සාමකාමීව උද්ඝෝෂණයකදී, පොලිසියෙන් ගැහුව නිසා නීතීඥවරුන් දෙදෙනෙක් ‌පොලිසියෙන් කෝටියක වන්දියක් ඉල්ලයි!

සැප්තැම්බර් 24 දින සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටියදී තමන්ට නිකරුනේ පොලිසිය පහර දී අත්අඩංගුවට ගත බවත් පහරදීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවත් සඳහන් කරමින් නිතීඥ ජානක අධිකාරී සහ නීතිඥ ලක්දිනු ධීරසේකර ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

එම අත්අඩංගුවට ගැනීම සහ පහරදීමට අදාලව වන්දි වශයෙන් රුපියල් කෝටියක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

ඔක්තොබර් 20 වන දින අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත.

ජානක අධිකාරී සහ ලක්දිනු ධීරසේකර මහත්වරුන් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පති, නීතිපති, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති, කොටුව, මරදාන, වේල්ලවීදිය සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු 10 දෙනෙක් නම් කර ඇත.

සැප්තැම්බර් 24 දින පැවැත්වූ අදාල විරෝධතාව අතරතුර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ඇතුළු විරෝධතාකරුවන් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එරංග ගුණසේකර, කොස්වත්තේ මහනාම හිමි සහ මන්දීරා යන අය ඇප මත මුදාහැරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සැප්තැම්බර් 25 දින නියෝග කළ අතර සෙසු පිරිස පොලිස් ඇප මත මුදාහැර තිබුණි.