දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට රජය තීරණය කර තිබෙනවා. මෙය, දේශගුණ විපර්යාසයට අදාල ලෝකයේ නවීන ප්‍රතිපත්ති පාවිච්චි කරමින් ශ්‍රී ලංකාවට ආධාර ලබාගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ ගැනීමට බලාපොරොත්තුවන උපක්‍රමවල දිගුවක්.
එරික් සෝල්හයිම් දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශකයෙකු ලෙස පත් කරගැනීමත් ඒ අරමුණ වෙනුවෙන් කරපු දෙයක්. ඊට අමතරව රනිල් වික්‍රමසිංහගේ අදහස් දැක්වීම්වලදී නිතර දේශගුණ විපර්යාස පිළිබඳ අදහස් දැක්වීම් දක්නට ලැබුණා. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් කරන අදහස් දැක්වීම්වලදී.
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් තමයි දේශගුණ විපර්යාස ලේකම් කාර්යාලයක් හදන්න බලාපොරොත්තු වෙන්නේ. එහි එක් ප්‍රධාන අරමුණක් තමයි දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා අරමුදල් එක්රැස් කිරීම.
මේ වෙද්දී දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට මෙන්ම දේශගුණ විපර්යාස පිළිබඳ පනතක් සම්මත කරන්නත් සූදානම් බව ආණ්ඩුවේ ප්‍රධානීන් කියා තියෙනවා. ඒ කටයුතුත් දේශගුණ විපර්යාස පිළිබඳ කාර්යාලයෙන් කරනවාලු.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සැලසුම් ඉදිරියට ගෙනියන්නත් බලාපොරොත්තු වෙනවාලු. මේ සියලු කරුණ නොවැම්බර් 06 වැනිදා සිට 18 වැනිදා දක්වා ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණ විපර්යාස පිළිබඳ කොප් 27 සමුළුවට සහභාගී වෙලා ඉදිරිපත් කරන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලාපොරොත්තු වෙනවාලු.
මෙය යම්කිසි ඉලක්කයක් සහිත වැඩපිලිවෙලක් බව කිව යුතුයි. ආණ්ඩුවක් දේශගුණ විපර්යාස ගැන සංවේදී වීම කිසිම වරදක් නැහැ. එහෙත්, සැබෑ ප්‍රශ්නය මේ සියලු පියවරයන් ගනු ලබන්නේ දේශගුණ විපර්යාසවලට ශක්තිමත්ව මුහුණදීමේ අරමුණෙන්ද, නැත්නම් ජාත්‍යන්තර ආධාර සහ ණය මුදල් ලබාගැනීමේ පටු අරමුණෙන් පමණක්ද යන්න. ඇත්තටම ලංකාවේ සිදුවන වනාන්තර විනාශය, පරිසර හානි, ගංගා දූෂණය කිරීම ඇතුළු දේශගුණ අර්බුදයට අදාල කාරණාවලට සැබෑ ලෙස මුහුණදෙන්න රනිල් වික්‍රමසිංහලා ලෑස්තිද? මේ වෙද්දී ආයෝජන මණ්ඩලය යටතේ තියෙන කර්මාන්තවලින් කැලණි ගඟ අසූචි ගොඩක් බවට හරවලා තියෙන්නේ. ඒවා වෙනස් වේවිද?
වනාන්තර විනාශ කරමින් හැදුණ සංචාරක හෝටල්වල සිට ඉන්ධන වැඩිපුර දහනය කරන අධිසුඛෝපභෝගී වාහන ගැන ප්‍රතිපත්ති වෙනස් කරන්න රනිල් වික්‍රමසිංහලා ලෑස්තිද?
එසේ නැතිනම් මේ කාර්යාල, විශ්වවිද්‍යාල සහ ව්‍යාපෘති බෝඩ් ලෑලිවලට සීමා වේවිද?