පොදු සතුරා අනුර කුමාරද?

මේ වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය සහ මේ දේශපාලන පක්ෂයේ සහ සන්ධානයේ නායකත්වය වන අනුර කුමාර දිසානායක ගැන අලුත් සංවාදයක් ඇවිල්ලා තියෙනවා. මේ සංවාදය අලුත් එකක් කියා කීවාට, කලිනුත් ඇවිල්ලා තියෙන සංවාදයක්. ඒ වගේම දැන් ජවිපෙ ගැන තියෙන සංවාද ගොඩක් අතරින් මේක එකක් විතරයි.

මූලිකවම ඒ සංවාදයේදී මේ වෙලාවේ ජාතික ජන බලවේගය පොදු වැඩවලට, පොදු වේදිකාවලට එන්නේ නැහැ කියලා දැවැන්ත විවේචනයක් එල්ලවෙනවා.

මේක ඇතිවුණේ කොහොමද?

ඔක්තෝබර් 17 මව්බිම පත්තරේ මුල් පිටුවේ ප්‍රවෘත්තියක් තිබුණා ‘ජනතාව නැගිටිය යුත්තේ අප යටතේ පමණයි.‘ කියලා. අනුරාධා හේරත් ලියූ මේ ප්‍රවෘත්තියේ අන්තර්ගතයේ තියෙනවා ‘රටේ නැවතත් ජනතා නැගිටීමක් සිදු වුවහොත් එය ජාතික ජන බලවේගය යටතේ සිදුවිය යුතු බවත්, එසේ නැති නම් එම ජනතා නැගිටීම අපතේ යන බවත්…‘ අනුර කුමාර දිසානායක කීව බව.

ගිය සතියේ මැතිවරණ කල් දැමීමට එරෙහිව ‘නිදහස ජාතික සභාව‘ හෙවත් ඩලස් අලහපෙරුමගේ පාර්ශ්වය රැස්වීමක් කැඳෙව්වා. දේශපාලන පක්ෂවල රැස්වීම්. ඒ රැස්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවා ආවත්, ජවිපෙ ආවේ නැහැ.

ඊට පස්සේ පසුගිය සතියේ විවිධ පක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්වුණා මහජන පුස්තකාලයේදී. මේකට ජවිපෙට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය සහභාගී වුණත්, ජවිපෙ ඉහළ නායකත්වය හෝ ජවිපෙට අනුබද්ධ වෘත්තිය සමිති ආවේ නැහැ. ඒ සාකච්ඡාවේදී එකඟ වුණා සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, නිදහස ජාතික සභාව, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ, 43 කණ්ඩායම, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු මෙකී නොකී විපක්ෂයේ දේශපාලන පක්ෂ සහභාගී වෙච්ච, වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන සහභාගී වූ පාගමනක් නොවැම්බර් 02 වැනිදා යන්න ඕනෑ විත්තිය. මේ සාකච්ඡාවට මුජිබර් රහුමාන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රීලනිපයේ නියෝජිතයන් සහභාගී වුණා. නොආපු පාර්ශ්වවලිනුත් වැඩේට පොදු එකඟතාවක් තිබුණා.

හැබැයි, දැනට පෙනෙන්නට තියෙන විදියට නොවැම්බර් 02 පාගමනට ජවිපෙ සහභාගී නොවේවි කියලා අනුමානයක් තියෙනවා. දැනටමත් ඇතැම් අය පොදු වැඩේට ජවිපෙ සහභාගී වෙන්නේ නැහැ කියලා, ජවිපෙට විරුද්ධව සමාජ මාධ්‍යවල කැම්පේන් කරනවා. පක්ෂ අතර සාකච්ඡාවටත් ජවිපෙ නොආ බව හයිලයිට් කරමින් සමහර ප්‍රධාන ධාරාවේ සහ විකල්ප ධාරාවේ මාධ්‍යවලිනුත් ප්‍රවෘත්ති පළ කරනවා.

ඉතින්, මර්දනයට එරෙහි පොදු වේදිකාවකට ජවිපෙ එන්නේ නැද්ද? ජවිපෙ ඒ පොදු වේදිකා මඟහරිනවාද? ඒක වැරදිද? ඒක ජනතා විමුක්ති පෙරමුණේ පටු, ආත්මාර්ථකාමී ප්‍රතිපත්තියක්ද?

මේ වෙද්දී, මාධ්‍යවේදී භූමිකාවෙන් පිට සමාජ ක්‍රියාකාරී භූමිකාව තුළ ඉඳන් අපිත් ඔය නොවැම්බර් 02 වැනිදා පොදු වැඩක් ඇති කරගැනීම වෙනුවෙන් සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ කියන්නේ අපිත් ඉන්නේ පොදු වේදිකාවක් ඕනෑ කියන තැන. හැබැයි එසේ තිබියදී, අනුර කුමාරලා ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයන්ගේ ස්ථාවරය තේරුම් ගන්න අපට පුළුවන්.

අපේ යෝජනාව ජවිපෙට පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන යන්න දෙන්න කියන යෝජනාව. ඔවුන් මේ කියන ප්‍රවේශයෙන් වැඩ කරන්න හේතු කිහිපයක් තියෙනවා. අපි මේකෙදී ඒ හේතුවලට අවධානය යොමු කරනවා.

මේ සඳහා අපි ජවිපෙ නායකයන් කිහිපදෙනෙකු එක්ක දූරකථනයෙනුත් කතා කළා. ඊට අමතරව අපි ප්‍රධාන වශයෙන් පාදක කරගන්නවා අනුර කුමාර ඔක්තෝබර් 15 වැනිදා කරපු කතාව.

කැස්බෑව ජාතික ජන බලවේගයේ කොට්ඨාශ සභාව පිහිටුවීමේ වැඩසටහනේදී කරපු පැයක කතාව සම්පූර්ණයෙන් අපි බැලුවා. ඒ කතාවෙන් නෝට්ස් ගත්තා. මේ කතාව තුළ ජවිපෙ මතය විස්තරාත්මකව සඳහන් වෙනවා. දැන් ආන්දෝලනයට ලක්වෙලා තියෙන මව්බිම ප්‍රවෘත්තිය ලියා තියෙන්නේත් කැස්බෑවේ රැස්වීමෙදී කරපු කතාවෙන්. පැයක කතාවකින් ඉතාම පොඩි කොටසක් විතරක් ගත්තාම මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මේ කතාව අවුල් කියලා. ඒත්, සම්පූර්ණ කතාව අහද්දී, ජවිපෙ එන්නේ මොකාටද කියා තේරුම් ගන්න පුළුවන්.

අනුර කියනවා, දිගටම රැවටුණ විදිය ගැන.  ‘දිගටම රැවටෙනවා. මෙය අපි වෙනස් කළ යුතු නැද්ද? නැවත නැවතත් ඉතිහාසයේ පිටු පෙරළීමෙන් පලක් තියෙනවාද? නැහැ. අපි තීරණාත්මක ලෙස ඒ පරිච්ඡේදය අවසන් කළ යුතුයි.‘

ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය තුළ ‘ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්නත්‘, ‘හොරු පරද්දන්නත්‘, ‘අදූරදර්ශී ආණ්ඩු ගෙදර යවන්නත්‘ පොදු වේදිකාවල් හැදූ අවස්ථා ගණනාවක් තියෙනවා. ඊයේ පෙරේදා නෙවෙයි, නිදහසේ පටන් මේ දක්වා අවස්ථා ගණනාවකදීම ඔය පොදු වේදිකාවල වැදගත්කම කතාබහට ලක් වුණා.

විශේෂයෙන් 1982 ජනාධිපතිවරණයේදී ජේආර්ගේ දැඩි පාලනයට එරෙහිව පොදු වේදිකාවක් හදන්නේ නැතිව කොල්වින්, හෙක්ටර් කොබ්බෑකඩුව, වාසුදේව නානායක්කාර, රෝහණ විජේවීර කින අපේක්ෂකයන් ගණනාවක් ඉදිරිපත් වීමෙන් ඡන්ද බෙදී ගියා. 1988 ජනාධිපතිවරණයේදී ඔසී අබේගුණසේකර සහ සිරිමා බණ්ඩාරණායක වෙන වෙනම ඉදිරිපත් වීම නිසා යාන්තමට ජනාධිපතිවරණය දිනන්න රණසිංහ ප්‍රේමදාස සමත් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන පක්ෂය, නව සමසමාජ පක්ෂය ඇතුළු සියලු පාර්ශ්ව එක කැම්පේන් එකක් කළා නම් යූඇන්පීය පරද්දන්න තිබුණ බව කීවා. ඔය වගේ පාඩම්වලින් පස්සේ තමයි 1994 දී චන්ද්‍රිකා බලයට ගේන්නත් පොදු කැම්පේන් එකක් හැදුණේ. 2005 මහින්ද රාජපක්ෂ කැම්පේන් එකත්, 2010 ෆොන්සේකාගේ කැම්පේන් එකත්, 2015 යහපාලන කැම්පේන් එකත් හැදුණේ යම්කිසි පොදු සතුරෙක් පරද්දන අදහසෙන්.

මේ හැම අවස්ථාවකදීම ඡන්දයට අවුරුදු දෙකකට විතර කලින් ඉඳලාම පොදු වේදිකා හැදෙන්න පටන් ගත්තා. 2005ට කලින් දේශහිතෛශී ජාතික ව්‍යාපාරය හැදෙන්න ගත්තා. රනිල් වික්‍රමසිංහලා 2015ට කලින් ‘නිදහසේ වේදිකාව‘ කියලා එකක් හැදුවා. 1994 මහමැතිවරණයට කලිනුත් නොයෙකුත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීත්වයන් තිබුණා.

හැබැයි මේ විදියට මර්දනයට එරෙහිව, ප්‍රජාත්ත්‍රවාදය වෙනුවෙන් පොදු වේදිකාවක් කියන අදහස උඩට ආපු හැම වෙලාවෙම තුන්වැනි විකල්ප බලවේගයකට නැගිටින්න තියෙන අවස්ථාව අහිමි වුණා. සීමා වුණා.

2010 ජනාධිපතිවරණ කැම්පේන් එකේදී සරත් ෆොන්සේකාලා සහ රනිල් වික්‍රමසිංහලා එක්ක එක වේදිකාවක හිටගැනීමත්, 2015 කැම්පේන් එකත් නිසා ජවිපෙට වෙච්ච හානිය ඉතා තීරණාත්මකයි. ජවිපෙ අභ්‍යන්තරයේ දැවැන්ත ඛණ්ඩනයන් ඇතිවෙන්න පවා ඒවා සෑහෙන දුරට බලපෑවා.

ඒ නිසා ඉතිහාසයෙන් පාඩමක් ඉගෙනගන්නවා නම්, පොදු හතුරන් පරද්දන පොදු වේදිකා හදන එක හැමදාම ජවිපෙට අවාසියක්. පොදු වේදිකාවේදී, ප්‍රධාන විපක්ෂ බලවේගයට හැමදාම ප්‍රමුඛත්වය ලැබෙනවා. ඊට පස්සේ ඊළඟ මැතිවරණය වෙද්දී ඒ බලවේගය ශක්තිමත් වෙනවා.

අනෙක් පැත්තෙන් යම්කිසි දේශපාලන ව්‍යාපාරයක් නැතිව, පොදුවේ පැනනගින ජනතා ව්‍යාපාරවල වාසිය අත්වෙන්නේත් ප්‍රධාන විපක්ෂයට.

කැස්බෑව ආසනයේදී අනුර කුමාර දිසානායක කියන කතාවේ ඔහු කියන්නේ මෙහෙමයි. ‘නැවත සිදුවන ජනතා නැගිටීමකට අවශ්‍ය වෙන ජනතා පෙළගැස්ම ජාතික ජන බලවේගය යටතේ ගොඩනැගිය යුතුයි. නැත්නම් ප්‍රතිඵලය අපතේ යනවා.‘

ඔවුන් කියන්න උත්සාහ කරන්නේ අපි හුදෙක් හතුරන්ට විරුද්ධ වීමෙන් එහාට ගිහින්, යම්කිසි ගැලවුම්කාර පාර්ශ්වයක් කරළියට ගන්නත් ඕනෑ බව. ජවිපෙට අනුව ඒ පාර්ශ්වය තමයි ජාතික ජන බලවේගය. ඔහු තමන්ගේ පැයක කතාව ඇතුළේ ඉස්මතු කරන්නේ ජවිපෙ බලයට පැමිණීම විවිධාකාර පැතිවලින් වාසියක් වෙන හැටි.

ඒ වගේම ඊළඟ ජනතා නැගිටීමකට නායකත්වයක් ඕනෑ බව ඔහු මතු කරනවා.

‘ලක්ෂ ගණන් කොළඹට ආවා. දුම්රියේ වහලේ, ට්‍රක් එකේ, බැකෝ එකෙන් කොළඹ ආවා. ගොඩක් ප්‍රතිඵල අදටත් තියෙනවා. තීරණාත්මක දේ රනිල් වික්‍රමසිංහ බලය තහවුරු කරගැනීම.

නායකත්වයක් අවශ්‍යයි. අරමුණක් අවශ්‍යයයි.‘ අනුර කියනවා.

‘ඉස්සරහට අර්බුදය නැවත ඇතිවෙනවා.‘ කියන එක අනුර කුමාර වැඩිදුරටත් විස්තර කරනවා. ඔහු ඒකට හේතු සාධක ගොඩක් කියනවා. අර්බුදය තවම ඉවර නැති බවත්, බදු ගැසීම ඇතුළු සාමාන්‍ය ජනතාවට එල්ලවෙන පීඩනයත් ඔහු විස්තර කරනවා.

ඒක අවසානයේ ඔහු කියන්නේ නැවත ජනතාව නැගිටින මොහොතේ ‘තැන තැන ඉබාගාතේ නැගිටලා වැඩක් නැති‘ බව. ‘ආණ්ඩුවට අපේක්ෂා කරන්නේ මේක ප්‍රචණ්ඩකාරී තැනකට තල්ලු කරන්න. බැටන් පොලු, කඳුළුගෑස් ගහලා මර්දනය කරන එක ආණ්ඩුවට හොඳයි. අසංවිධානාත්මක නැගිටීම් ආණ්ඩුවට වාසියක්.‘ යනුවෙන් අනුර කියනවා.

ඒ සම්පූර්ණ සන්දර්භය තුළ මිසක් හුදෙක් ‘අනුරලා ඊළඟ ජනතා නැගිටීම අපි යටතේ වෙන්න ඕනෑ කිව්වා. බලන්නකො මුංගෙ කතා‘ කියලා විවේචන කරලා වැඩක් නැහැ.

‘අපි තැන තැන නැගිටින ජනතාවට නායකත්වය දෙන්න ඕනෑ.‘ අනුර කුමාර කියනවා. ඒ අනුව ගම් ඇතුළේ ජනතාවට නායකත්වය දෙන්න කොට්ඨාශ සභා හදන්න ඕනෑ බව කියනවා.

දේශපාලන සංවිධානයක් විදියට ජාතික ජන බලවේගයත්, නායකත්වයක් විදියට අනුර කුමාර දිසානායකත් මේ වෙලාවේ තමන් යටතේ ජනතාව සංවිධානය විය යුතු බව කල්පනා කිරීමේ කිසිම වරදක් අපට පෙනෙන්නේ නැහැ.

දේශපාලන බලවේගයක් ජනතාවට නායකත්වය දෙන්න හිතන එක වරදක් නෙවෙයි. ඇත්තටම ලංකාවේ හැම දේශපාලන බලවේගයක්ම කරන්න ඕනෑ ඒක. ජනතාවට නායකත්වය දෙන එක. සංවිධානය කරන එක.

තියෙන එකට එරෙහි වෙන අතරේම, තියෙන එකට විකල්ප විදියට අලුත් එකක් හදන එක තමයි ඔවුන් කරන්නේ.

‘අද රාජපක්ෂ කඳවුර දුර්වල වෙලා. කඩාවැටිලා. හොල්ලන්න බෑ කියපු, ගල් පර්වතයක් වගේ තිබුණ කඳවුර ඇස් ඉදිරිපිට බිඳවැටුණා. දැන් බලය තිබෙන්නේ ජනතාව ගාව. ප්‍රශ්නය තියෙන්නේ ජනතාව නිවැරදි ලෙස සංවිධානය වෙලා නැහැ.‘ අනුර මේ අදහස තවදුරටත් කියනවා.

ඔවුන්ගේ ප්‍රතිපත්තිවල අපි එකඟ වෙන ගොඩක් තැන් සහ එකඟ නොවෙන සමහර තැන් තියෙනවා. නමුත් ඒ සංවිධානය බලය වෙනුවෙන් වැඩ කරන පිරිසක්. ඒ වගේම විකල්ප බලවේගයක් බලය අත්පත් කරගැනීම හැර, සාම්ප්‍රදායික කඳවුරකට නැවත බලය දීලා වැඩක් නැති බව ඔවුන් දකිනවා.

ඒ අදහස වැරදි දෙයක් නෙවෙයි.

හැබැයි කෙනෙක්ට අහන්න පුළුවන්, ඒ සංවිධාන කටයුතු කරන අතරේම දැන් සිද්ධවෙන මර්දනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක වේදිකාවකට යන්නත් ජවිපෙට පුළුවන් නේද? කියන ප්‍රශ්නය.

හැබැයි මේ පොදු සතුරා පිළිබඳ අදහස අධිනිශ්චය වෙද්දී,අද පවතින අර්බුදයට හේතුවෙච්ච තව බොහෝ හේතු යටයන්න පුළුවන්. දැන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම මූලිකම අවශ්‍යතාවක් බව ඇත්ත. හැබැයි ඒ අතරේ තව බොහෝ සාධක මේ රට මෙතැනට වැටෙන්න හේතු වුණා. දූෂණ වංචා, අදූරදර්ශී ප්‍රතිපත්ති, අවංක නැති දේශපාලන නායකත්වයන් මේකට හේතු වුණා. අද විපක්ෂයේ පොදු වේදිකා හැදෙනකොට, මේ අර්බුදයට වගකියන්න ඕනෑ අයත් ඒ පොදු වේදිකාවලට ගොඩ වෙනවා.

අන්තිමේ සිද්ධ වෙන්නේ, ‘පොදු හතුරාට විරුද්ධව‘ කියලා ආයෙමත් සන්ධාන හැදෙන එක. මිනිස්සුත් හිතනවා මේක තමයි එකමුතුව කියලා. ඒ සන්ධානවලින් සාම්ප්‍රදායික කඳවුරක් ආයෙත් බලයට එන එක සිද්ධවෙනවා.

ඉතින් මේ වෙලාවේ ජාතික ජන බලවේගය තනිව වැඩ කරන එක කිසිසේත්ම පුදුම වෙන්නට හෝ විරුද්ධ වෙන්නට දෙයක් නෙවෙයි.

ජාතික ජන බලවේගය මේ වෙද්දී යාන්ත්‍රණයක් හදමිනුය ඉන්නේ. ඇත්තටම අරගලයට කලින් තමයි ඒක පටන් ගත්තේ. ජාතික මට්ටමේ විධායක සභාවක් හදලා තියෙනවා.  ඊට පස්සේ කොට්ඨාශ මට්ටමෙන් ජාතික ජන බලවේගයේ කොට්ඨාශ සභා හදනවා.

ඔක්තෝබර් 27 වැනිදා ජාතික ජන බලවේගයට සමීප, එසේ නමුත් ජාතික ජන බලවේගයේ නොවන වෘත්තිය සමිති සහ සංවිධානත් ඇතුළත් වන වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ ඒක විසින් ක්‍රියාත්මක කරන ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය රැළියක් පවත්වනවා.

ඉතින් අවසානයේදී සිහිපත් කරන්න ඕනෑ, පුද්ගලිකව අපි ඉන්නේ පොදු වේදිකාවක් හදන ක්‍රියාවලියට පක්ෂව. මොකද, මේ මර්දනය පරාද කරන්න ඕනෑ. ඒක කරන්න පුළුවන් සජිත් ප්‍රේමදාසලා, ඩලස් අලහපෙරුමලා, එම්.ඒ. සුමන්තිරන්ලා, චම්පික රණවකලා, සරත් ෆොන්සේකාලා පාරට බැහීමෙන් තමයි.

අපි බලය ලබාගැනීමේ අරමුණෙන් වැඩකරන දේශපාලන පක්ෂයක නෑ. එහෙම එකකට සම්බන්ධ වෙලාත් නැහැ. අපට බලය අවශ්‍ය කරන්නේත් නැහැ. ඒ නිසා පොදු වේදිකාවක් තුළින් සජිත්ලා ශක්තිමත් වෙනවාද කියන එක අපට ද්විතීයික මට්ටමේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒ ප්‍රශ්නය දිහා ‘අපි‘ හැරිලා බලන්නේ දෙවැනියට. අනෙක, මේ පොදු විරෝධතාවකින් එහාට ගිහින්, පොදු වේදිකාවක් හදලා ඊළඟ ඡන්දයේදී සජිත් ප්‍රේමදාස හෝ ඩලස් අලහපෙරුම වැනි නායකයන් වෙනුවෙන් කැම්පේන් කරන්න අපට කිසිම අදහසක් හෝ සැලසුමක් නැහැ.

මර්දනය ආපහු හැරවීමෙන් පස්සේ අපි හැමෝටම අපගේ වූ දේශපාලන අදහස් මත එකිනෙකට වෙනස් ක්‍රියාකාරීත්වයන් තියෙනවා.

හැබැයි ජනතා විමුක්ති පෙරමුණට අර කාරණය ද්විතීයික ප්‍රශ්නයක් නෙවෙයි. එයාලා මේ රට හදන්න තමන්ගේම වූ යෝජනාවලික් අරන් ඉස්සරහට එන පිරිසක්. ඔවුන් හැම පැත්තම බැලන්ස් කරලා බලන්න ඕනෑ.

ඔවුන් පොදු වේදිකාවට එන්නේ නැති නම්, ඒක අපට තේරුම් ගන්න පුළුවන්. දැන් අපට තියෙන්නේ ජාතික ජන බලවේගයටත්, නායක අනුර කුමර දිසානායකටත්, ඒ වටේ එකතුවෙන පිරිසටත් වධ නොදී, ඔවුන්ගේ දේශපාලනය කරන්න ඉඩ දෙන එක.

මේ සියල්ල අවසානයේ මහමැතිවරණයකින් කුමන පක්ෂයක් බලයට ආවත්, අපි කරන්නේ පුරවැසි දේශපාලනයක්. ඒ නිසා, පුරවැසියන්ගේ බලය ශක්තිමත් ලෙස තබාගෙන ඕනෑ ආණ්ඩුවක් එක්ක හෙට්ටු කරන්න අපට පුළුවන් වෙන්න ඕනෑ. සජිත් වුණත්, ජවිපෙ වුණත්, ඕනෑ ආණ්ඩුවකට පදනම් සහගත ලෙස ජනතාව විරුද්ධ වෙනවා නම් ජනතාවගේ පැත්තෙන් ඒ විරෝධය එක්ක අපි හිටගන්නවා. ඒ තමයි පුරවැසි දේශපාලනය.

කොහොම නමුත්, පොදු සතුරෙක්ට එරෙහිව පෙළගැහෙන්න හිතන අය අද තේරුම් ගන්න ඕනෑ කාරණයක් තියෙනවා. ඒ තමයි පොදු සතුරා අනුර කුමාර නොවන විත්තිය.