ධනවාදයේ විනාශයට උත්තරේ ධනවාදයමද? – මෙලනි

මෙලනි ගුණතිලක

“අපූරැම දේ තමයි ලෝක විනාශය නිර්මාණය කරපු ධනවාදය ඒකට එකම සාධනීය උත්තරේ විදිහට ධනවාදයම විකුණන්න හදන එක.”

ජේසන් හිකල් කියන්නේ ආර්ථික මානවවදියෙක් (Economic Anthropologist). එයාගේ පර්යේෂණ වලට මුල් වෙන්නේ පාරිසරික ආර්ථිකය, ගෝලීය විෂමතාවයන්, අධිරාජ්‍යවාදය සහ දේශපාලනික ආර්ථිකය.

හිකල් කියන විදිහට අන්ත දිළිඳුබව නිර්මාණය කරපු දෙයක් මිස ස්වභාවික දෙයක් නෙවෙයි. ආර්ථික සංවර්ධනය වැඩි වෙද්දි දිළිඳුකම එන්න එන්න අඩු වෙනවා කියන ගේට්ස් ෆවුන්ඩේශන්, ලෝක බැංකුව වගේ ආයතන වලට අභියෝග කරන ගමන් දැනට දුප්පත්කම මනින සාපේක්ෂ මිණුම් දඬු (relative metrics) අසාර්ථක බවත් දියුණු රටවල් සහනාධාර දෙන මුවාවෙන් දිගින් දිගටම දුප්පත් රටවල්වල සම්පත් කොල්ලකන බවටත් හික්ල් චෝදනා කරනවා.

සාපේක්ෂ සහ නිරපේක්ෂ මිණුම් දඬු සරල උදාහරණයකින් පැහැදිලි කරන්න පුළුවන්. රුපියල් 5000ක ආදායමක් ලබන දුප්පත් මනුස්සයෙක් සහ රුපියල් 100,000ක ආදායමක් ලබන පොහොසත් මනුස්සයෙක් ගන්න. දුප්පත් කෙනාගේ ආදායම 100%න් වැඩි වෙලා ආදායම රුපියල් 10,000ක් වෙනවා. පෝසත් කෙනාගේ ආදායම 50%න් වැඩි වෙලා රුපියල් 150,000ක් වෙනවා.

දුප්පත් මනුස්සයාගේ ආදායම පොහොසත් කෙනාගේ ආදායමට වඩා ඉහළ වේගයකින් ( මුලින් ලබපු ආදායමට සාපේක්ෂව) වර්ධනය වෙලා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ධනවතා මුලදී දුප්පතාට වඩා 20 ගුණයකින් පොහොසත් වුවත්, දැන් ඔහු පොහොසත් වන්නේ 15 ගුණයකින් විතරයි. සාපේක්ෂ මිණුම් දඬු වලට අනුව නම් අසමානතාවය අඩු වෙලා.

හැබැයි නිරපේක්ෂ මිණුම් දඬු (absolute metrics) වලට අනුව අසමානතාවය ගොඩක් වැඩිවෙලා. ධනවත් පුද්ගලයා සහ දුප්පතා අතර මුළු පරතරය රුපියල් 95,000 සිට රුපියල් 140,000 දක්වා වර්ධනය වෙලා. තවත් විදිහකට කියනවා නම්, මුළු නව ආදායම වෙන රුපියල් 55,000 න් 91% ක් ධනවත් පුද්ගලයාට යද්දි දුප්පතාට ගියේ 9%යි.

මීට අමතරව ධනයෙන් මිලට ගන්න පුළුවන් බලය ගැනත් හිකල්ස් කතා කරනවා. ආර්ථික විද්‍යාඥයෝ අසමානතාවය මනින්න සාපේක්ෂ මිණුම් දඬු පාවිච්චි කරන්න හේතුව විදියට ඉදිරිපත් කරන ආන්තික උපයෝගීතාවය අඩුවීම (diminishing marginal utility) කියන තර්කයත් හෙකල්ස් බැහැර කරනවා. මේ තර්කයට අනුව දුප්පතා උපයන රුපියල ආහාර, ගෙවල් කුලී, අධ්‍යාපනය, බලශක්තිය, සෞඛ්‍ය වගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් වැය කෙරෙන නිසා ඔහුට එහි ඇති වටිනාකම ධනවතා උපයන රුපියලට වඩා වැඩියි කියලා සැලකෙනවා.

ඒත් බලය වැඩි කරගන්න ධනය පාවිච්චි කරන පොහොසතා ඔහුගේ රුපියලට දෙන වටිනාකම ඊට වඩා වැඩියි කියලා තමයි හෙක්ල් කියන්නේ. ඒ චන්ද කැම්පේන් වලට, තමන්ට වාසිදායක විදිහට පණත් වෙනස් කරගන්න (lobbying), මාධ්‍ය වලට, තින්ක් ටෑන්ක්ස් හදන්න ඒ ධනය වියදම් කරන්න ඔහුට පුළුවන් නිසා.

අසමානතාවය මනිද්දි නිරපේක්ෂ මිණුම් දඬු සාපේක්ෂ මිණුම් දඬු වලට වඩා සාර්ථක වුනත් 100%ක්ම ධනය හා බලය අතර ඇති සම්බන්ධතාව මේ හරහා මනින්නත් බෑ.

කරැමෙට අපේ රටේ මේ වගේ මිනිස්සු නෑ. උගත් බුද්ධිමත් විද්වත් සභා වල ඉන්න ගොඩක් ආර්ථික විද්‍යාඥයන්ටත්, අලුතෙන් දේශපාලනයට එන්න හදන අයටත් පරණ රාමු වලින් එහාට හිතන්න බෑ. ඉතින් අසමානතාවය අඩු කිරීම පැත්තකට දාලා පෞද්ගලීකරණය කිරීම වගේ උත්තර දෙන එකත් #NoLefitism වගේ කැම්පේන් හරහා ධනවාදය ප්‍රමෝට් කරන එකත් හැර වෙන දෙයක් ඒ අය දන්නෙත් නෑ.

අසාර්ථක මිනුම් දඬු වල වින්දිතයෝ වෙච්ච ලංකාවේ අපි ඒ මිනුම් දඬු වලින්ම මනින දියුණුවක් හොයාගෙන කැලේ යනවා. මෙච්චර කල් සාටක වලින් දක්කපු කරත්තේ දැන් ටයිකෝට් දාපු බුවාලා දක්කනවා. තරැණ පරම්පරාවත් එයාලා කියන ගැල්කවිම කිය කිය ඔහේ පස්සෙන් යනවා.

වැඩි විස්තර කියවන්න කැමති නම් මේ ජේසන් හිකල්ගේ වෙබ් සයිට් එක: https://www.jasonhickel.org/