බංග්ලාදේශය ණය කල්දාන්න ලෑස්ති නෑ! ‘අපේ ණය වෙලාවට ගෙවයි කියා හිතනවා‘ – බංග්ලාදේශය

ශ්‍රී ලංකාව ලබන වසරේ මාර්තු මස බංගලාදේශයට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල, ශ්‍රී ලංකාව නියමිත වේලාවට ආපසු ගෙවනු ඇතැයි බංගලාදේශය බලාපරොත්තු වන බව බීඩී නිවුස් 24 පුවත් සේවය වාර්තා කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම්වලට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් මහතා අතර පැවති හමුවකින් අනතුරුව අබ්දුර් රවූෆ් මහතා මේ පිළිබඳ ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දුන් බව බීඩී නිවුස් 24 පුවත් සේවය පෙන්වා දුන්නේය .

විදේශ මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ බංගලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදල ආපසු ගෙවීම ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් නියමිත වේලාවට ගෙවා නිම කිරීමට නොහැකි වූ බවත් බංගලාදේශය දෙවරක් ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි ණය ගෙවීමේ කාලය දීර්ඝ කළ බවත් බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වාරික තුනකින් ආපසු ලබා දීමට නියමිත බව තලුක්දර් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමග පැවති හමුවේදී ශ්‍රී ලංකාව නියමිත පරිදි ගෙවීමට ඇති දිනයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ආපසු ගෙවන බවට සහතිකයක් ලබා දුන් බව බංගලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවූෆ් තලුක්දර් සඳහන් කළේය.

(උපුටාගැනීම – ලංකාදීප)