ඩොලර් බිලියනයක් එනවා කිව්ව ආයෝජනයෙන්, ලැබෙන්නේ අවුරුද්දට මිලියන 1.4යි!

ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි (පුද්ගලික) සමාගමට හෙවත් කොළඹ නෙළුම් කුළුණට ලැබුණායැයි කියන ඩොලර් බිලියන ‘ලොකුම ආයෝජනය‘ යටතේ කුලිය ලෙස ලැබෙන්නේ ඇත්තටම අවුරුද්දට ඩොලර් මිලියන 1.4ක ආයෝජනයක් පමණක් බව වාර්තා වෙනවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ දැවැන්ත කතාවක් පවත්වමින් වර්ණනා කළ මේ සිංගප්පූරු ආයෝජනය ජල ක්‍රීඩා, කැසිනෝ සහ විනෝදාස්වාද සහිත ආයෝජනයක් බව කීවා.

වර්ග අඩි 44,000ක් වන කුළුණු පාදමේ තියෙන දෙවැනි තට්ටුව තමයි ක්‍රියේට් ඩිසයින් පීටීඊ ලිමිටඩ් කියන සමාගම එක්ක ගිවිසුමකින් බදු දීලා තියෙන්නේ. සන්ඩේ ටයිම්ස් මේ ගැන කරපු විමසීමකදී නෙළුම් පොකුණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ ප්‍රසාද් සමරසිංහ කියා තිබුණේ ගිවිසුම යටතේ වාර්ෂික කුලිය මිලියන 1.4ක් බව.

ඊට අමතරව මේ සමාගම නොයෙකුත් උපකරණ සහ අනෙකුත් දේවල් සඳහා අමතර මුදලක් ආයෝජනය කරනු ඇති. හැබැයි එය ඩොලර් බිලියනක් තරම් දැවැන්ත ආයෝජනයක් බව කියන්නට කිසිම සාක්ෂියක් නැහැ.

ඊට පස්සේ ලංකාවේ ධනවතුන්ගෙන් සහ පිටරටින් එන අයගෙන් (බොහෝවිට රුපියල්වලින්) ගාස්තු අය කරගෙන, හම්බ කරගෙන ඒ සල්ලි ඩොලර්වලට හරවාගෙන ලංකාවෙන් එළියට ගෙනයනු ඇති. මෙවැනි ආයෝජනයක් තුළ ලංකාවට ඩොලර් ලැබෙන්නේ පොඩි ප්‍රමාණයක්.