ලොහාන්ට බුරපු.. බල්ලා පලවා හරින්න වෙඩි!

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තගේ පසුපසින් බුරමින් පැමිණි බල්ලෙකු පලවා හැරීමට රත්වත්ත මහතාගේ ආරක්ෂකයන් වෙඩි තබා ඇති බව අරුණ පුවත්පත වාර්තා කර ඇත.

රත්වත්ත මහතා මාධ්‍ය හමුවකට යාපනය ප්‍රදේශයට ගිය අවස්ථාවේ මෙම සිදුවීම සිදු වී ඇත. වැල්වැටිතුරේ නිවසකට ගිය අවස්ථාවේ දී ඒ මහතා පසුපස බල්ලෙක් බුරමින් පැන ඇත. එහින් රත්වත්ත මහතා අපහසුතාවට පත් වු බවත් වහාම ක්‍රියාත්මක වු ආරක්ෂකයන් බල්ලාව පලවා හැරීමට වෙඩි තබා ඇති බවත් පුවත්පතේ සදහන් කර ඇත.

කෙසේ වෙතත් 2021 සැප්තැම්බර් 12වන දින රාත්‍රියේදී බීමතින් අනුරාධපුර බන්ධනාගාරයට කඩා වැදී දෙමළ සිරකරුවන් දණ ගස්වා , රැදවියන්ට හිසට පිස්තෝලය තබා මරණ තර්ජනය කර තිබුණු අතර ඊට දිනකට පෙර වැලිකඩ බන්ධනාගාරයටද රාත්‍රියේ පිරිසක් සමඟ පැමිණ එල්ලුම් ගහ නැරඹිට යෑමට තැත් කර ඇති බවත් එහිදී එහි සිටි නිලධාරීන්ට අසභ්‍ය වචන කියමින් බැන වැදී තිබුණ බවත් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අදාල පුවත්පතේ එම සිදුවීම මෙසේ වාර්තා කර ඇත.

බල්ලගෙන් ඇමැති බේරා ගන්න වෙඩි

රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ යාපනය බලා පිටත්ව ගියේ තල් රා ප්‍රචලිත කිරීම සඳහාය. තල් රා ප්‍රචලිත කිරීම සඳහා මාධ්‍ය හමුවක්ද පැවැත් වූ ඔහු කියා සිටියේ ‘‘දකුණෙන් උතුරට යන අයට තල් රා බොන්න වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.

මාධ්‍ය හමුවෙන් පසු රාජ්‍ය ඇමැතිවරයා එල්.ටී.ටී.ඊ. නායකයා ලෙස සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගමට ගියේය. වැල්වැටිතුරේ ප්‍රදේශයේ නිවසකට ගිය ඇමැතිවරයාට වූයේ අකරතැබ්බයකි. බල්ලෙකු පිටුපසින් බුරමින් පැනීම නිසා ඇමැතිවරයා අපහසුතාවට පත් වූයේය. වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් බල්ලා පලවා හැරීම සඳහා වෙඩි තබා තිබේ. ඒ ඇමැතිවරයා ආරක්ෂා කර ගැනීම සඳහාය.