‘මගේ තාත්තා තමයි ඉන්ටනෙට් පියා!‘ නාමල්ගේ ආතල් ටුවර් එකේ අලුත්ම කතන්දරේ….!

මේ වෙද්දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි නැගිට්ටවීමේ ගමනක් ඒ පක්ෂය ආරම්භ කරලා තියෙනවා. ඒ ගමනේදී එක් එක් වේදිකාවල කතා කරන පොහොට්ටු නායකයන්ට දීලා තියෙන තේමාව, ‘නැතිවෙන්න දෙයක් නැහැ, කටට එන ඕනෑ එකක් කියන්න, ආතල් එකක් ගන්න.‘ කියලා වෙන්න ඕනෑ. කතා කරන දේවල් බැලුවාම හැඟෙන්නේ එහෙමයි.

නාමල් රාජපක්ෂ තමයි හොඳම විනෝදයක් ලබන නායකයා. ඔහු පහුගියදා කතාවක් කරමින්, ලංකාවට අන්තර්ජාලය හඳුන්වාදුන්නේ ‘මහින්ද රාජපක්ෂ‘ කියා කීවා.

ඔව්, පරිගණකය හඳුන්නවාදුන්න ඇලන් ටියුරින්ගෙ ඉඳන්, අන්තර්ජාලය හඳුන්වාදුන්න පෝල් බැරන්, ලෝරන්ස් රොබර්ට්ස් ඇතුළු අයගෙ ඉඳන්, ෆේස්බුක් හදපු මාක් සකර්බර්ග් දක්වා උං ඉනට අත් දෙක ගහං.

නාමල් කීව කතාවෙන් කොටසක් මෙහෙමයි.

‘අද ෆේස්බුක් එකේ තරුණයෝ නිරන්තරයෙන් කාලය ගත කරනවා. 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙනකොට ලංකාවේ අන්තර්ජාලය තිබුණේ සීයට 5කට විතරයි. මහින්ද මහත්තයා ගෙනාපු අන්තර්ජාලයෙන්ම තමයි ෆේස්බුක් එකේ මයිනා කියලා ගහන්නේ.‘

ඒ අනුව ලංකාවට ‘ඉන්ටනෙට් දුන් පියා‘ තමයි නාමල්ගේ පියා. නව තාක්ෂණය හඳුන්වාදෙන්නට සහ එයට අදාල ප්‍රතිපත්ති සකස් කරන්නට ලංකාවේ ටෙලිකොමියුනිකේෂන් පිළිබඳ විෂය ප්‍රවීණයන් වෙච්ච මහන්සිය කිසිම තේරුමක් නෑ. මොකද, සියල්ල කරපු තනි මිනිහා මහින්ද. කාලය එක්ක කොහොමත් යම් යම් සංවර්ධනයේ අංග ඉබේම රටවල්වලට එන බවත් අමතක කරන්න බැහැ. එහෙත්, ඒ කිසිවක් වැඩක් නෑ, ඉන්ටනෙට් පියා මහින්ද.

දැන් පරිගණක තාක්ෂණය පාවිච්චි කරලා කොච්චර සමකාමීන්ට ගහනවාද? ලිංගික අපහාස කරනවාද? ඉතින්, ඇලන් ටියුරින් කියන සමකාමියා තමයි පරිගණකය හඳුන්වාදුන්නේ.

දැන් ලංකාවෙ තරුණයන්ට මොකද කරන්න කියන්නේ? මහින්දට ගහනවනම් ඉන්ටනෙට් පාවිච්චි කරන්න එපාද? නැත්නම් ඉන්ටනෙට් එකෙන් මහින්දට ගහනවනම් ‘ප.ලි.‘ කියලා යටින් දාලා මහින්දට ගහන්න ක්‍රමයක් හදා දුන්නාට ස්තූති කරන්නද?

මේකට තමයි වහල්කම, යටහත් පහත්කම කියන්නේ. එක්කෝ යුද්දෙ ඉවර කළේ මහින්ද, පාරෙ නිදහසේ යන්නෙ මහින්ද, ඒ නිසා මහින්දට මොනාවත් කියන්න එපාලු. දැන් ඊටත් එහා ගිහින් අන්තර්ජාලයේ පියා මහින්ද, ඒ නිසා මහින්දට ඉන්ටර්නෙට් එකෙන් මොනාවත් කියන්න එපාලු.

හැබැයි මේ කතාවේදීත් නාමල් යළිත් වතාවක් අපට එකඟ වෙන්න පුළුවන් දෙයක් කීවා. නාමල් මහත්තයෝ, එකෙන්ම එකඟයි ඈ!

ඒ කතාව මෙහෙමයි

‘අවංකව සිස්ටම් එක වෙනස් වෙන්න ඕනෑ කියලා කියපු තරුණයෝ වගේම මේක හයිජැක් කරපු පිරිස ගොඩ ගියා. සමන් රත්නප්‍රිය, ධනුෂ්ක රාමනායක, කීර්ති තෙන්නකෝන්, අර්ජුණ රණතුංග, දමිතා අබේරත්න කියන අයගේ නම් කියනවා. ඇත්තටම අරගල කරපු එක්කෙනා තාම ගෝල්ෆේස් එකේ. මොකක්ද වුණේ කියලා කල්පනා කරනවා සරුංගල් යවන ගමන්.‘

මෙතැන දමිතා අබේරත්න ගැන අපි වෙනම කියන්නම්. ඇය දේශපාලන වේදිකාවට එනවා නම්, ඒ කතාව ගැන අපට තියෙන්නේ වෙනම අදහසක්. ඇය විතරක් නෙවෙයි, තව බොහෝ අය දේශපාලන වේදිකාවට එන්න ඕනෑ බව අපි හිතනවා. හැබැයි ප්‍රධානම කොන්දේසියක් තමයි මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට සහ මානව හිමිකම්වලට එරෙහිව අදහස් පළ නොකර, විශේෂයෙන් මහජන නැගිටීම් විවේචනය නොකර, හොරකම් නොකර, හොරුන්ට උඩගෙඩි නොදී දේශපාලනය කරන්න ඕනෑ.

එතකොට සමන් රත්නප්‍රියලා, ධනුෂ්ක රාමනායකලා, කීර්ති තෙන්නකෝන්ලා අද වැටිලා තියෙන්නේ ඕකේ අනෙක් පැත්තට. ඔවුන් අද ආරක්ෂා කරන්නේ මානව හිමිකම් කඩන, ජනතා අයිතිවාසිකම්වලට එරෙහිව පෙනී ඉන්න, පොදුජනතාව ගැන අසංවේදී නායකයන්ව. ඔවුන් වැඩ කරන්නේ මිනිසුන්ව පීඩාවට පත් කරන නායකයන් එක්ක. ඔවුන් ඇත්තටම අරගලයෙන් ගොඩ ගියා කිව්වාම, අරගලයට කලින් ඔවුන් කරලා කියලා තියෙන දේවල්වලට අසාධාරණයක් තමයි. හැබැයි, ඔවුන් සැබෑ ලෙස මේ විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණේ හිටගෙන ඉඳලා, ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අනෙක් පැත්ත හැරුණ අය තමයි. නාමල් රාජපක්ෂ නම් ගම් කීව අයට අමතරව තව නම් නොකියන අයත් ඔය ගොඩේ ඉන්නවා.

ඉතින්, ඒ අතින් ගත්තාම නාමල් රාජපක්ෂගේ දෙවැනි ප්‍රකාශය එක්ක නම් එකඟ වෙන්න පුළුවන්.