මග් එකේ පෙම් කවිය ලීව තැන්නේ හිමි ගැන, ගුරුගොඩ හාමුදුරුවන් ලියූ සටහනක්

-ගුරුගොඩ සිරිවිමල හිමිගේ ෆේස්බුක් සටහනකි

තැන්නේ හිමි ලීව කවියක් ගැන හුවමාරු වෙන ෆේස්බුක් මීම් එකක්

මේ අපේ තැන්නෙ හාමුදුරුවෝ ලියපු කවි පොත් කීපය අතුරින් පොත් දෙකක්. මට මතක විදියට තැන්නේ හාමුදුරුවො කවි පොත් හතරක් ලියල තියෙනව. කවි වැඩ බිමේ එක් පරාසයක් තදින් අල්ලගත්ත කවියෙක් තමයි තැන්නේ හාමුදුරුවො කියන්නෙ. 

තැන්නේ හාමුදුරුවො මගෙ අගයීමට ලක්වෙන්නෙ තමන්ගෙ හැඟීම සංස්කරණයකින් තොරව කාව්‍යාත්මකව පාඨකයාට ලබාදීම කියන කාරණය සම්බන්ධයෙන්. සමහරවිට මමනම් ඒකට බයයි. මොකද එකක් තමයි එතනින් කාව්‍යාත්මක බව ගිලිහී යාමට තිබෙන ඉඩ කඩ වැඩිවීම සහ අපව සදාචාරාත්මක නිර්ණායක වලින් යම් ලෙසනින් හංවඩු ගැහෙන්න ඉඩ තිබෙන නිසා. නමුත් තැන්නේ හාමුදුරුවො කිසිදු බියකින් තොරව ඒ අභියෝග දෙකම තදින් බාරගන්නව. 

මේ පොත් දෙක එක පාර ෆොටෝවක් විදියට Facebook Upload කරන්න මට හිතුනෙත් ඒ අභියෝගයට මුහුණ දෙමින් තැන්නෙ හාමුදුරුවො ලියපු එක් වැකියක් වෛරල් වෙලා තියෙනව දැක්ක නිසා. මේ ඒ වැකිය (කවිය);

නුඹ දුන්……….,
මග් එකෙන් බොද්දි වතුර……….
හග් එක මතක් වෙයි නිතර….!

ඕනම මනුස්සයෙකුගෙ ජාගර හිතේ ඇවිලෙමින් පවතින හැඟීම් තියෙනව. ඒ හැඟීම් දක්ෂ ලෙස සදාචාරයෙන් අර්ථසම්පන්න වුන සමාජයක් කුප්පන සුළු වෙනව. මම සමහරවිට ඒ වගේ හැඟීම් සමාජය තුළ අර්ථවත් කරන්න බිය වුනත් තැන්නෙ හාමුදුරුවො ඒක රසට කරනව. තැන්නෙ හිමිගෙ කාව්‍යවල තිබෙන ප්‍රධානතම ලක්ෂණය තමයි ඒක. අනෙක තමයි ඉතා කෙටි, වචන කීපයකින් තමන්ගෙ ගැඹුරු හැඟීම ලියා තැබීමත් තැන්නෙ හිමිගෙ කාව්‍යවල තිබෙන ස්වභාවයක්. තැන්නේ හිමි දිගු කවි වලදි බොහෝ දුරට ෆේල් වෙන ස්වභාවයකුත් තියෙනව. තැන්නේ හිමිගේ රහම කවි ලියවෙන්නෙ ඉතා කෙටියෙන්. 

මං උන්නෙ
පෙම් වඩා ළං වෙන්න
නුඹ උන්නෙ
පැන් වඩා පිං දෙන්න (විරසකී)

රන්වන් එළියෙන් දැල්වෙන
පොල්තෙල් පහනෙන් ලෙලදෙන
ගිණිදැල් ඇත ලෝ අවුලන (පින්වතුනි)

කරන්ට් ගියා
පිරිත් නැවතුණා
බණ ඕෆ් වුනා
බුදුරැස් නිවුනා (ජනප්‍රිය බුද්ධාගම)

බුදු ගේ වටේ බලු පැටව්
බඩ ගින්නෙ කෙඳිරි ගානවා
කෑම ගොඩ ගහගෙන
කන්නෙත් නෑ
දෙන්නෙත් නෑ
බුදු සාදු හොඳ නෑ (පොඩි එකාගේ කවි)

මම නිදුක් වෙම්වා
මුස්ලිම් තමිල් අය හැර
බෞද්ධ සියලු සත්ත්වයෝ
නිදුක් වෙත්වා
නිවන් දකිත්වා (අලුත් මයිත්තිරී භාවනාව)

සූකර පාලක
මඩ කසල සෝධක
ආසිරි වාදක (මහානායක)

ඉස්සරහින් බුදු හාමුදුරුවො
පිටි පස්සෙන් ලොකු හාමුදුරුවො (පිං කැටය)

එයා සමහර හැඟීම් ආගමික සමාජය තුළ අර්ථවත් වෙන විවිධ අභිචාර විධි එක්ක එකට මුසු කරල කවි රචනා කරනව. අපේ ආගමික ජීවිතේ වටා ගෙතිල තියෙන “එක එක දේවල්” වල තිබෙන අර්ථසම්පන්න බව ප්‍රශ්න කරන කවි කිහිපයක් තමයි උඩ තියෙන්නෙ. ඒ සේරම තැන්නෙ හිමිගේ. 

තැන්නෙ හිමිගෙ කවි මම මුලින්ම කියවන්නෙ “තරුණයා” පත්තරෙන්. ඒ මීට අවුරුදු 10-15 ට කලින්. ඒ හැම කවියක්ම කියවද්දි මම තැන්නේ හිමිව හඳුනගෙන තිබුනෙ නැහැ. මම facebook එකෙත් නැහැ. නමුත් ඒ කවි මම කියෙව්ව. පස්සෙ facebook එකෙන්, ඊටත් පස්සෙ එයාගෙ කවි පොත්වලින්. තැන්නේ හිමි වටා ගෙතුන කවි ඉතිහාසයක් තියෙනව. එක පැත්තකින් සිවුරක් දරාගත්ත කවියො අතරෙනුත් තව පැත්තකින් සමස්ථ සිංහල කවියන් සම්බන්ධයෙනුත්. ඒ දෙකේම කෙලින් කටින් හිටගෙන ඉන්න කවියෙක් තමයි තැන්නේ හිමි.ඩොලර් අර්බුද අසු අස්සෙ තැන්නේ හිමි කවි පොතක් කරන්න බැරි නිසාදෝ ලියන, ලියපු හැම කවියක්ම ආප්ප බානවා සේ බුකී ගත කරනව. මිනිස්සු ඇවිලෙනවා.

තැන්නේ හිමි දඟයි, වසයි, සැරයි, නිර්ව්‍යාජයි; එයාව අවශෝෂණය කරගැනීම හැර විකල්පයකුත් නැහැ. මොකද සමහර දඟ, වස, සැර තැන්වල කොතැනකවත් නැති සැනසීමක් තියෙන්න පුලුවන්. 

(මේක ලිව්වෙ තැන්නෙ හිමිට එන සමාජාපවාද වලින් එයාව මුදවා ගැනීම පිණිස නෙමෙයි. කාලෙක ඉදන් ලියන්න ඕන කියල හිතන් හිටිය නිසා.)