“මිනිස්සු පෝලිම්වල මියගියා- මිනිස්සු බඩගින්නේ ඉන්නවා-මගේ සහෝදරයා සහ ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියට ආවේ ඒ සියලු‍ දෙනා වෙනුවන්- එයාලා  කථා කළේ රටේ හැමෝම වෙනුවෙන් – වසන්තගේ සහෝදරයා කියයි!

මගේ බාල පුතා මේ වගේ දැකීම මට විශාල දුකක්, වේදනාවක්”‍ – සිරිධම්ම හිමිගේ මව

එයා කවදාවත් නීතියට පිටින් දෙයක් කරල නෑ. එයා රටේ ප්‍රශ්ණ ගැන උද්ඝෝෂණය කරන්න ගියා. එච්චරයි.” හෂාන්ගේ පියා

නිවසේ පිළියෙළ කරන මස් කරියකට වඩා අසල සුපිරි වෙළඳසැලකින් මිළදීගත් මුද්‍රා චිලී පේස්ට් භාජනයක් ‘ආරක්ෂිත’ බව නිලධාරීන් හඳුනා ගත්තේ කෙසේද – වසන්තගේ සහෝදරයා

අමලිනී ද සයිරා සහ මරීසා ද සිල්වා

බලයට පත්වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගනු ලැබූ ප්‍රථම ක්‍රියාමාර්ගය වූයේ මේ වසරේ මාර්තු මාසයේ සිට රට පුරා අවිහිංසාවාදී ලෙස ක්‍රියාත්මක වූ ශක්තිමත් ජනතා අරගලය මර්දනය කිරීමයි. සතිපතා පාහේ ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්නා හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව/ ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය (CID/TID) වෙත කරන කැඳවීම් අතර, සිදුවීම් තුනක් කැපී පෙනේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමින් ජනතා විරෝධතාවල ඉදිරියෙන්ම සිටි ශිෂ්‍ය නායකයින් තිදෙනෙකු රැදවුම් නියෝග යටතේ දින 90 ක් රදවා තබා ගැනීමට වික්‍රමසිංහගේ ආන්ඩුව කටයුතු කර ඇත.

පසුගිය මාසය පුරාවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) නායකයින් තිදෙනාගේ පවුල්වල සාමාජිකයින් තම ආදරණීයන්න්ගේ තත්ත්වය සහ ඔවුන් රඳවා සිටින ස්ථාන පිලිබද දැනගැනීමේ අභිලාෂයෙන් බලා සිටිනතර ඔවුන්ව තවදුරටත් වේදනාවට පත්කිරීමට මෙන්ම ඔවුන් පිලිබද ඔත්තු බැලීමටද කටයුතු කරනු ලැබ ඇත. 

හෂාන් ජීවන්ත ගුණතිලක ශිෂ්‍යයින් සංවිධානය කිරීමේ ක්‍රියාකාරී ලෙස නියැලී සිටි කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ශිෂ්‍යයෙකි. ඔහු හලාවත ප්‍රදේශයේ අයකු වන අතර ඔහුගේ පියා කියා සිටියේ ඔහුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන් බවයි. “‍ඔහු මුළු ජීවිත කාලයම කෙළින් ශිෂ්‍යයෙක්, විශ්විද්‍යාලයේ ඉගෙනීම් කටයුතු  හොඳින් කරගෙන ගියා”‍, ඔහුගේ පියා කියා සිටියි. ”‍එයා යාලු‍වො වෙනුවෙන් ඕන දෙයක් කරනවා. එයා කවදාවත් නීතියට පිටින් දෙයක් කරල නෑ. එයා රටේ ප්‍රශ්ණ ගැන උද්ඝෝෂණය කරන්න ගියා. එච්චරයි.”

ගල්වැව සිරිධම්ම හිමි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත අවිශිබමයේ හස්තයක් වන අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු වේ. උන්වහන්සේ හම්බන්තොට ප්‍රදේශයේ අයකු වන අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ ශිෂ්‍යයෙකි. “‍මගේ බාල පුතා මේ වගේ දැකීම මට විශාල දුකක්, වේදනාවක්”‍,  උන්වහන්සේගේ මව පවසයි.

වසන්ත මුදලිගේ අවිශිබමයේ කැඳවුම්කරු වන අතර ඔහු මහියංගනය ප්‍රදේශයේ අයෙකි. ඔහු රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශයේ පුරාවිද්‍යාව හදාරන ශිෂ්‍යයෙකි. ඔහුගේ සොහොයුරා පවසන්නේ තමන්ද දේශීය විශ්වවිද්‍යාල පද්ධතිය තුල අධ්‍යාපනය ලබා ඇති නිසා විශ්වවිද්‍යාල සිසුන් තමන් ගැන පමණක් සිතීමෙන් ඔබ්බට ගොස් අරගල දියත් කරන ආකාරය සහ ඒවාට නායකත්වය දෙන ආකාරය පිලිබඳ තමන්ට අවබෝධයක් ඇති බවයි. “මිනිස්සු පෝලිම්වල මියගියා- මිනිස්සු බඩගින්නේ ඉන්නවා-මගේ සහෝදරයා සහ ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියට ආවේ ඒ සියලු‍ දෙනා වෙනුවන්- ඔවුන් කථා කළේ මේ රටේ සියලු‍ දෙනා වෙනුවෙන්,” ඔහු කියා සිටියි.

බොහෝ අභියෝගතා මධ්‍යයේ තම සහෝදරයා හමුවූ අවස්ථාවන්හි – විරෝධතාවයෙන් පසු වසන්ත අත්අඩංගුවට ගත් අය දුරකථන ඇමතුම් ලබා ගැනීම සඳහා ස්ථාන කිහිපයක නතර වූ බව ඔහු තමන්ට පැවසූ බව වසන්තගේ සහෝදරයා කියා සිටියි. “සර් අපි එයාව කොහේටද ගෙනියන්නෙ?”, යනුවෙන් ඔවුන් දුරකථනයෙන් විමසනු වසන්තට කිහිප විටක්ම ඇසුනු බව වසන්ත ඔහු හා පවසා ඇත. එයින් කියැවෙන්නේ වසන්ත අත්අඩංගුවට ගැනීමේ නියෝගය ඉහල සිට පැමිණියක් බවයි.

අවසන් වරට පසුගිය වසරේ වසන්ත අත්අඩංගුවට පත් වූ අවස්ථාව ඔහු සිහිපත් කරයි. එම අවස්ථාවේදී, දේශබන්දු තෙන්නකෝන්, “‍උඹලාගේ අන්තරේ කතාව මෙතැනින් ඉවර කරලා දානවා. ”‍ යනුවෙන් ඔහුට තර්ජනයකොට ඇත. තෙන්නකෝන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වේ. ඔහුගේ ක්‍රියාකාරකම් මෙන්ම සමහර අවස්ථාවල ඔහුගේ නොකර හැරීම් විසින්  මැයි 9 දා රාජපක්ෂ හිතවාදී මැර කල්ලි විසින් ගාලු‍ මුවදොර විරෝධතාකරුවන් වෙත සිදුකළ පහර දීමට ඉඩ සලසාදෙන ලදී.

මුලදී මේ තිදෙනාම තංගල්ල රැඳවුම් කඳවුරේ රඳවන ලදී. කෙසේ වෙතත්, ඔවුන් නිරන්තරයෙන් නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ කාර්යාලයටත්, එතැනින් නැවතත් තංගල්ලේ රැඳවුම් මධ්‍යස්ථානටත් ගෙනයනු ලැබිනි. සිරිධම්ම හිමි වැඩි කාලයක් තංගල්ලේ ගත කර ඇති අතර ඔහුගේ පවුලේ අය එම ස්ථානයේ ඔහුගේ ආරක්ෂාව ගැන කනස්සල්ලට පත්ව සිටිති. එම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ තංගල්ල ‘පැරණි බන්ධනාගාරය’ තුළ වන අතර එය වාසය සඳහා අනාරක්ෂිත අබලන් ගොඩනැගිල්ලකි. මධ්‍යස්ථානය පරිපාලන කටයුතු සිදු කරනු ලබන්නේ නාවික හමුදාව විසිනි. නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින්ද සැරසුණු නිලධාරීහු එම පරිශ්‍රයේ සැරිසරති.. වසන්තගේ සොහොයුරා පවසන්නේ, නාවුක හමුදාපතිවරයා කවුරුන් වුවත්, නාවික හමුදාව සිටින්නේ රාජපක්ෂවරුන්ගේ පාලනය යටතේය යන්න තම හැගීම බවයි. මේ වසරේ මැයි මාසයේදී මහින්ද රාජපක්ෂට සිය තනතුර හැරයාමට සිදුවූ අවස්ථාවේදී ඔහුගේ පවුල රැකවරණ පතා ගියේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙතය. ඔහුගේ පුත්‍රයාද නාවුක හමුදා නිලධාරියෙකි. “මේක කාළයක් තිස්සේ ගොඩනැගුනු පක්ෂපාතීත්වයක්”‍, වසන්තගේ සොයුරා පවසයි.

රඳවා සිටින තිදෙනා බැලීමට මුල් අවස්ථාවේදී තංගල්ල මධ්‍යස්ථානය වෙත ගිය අවස්ථාවන් ඔවුන්ගේ පවුල්වල අය සිහිපත් කළේ මෙසේය.  ඇතුළු වීමට අවශ්‍ය සියල්ලන්ම ශරීර පරීක්ෂාවට ලක් කරන ලදී. ඔවුන් වෙහෙස මහන්සි වී නිවසේදී සාදාගෙන ගිය- දරුවන් ප්‍රිය කරන ආහාර ඔවුන් වෙත දීමේ අවස්ථාව ඔවුන්ට නොලැබින. ඔවුන්ට ‘පිටින්’ ආහාර මිල දී ගෙන නිලධාරීන්ට දිය හැකි ය. ඔවුන් නිවසේ පිළියෙළ කරන මස් කරියකට වඩා අසල සුපිරි වෙළඳසැලකින් මිළදීගත් මුද්‍රා චිලී පේස්ට් භාජනයක් ‘ආරක්ෂිත’ බව නිලධාරීන් හඳුනා ගත්තේ කෙසේදැයි වසන්තගේ සහෝදරයා අසයි.

රැඳවියන්ගේ තත්ත්වය පිලිබද විමසූ විට, බොහෝ පවුල් පැවසුවේ ඔවුන්ගේ හමුවේදී එවැනි සංවාදයකට අවකාශයක් නොවූ බවයි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීහු නිරන්තරයෙන් ඒ අවට ගැවසෙමින් ඔවුන්ගේ සංවාදයන්ට සවන්දෙමින් සිටියහ. හෂාන්ගේ දෙමාපියන් පවසන්නේ ඔවුන් තම පුතා සමඟ කථාකරන අවස්ථාවේදී ක්‍ෂෘ CID නිලධාරීන් හතර දෙනෙකු එම සංවාදයට සවන්දෙමින් එහි රැදී සිටි බවයි. ඒ සමහරු සිටියේ සිවිල් ඇඳුමිනි. ඔහුගේ මව හා පියා ඔහුගේ තත්ත්වය පිලිබද විමසා සිටි අවස්ථාවේදී ඔහුට හැකියාව තිබුණේ සිනාදී ‘හොඳයි’ යනුවෙන් ප්‍රතිචාර දැක්වීමට පමණි. “‍ඊට පස්සෙ ක්‍ෂෘ CID එක අපේ ගමටත් ඇවිත් තිබුණා”‍ හෂාන්ගේ පියා පවසයි. ඔවුන් හෂාන්ගේ නිවසට පැමිණ නොතිබූ නමුත් අවට නිවෙස්වලට ගොස් හෂාන් හා ඔහුගේ පවුල පිලිබඳ විමසා තිබිනි.

සිරිධම්ම හිමිගේ පවුලේ අයගේ අත්දැකීමද ඒ හා සමානය.  “ඇත්තටම අපිට එයා එක්ක කතා කරන්න බෑ”‍. ඔවුන් ඔහුව හමුවීමට නියමිත කාමරයට ඇතුළු වීමට පෙර, නිලධාරීන් ඔවුන්ගෙන් අසා ඇත්තේ “‍අපි එයාගෙන් මොනවද ඇහුවෙ කියල ඕගොල්ලො එයාගෙන් අහනවද?”‍ යනුවෙනි. අනතුරුව එම නිලධාරීහු මුළු රැස්වීමටම සවන් දෙති. ඊට අමතරව, අවිශිබම හා සම්බන්ධ තවත් භික්ෂුවක් වන ඔහුගේ සහෝදරයා පැය පහකට වැඩි කාලයක් කොළඹ TID කාර්යාලයට ප්‍රශ්න කිරීම සඳහා කැඳවනු ලැබූ අතර, එහිදී ඔවුන් වැඩි වශයෙන් ඔහුගෙන් විමසා තිබුණේ සිරිධම්ම හිමිගේ දුරකථනය කොහිද යන්නයි.

එක් සෙනසුරාදා දිනක වසන්තගේ සහෝදරයා නිවසේ පිසූ ආහාර රැගෙන තංගල්ලට ගොස් තිබේ. වසන්ත කොළඹට රැගෙන ගිය බව ඔහුට දන්වා තිබුණේ ඔහු බන්ධනාගාරය වෙත පැමිණි පසුවය. තමන් ඔහුව හමුවීමට කලින් වේලාව වෙන්කරගෙන තිබියදී එවැන්නක් සිදුවන්නේ කෙසේදැයි ඔහු නිලධාරීන්ගෙන් විමසූ විට ඔවුන් ඔහුව ඇමතීමට දුරකථන අංකයක් ලබා දී ඇත. එම අංකයට ඇමතුම් ගණනාවක් ලබා දීමෙන් පසු අවසානයේ ඔහුට දන්වා ඇත්තේ වසන්ත බැලීමට අවශ්‍ය නම් එදින සවස 4 ට පෙර කොළඹට පැමිණිය යුතු බවයි. ඔහු පෙ.ව. 11.00 ට වහාම තංගල්ලෙන් පිටත්වූයේ පැය 3.5 ක ගමනකින් පසු නියමිත වේලාවට කොළඹට ළඟා වනු පිණිසය. 

“‍වසන්ත මට පොත් ටිකක් ගෙනත් දෙන්න කිව්වා”‍, ඔහුගේ සහෝදරයා කියයි. “එයා කොලයක් ඉල්ලල, පොත් ලැයිස්තුවක් ලියල දුන්නා.”‍ ඔහු තම සොහොයුරාට කියවීම සඳහා පොත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ලබා දීමට උත්සාහ කළ විට, ඔවුන් ඒ සියල්ල භාරගත් නමුත් එක් පොතක් ප්‍රතික්ෂේප කරන ලදී. ඒ චිංගිස් අයිත්මාතොව්ගේ The First Teacher නමින් කිර්ගීස් භාෂාවෙන් පළවී ඇති පසුව ‘ගුරැ ගීතය” නමින් සිංහලට පරිවර්තනය වී ඇති කෘතිය යි. කිර්ගීස් ගම්මානයක සිදුවීම් පෙළක් ඉදිරිපත් කරන එය ගැමි දරුවන්ට අධ්‍යාපනය හරහා අනාගතයක් උරුම කරදීමේ අරමුණින් පාසැලේ වෙහෙසී ඉගැන්වීම් කරන කොමියුනිස්ට්වාදියකු පිලිබද  කතාන්දරයකි.

වසන්ත සහ හෂාන් කොළඹට ගෙන ගිය අවස්ථාවක, ඔවුන්ගේ පවුල්වල අය ඔවුන් සඳහා වෙළඳපොලින් මිලදී ගත් ඇසුරුම් කළ ආහාර- බිස්කට්, පළතුරු යුෂ පැකට්, කිරි පැකට්- වැනි ඔවුන් කැමති බව දන්නා දේවල් ගෙනගොස් භාරදී තිබිනි. දින ගණනාවක් එම පාර්සල් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ කාර්යාලවල මේස මත තබා තිබුණි. ඒවා සිසුන් වෙත භාරදීමට නිලධාරීන් කටයුතුකර තිබුණේ නැත.

“‍මේ හැමදේම හිතාමතා කරන දේවල්, ඔවුන්ගේ අරමුණ අපව පීඩාවට පත් කිරීම”‍, ශිෂ්යයින්ගේ පවුල්වල අය පවසති. දීර්ඝ අවසර ගැනීමේ ක්‍රියාවලිය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ගෙනයන භාණ්ඩ ලබාදීමේ අසීරු ක්‍රියාවලිය ඒ ආකාරයෙන් නිර්මාණයකොට ඇත්තේ පවුලේ සාමාජිකයින් ඔවුන් බැහැදැකීමට පැමිණීම අධෛර්ය කිරීමට හා ඔවුන් හුදෙකලා කිරීමේ අරමුණිනි. 

කලින් වේලාව වෙන්කරගෙන සිදුකෙරෙන නීතිඥවරුන්ගේ පැමිණීම් පවා සිදුවන්නේ TID හි අභිමතය පරිදි ය. කෙසේ වෙතත්, ඔවුන් හමුවීමට අවස්ථාව ලද නීතීඥයින් කිහිප දෙනෙකුගේ තොරතුරැවලට අනුව, සිසුන් තිදෙනා හුදකලා සිරකඳවුරක, අඳුරු කුටිවල රඳවා සිටින බව අපි දනිමු. සිරිධම්ම හිමිට (තංගල්ලේ සිටින විට) සෑම දිනකම එළිමහනේ කෙටි කාලයක් ගත කිරීමට අවසර ඇත. ඔහුට වෙනත් කෙනෙකු හමුවීමට අවස්ථාව ලැබෙන්නේ නැත. වසන්ත හා හෂාන් දෙදෙනාට නාරාහේන්පිට හා තංගල්ල යන ස්ථාන දෙකේදීම එකිනෙකා හමුවීමේ අවස්ථාව නොලැබේ.  

මෙම තිදෙනා බැහැදැකීමට අවසර දී ඇති ආකාරයේ පවත්නා තීරණාත්මක ගැටළුවක් නම්, රැඳවියාගේ කැමැත්ත ඇතිව පමණක් පවුල්වලට අයට හමුවීමට අවසර දීමයි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ නිලධාරීන් රැඳවියාගෙන් ඔවුන් පවුලේ අය හමුවීමට කැමතිද යන්න විමසා ඒ අනුව  හමුවීමට වේලාවක් ලබාදෙන බවක් එයින් ඇඟවේ. රැඳවියා හමුවීමේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන අවස්ථා වලදී, රැඳවියා ඊට කැමැත්ත ලබා නොදුන් බවට වන සහතිකය කුමක්ද? යමෙකුට වධහිංසා පමුණුවමින් තිබෙන්නේ නම්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ඉතා පහසුවෙන් ඔවුන්ගේ නීතීඥයින්ට හෝ පවුලේ සාමාජිකයින්ට පැවසිය හැක්කේ, එම සිසුන් ඔවුන් හමුවීමට කැමැත්ත පළ නොකළ බවයි. 

රැඳවියා නැවත පවුලේ අය හමුවීමට කැමැත්ත පළ කර ඇති බව දැන්වීමට පෙර කිසියම් තුවාලයක් හෝ වධහිංසා පැමිණවීමේ සලකුණු ඇත්නම් ඒවා සුව වන තෙක් සිටීමේ අවස්ථාව නිලධාරීන්ට ඇත.

එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් තාවකාලික පියවරක් ලෙස මුලින් පනවන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත චූදිතයාට නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනයේ අයිතිය ලබා නොදේ. මෙම පනත යටතේ යමෙකු අත්අඩංගුවට ගැනීමෙන් ‘ත්‍රස්තවාදියෙකු’ ලෙස ලේබල් කිරීම ම මානසික වධ හිංසාවක් වන අතර අතර සමස්ථ ක්‍රියාවලියම ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. එය ක්‍රියාත්මක වූ දා සිට, එය භාවිතා වී ඇත්තේ විරුද්ධ මත දරන්නන් මර්දනය කිරීමට සහ පදනම් විරහිත සැකයන් මත අහිංසක මිනිසුන් අත්අඩංගුවට ගැනීමට ය.  අපේ ඉතිහාසයේ කිසි දිනෙක මෙම පනත හරහා ‘ත්‍රස්තවාදය’ වැළැක්වී නොමැත.

යුද්ධය පුරාවට මෙන්ම 2009 යුද්ධය අවසන් වූ පසුවද එය දෙමළ තරුණයන්ට එරෙහිව විශාල වශයෙන් භාවිතා කර ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වරදක් තබා චෝදනාවක් හෝ නොමැතිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 5 ක් හෝ 10 කට වැඩි කාලයක් රැඳවුම් භාරයේ ගත කර ඇත. දැනට, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින දෙමළ සිරකරුවන් 9 දෙනෙකු මේ වන විට අවුරුදු 5 ත් 30 ත් අතර කාලයක් තිස්සේ රඳවාගෙන සිටින අතර එක් අයෙකු වසර 200 ක සිරදඬුවමක් විඳිමින් සිටියි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දහස් ගණන් මුස්ලිම්වරුන් අත්අඩංගුවට ගනු ලැබූ අතර, වැරැදිකරුවන් නොවන අයට ඇප ලබාදීම ප්‍රමාද කරමින් මාස ගණනක් ඇදී ගියේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සුළුතර ප්‍රජාවන්ට එරෙහි ආයුධයක් ලෙස භාවිතා කරනු ලැබ ඇති අතර එය ක්‍රියාත්මක කරනු ලැබ ඇත්තේ අතිශයින්ම වාර්ගික පදනමකිනි. මෙයින් ඇඟවෙන්නේ ‘රාජ්‍යයේ සතුරෙකු‘ ලෙස සලකන ඕනෑම අයෙකු ඕනෑම අවස්ථාවක එහි රුදුරු නිය පහරට ගොදුරු වියහැකි බවයි.

දිගු කලක් තිස්සේ ඇදගෙන යන නඩු සහ සිරගතව සිටින ආදරණීයයන් බැලීමට පවුලේ අයට ඇති දුෂ්කරතා ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කලක් තිස්සේ භාවිතා කර ඇති උපක්‍රම වේ. රාජ්‍යය විසින් ‘ත්‍රස්තවාදියා’ ලෙස නිර්වචනය කරන පුද්ගලයාගේ ස්වභාවය කලින් කලට වෙනස්ව ඇත.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි, නැතිනම් තවත් පවුලකට මෙය නැවත සිදුවේවි” වසන්තගේ සොහොයුරා පවසයි. එක් එක් කාළයේ රාජ්‍යයේ සහ ආණ්ඩුවේ අවශ්‍යතා මත වසරින් වසර අලු‍තින් පිරිසක් ‘ත්‍රස්තවාදීන්’ බවට පත් කරන බව ඔහු දනී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නීති පවතින තාක් කල්, ඒවා සෑම විටම තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට සහ බලය රඳවා ගැනීමට රාජ්‍යය විසින් ආයුධයක් කරගනු ඇත.

තම මාමා තමන් වැනි තරුණ සිසුන් වෙනුවෙන් කතා කළ බව වසන්තගේ ලේලිය කියා සිටියි. “එයා කවදාවත් රට විනාශ කරන්න කථා කළේ නෑ. එයා අපි හැමෝම වෙනුවෙන් වඩා හොද අනාගතයක් ගැන සිහින දැක්කා. සැබෑ අපරාධකරුවන් නිදැල්ලේ සිටියදී, එයාව යකෙක් විදිහට පෙන්වල රඳවා ගෙන ඉන්නව.”