සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක්ට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් අයුතු අවහිරයක් කිරීම පිළිබඳ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ නඩුවකට අදාලව, එම පොලිස් නිලධාරීන්ට නොතීසි නිකුත් කරලා.
කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ එලෙස නොතීසි නිකුත් කළේ ඔක්තෝබර් 10 වැනිදා නීතිඥවරුන්, මාධ්‍යවේදීන් සහ වෘත්තිකයන් සහභාගී වූ විරෝධතාවකින් පසු, එම පිරිස් ජනාධිපති කාර්යාලය දෙසට යෑම නැවැත්වීම සඳහා ගෝල්ෆේස් පැත්තේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යන මාර්ගය පොලීසිය විසින් වසා දැමීමේ සිදුවීමට අදාලව. ඒ පිළිබඳ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති තරිඳු ජයවර්ධන ගොනු කළ පුද්ගලික නඩුවකට අදාලවයි එලෙස නොතීසි නිකුත් කළේ.
මේ වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ මනුජය සිල්වා සහ නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ.
පොලීසිය විසින් පසුගිය කාලයේදී ‘අයුතු අවහිරය‘ සහ ‘මහජන පීඩාව‘ ගැන චෝදනා එල්ල කරමින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත්තා. එහෙත් පොලීසිය බොහෝ අවස්ථාවල හිතුමතේට පාරවල් වැසුවා. මෑත කාලයේ වැඩිපුරම මහජන පීඩාවන් සිදුව ඇත්තේ, පොලීසිය විසින් පාර වැසූ නිසා.
කෙසේ වෙතත් සාමාන්‍ය මිනිස්සුන්ට එරෙහිව චෝදනා එල්ල කරන පොලීසිය, ඒ වැරැද්දම කරපු තමන්ගේ අයට කවදාවත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. මෙවැනි අවස්ථාවකදී පොලීසියට එරෙහිව පුද්ගලික නඩුවක් ගොනු කරන්නට හැකියාවක් පුරවැසියන්ට තියෙනවා.
ඔක්තෝබර් 10 වැනිදා පැවති මේ විරෝධතාව පොඩි පිරිසක් සහභාගී වූ එකක්. එම විරෝධය දැවැන්ත පාගමනක් වගේ එකක් කළේ නැහැ. පදික වේදිකාව දිගේ, ගෝල්ෆේස් ග්‍රීන් සිට ලේකම් කාර්යාලය දෙසට පොඩි දුරක් ආවා. ඊට පස්සේ ‘ගෝඨාගෝගම‘ තිබුණ තැනට පාරෙන් එහාපැත්තේ පදික වේදිකාවේ හිටගෙන සාමකාමී විරෝධයක නිරත වුණා. එහෙත්, මේ වෙලාවේ පොලිස් නිලධාරීන් තකහනියක් ජනාධිපති කාර්යාලය අසලින් ගාලු පාර වැහුවා. මහමග ගමන් කරමින් සිටි බස්රථවල සිට පෞද්ගලික වාහන දක්වා සියල්ල හිර වුණා. ඒවා මහගමසේකර මාවත හරහා දීර්ඝ වටයක් යැව්වා. විශාල මහජන පීඩාවක් පොලීසිය ඇති කළා.
ඉන්පසු පොලිස් ආඥාපනතේ 78 වගන්තිය උස්සාගෙන ආවා. ඒ කියන්නේ පාගමනක් කරනවා කියලා පොලීසියට පැය හයකට කලින් දැනුම් දුන්නේ නැහැ කියලා. ඒත්, ඇත්තම කතාව තමයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ඊමේල් මගින් දැනුම්දීමත්, ඒ ඊමේල් එක මානව හිමිකම් කොමිසම ඇතුලු ආයතන ගණනාවකට කොපි කිරීමත් ඒ වෙද්දී කරලයි තිබුණේ.
තරුණ ජනමාධ්‍යවේදීන් එහිදී පොලීසියට ජංගම දූරකථනයේ තිබුණු ඊමේල් ලිපිනය පෙන්වමින්, පැය හයකට කලින් එවූ ලියුම ගැන කතා කළා. එතකොට මාධ්‍ය කැමරා ඉදිරිපිට රංගනයක යෙදුණු නලින් දිල්රුක් සහ රොෂාන් ඩයස් කියන නිලධාරීන් තරුණ ජනමාධ්‍යවේදීන් කියන කතාව බොරුවක් යැයි කෑගසන්නට ගත්තා. ඊමේල් ලිපිනය ප්‍රසිද්ධියේ පෙන්වද්දීයි ඒක කළේ.
මේ සංවාදය මැද්දේ නලින් දිල්රුක් කියන නිලධාරියා ‘මෙයාලා මාධ්‍යවේදීන් නෙවෙයි, යූටියුබ්කාරයන්, ජීවත්වෙන්න බොරු කියනවා‘ ආදී කරුණු කියමින් හෑල්ලු කිරීමටත් උත්සාහ කළා. මාධ්‍යවේදීන් මර්දනය ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න ඇති වෙන දෙයක් නිසා, ඒ අය ‘සමාජ මාධ්‍යකරුවන්‘ සහ ‘යූටියුබ්කරුවන්‘ යැයි කියමින් ලේබල් කරලා මර්දනයට ලක් කිරීමේ සැලසුමක් දැනටමත් ආණ්ඩුව දියත් කරමින් ඉන්නවා. නලින් දිල්රුක් නම් නිලධාරියාගේ කටෙන් ඒ වෙලාවේ පැන්නේ ඒක.
මේ සිදුවීම ගැන ඔක්තෝබර් 11 වැනිදා කොටුව පොලිසියට ගිහින් මාධ්‍ය වෙදී තරිඳු ජයවර්ධන පැමිණිල්ලක් කරන්න උත්සාහ කළත්, කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සාගර ලියනගේ මැර හැසිරීමක නිරත වෙමින් තරිඳුට තර්ජනය කර, අතින් දැඩිව අල්ලා පොලීසියෙන් එළියට ඇද දැම්මා. ඒ සිදුවීමට වෙනම නීතිමය පියවර ගනු ඇති.