර බෝම්බය පත්තු කළාම නෙවෙයි කියලා හිච්කොක් කියනවා. ඒ වෙනුවට කලින්ම බෝම්බය පෙන්වන එකෙන් තමයි සස්පෙන්ස් එන්නේ කියලා ඔහු කියනවා.
එකපාරම නොසිතූ ලෙස බෝම්බෙ පත්තු වුණාම ෂොක් වැලිව් එකක් එනවා තමයි. හැබැයි බෝම්බයක් තියෙනවා කියලා කලින්ම පෙන්නුවොත්, එහෙම පෙන්වලා දෙන්නෙක් බෝම්බෙ තියෙන තැන බේස්බෝල් වගේ එදිනෙදා මාතෘකාවක් ගැන කයියක් ගහගෙන හිටියොත්, ඒ සංවාදය ඉවරවෙනතුරු ප්‍රේක්ෂකයාගෙ සස්පෙන්ස් එක උච්චස්ථානයට පත් වෙනවා. ‘බෝම්බය පුපුරයිද? මැරෙයිද?‘ කියන සැකය එනවා. සමහරවිට, ‘යකෝ දුවපන්, ඔතැන බෝම්බයක්‘ කියලා තිරය දිහාට කෑගැහෙන්න පවා ඉඩ තියෙනවා.
ඉතින් මේ චිත්‍රපටියෙදී මිනීමරුවා කවුද කියන සැකය අන්තිම වෙනකන් තියාගෙන ඉඳලා, අන්තිමට මිනීමරුවාව හෙළිදරව් කිරීම වෙනුවට, මිනීමරුවා කවුද කියන එක මුල ඉඳන්ම දැනෙන්න අරිනවා. මිනීමරුවාව දන්න නිසා තමයි, ඒ කෙනා මිනීමැරුමට ලක් වෙන කෙනා ළඟට යද්දී අපේ හිත ගැහෙන්න ගන්නේ. අනතුර ළං වෙන බව අපට දැනෙන්නේ, මිනීමරුවායි, මැරෙන්න යන කෙනායි දන්න නිසා.
ඉන්දියන් සිනමාව තුළ මෑත නව රැල්ලේ සිනමාව තුළ අතිවිශිෂ්ඨ සයිකොලොජිකල් ත්‍රිලර් ෆිල්ම් ගොඩක් බිහි වුණා. හැබැයි ඒ බොහොමයක් දකුණු ඉන්දියාවෙන් බිහි වූ ඒවා. හින්දි සිනමාවේ මෙවැනි ෆිල්ම් හැදෙන්නේ අඩුවෙන්. සමහරවිට එහෙම චිත්‍රපටිවලට අවධානයක් යොමු නොවෙන්නේ හින්දි විචාරකයන්ගෙ අඩුපාඩු නිසා වෙන්න ඇති. සිනමාවෙ දියුණුවට විචාරකයන් ඕනෑ. අලුත් දේවල් කරද්දී විචාරකයන් ඒවා අඳුනගන්න ඕනෑ, දිරිමත් කරන්න ඕනෑ. බොලිවුඩ්වල සිනමාවට අදාල මාධ්‍ය වැඩිපුර කරන්නේ නළු නිළියන්ගේ ගොසිප්වලට වැඩි අවධානයක් දෙන එක. හොලිවුඩ් ඇතුළුව හැමෝම සිනමා ගොසිප් දානවා තමයි. ඒත්, බොලිවුඩ්වල ඒක හොඳටම දරුණුයි. සිනමාවෙ නව රිද්මයන් හඳුනගත්ත විචාරකයන් අඩුයි. ඉතින් ඒ විචාරකයන් ලියන විචාරවලින් හොඳ දැනුමක් සහ හැකියාවක් එක්ක ෆිල්ම් හදන අයට ලැබෙන අවස්ථා අඩුයි.
ආර්. බාල්කි කියන්නේ කාලයක් තිස්සේ දකුණු ඉන්දියානු සිනමාවට තියෙන ආදරය තමන්ගෙ ෆිල්ම් ඇතුළෙ පෙන්වපු කෙනෙක්. තමන්ගේ චිත්‍රපටියකට දකුණු ඉන්දීය නළු නිළියන් පවා ඔහු ගේනවා. චුප් ෆිල්ම් එකේදී දුල්කර් සල්මාන් සහ පළවැනි වතාවට හින්දි චිත්‍රපටියක රඟපාන විශිෂ්ඨ දෙමළ රංගන ශිල්පිනී සාරණ්‍යා හඳුන්වාදෙනවා. මීට කලින් දනුෂ් සහ කමල් හසන්ගේ දුව අක්ෂරා හසන් එක්ක ෂමිතාබ් නිර්මාණය කළේ ඔහු.
ඉතින්, ඔහු සුපුරුදු ලෙස වෙනස්ම ෆිල්ම් එකක් හදලා තියෙනවා. ඔහුගේ ‘පා‘, ‘ෂමිතාබ්‘ වගේ ෆිල්ම්වලට අපි කැමති වුණේ, සාම්ප්‍රදායික ෆිල්ම්වල නැති විදියෙ වෙනසක්, පොඩි අසාමාන්‍ය ගතියක් ඔහුගේ හැම ෆිල්ම් එකකම තිබුණ හින්දා. ඔහු වෙනම ලෝකයක් නිර්මාණය කරනවා.
ඇබ්සර්ඩ් හෙවත් විකාරරූපී එලමන්ට් එකක් ඔහු චිත්‍රපටි ඇතුළට ගේනවා. තමන් සිනමාවට තියෙන ආදරයත් කැටි කරගෙන, ඒ විකාරූපී ගති ලක්ෂණත් එකතු කරගෙන ඔහු මෑත කාලෙ බොලිවුඩ්වල හොඳම සස්පෙන්ස් චිත්‍රපටියක් හදනවා.