අපි මෙහි කතා කරන්නේ ළඟදී ‘යහමඟට ආපු‘ එරික් සෝල්හයිම් ගැන. එක්තරා කාලෙක ශ්‍රී ලංකාවේ පත්තරවල, ටීවීවල සහ දේශපාලන වේදිකාවල එරික් සෝල්හයිම් තරම් දුෂ්ඨයෙක් හිටියේ නෑ. පුදුම වෙන්න දෙයක්යෑ. වේලුපිල්ලේ ප්‍රභාකරන්ව මුණගැහිලා වැඩිම වාර ගණනක් සාකච්ඡා කරපු ජාත්‍යන්තර නායකයා, සරල සිංහල බසින් කීවොත් ‘සුද්දා‘ තමයි එරික් සෝල්හයිම්. මේ රට බෙදන්න ආපු බටහිර පිල්ලියක් විදියට වැඩිපුරම ලේබල් වෙච්ච නායකයෙක් ඔහු. දෙදාස් ගණන්වල මුල කාලෙ අපි පොඩි දරුවන් වුණත්, ප්‍රවෘත්තිවලින් සහ වැඩිහිටියන්ගෙ සංවාදවලින් දිගින් දිගටම ඇහිලාම ඔළුවට ගියපු නමක් තමයි එරික් සෝල්හයිම් කියන්නේ.
ඉතින්, අද ශ්‍රී ලංකාවට උපදෙස් දෙන කෙනෙක් විදියට එරික් සෝල්හයිම් නැවත මෙරටට එනවා. තමන්ගේ ජීවිත කතාව තුළ ශ්‍රී ලංකාවේ අවසන් යුද්ධයේදී දසදහස් ගණන් දෙමළ ජාතික සිවිල් වැසියන් මරණයට පත් වූ බව ඔහු ලීවා. ඒ චෝදනාව රාජපක්ෂලා ප්‍රමුඛ මෙරට දේශපාලන සහ මිලිටරි නායකයන් දැඩිව ප්‍රතික්ෂේප කරන එකක්. යුධ අපරාධ සිදු වූ බවත්, එම අපරාධ අධිකරණය ඉදිරියට යනු ඇති බවත් එරික් සෝල්හයිම් ලීවා.
මහින්ද රාජපක්ෂට අනුව දැන් රනිල් වික්‍රමසිංහ යහමඟට ආවා. රාජපක්ෂලාගේ දේශපාලන තියරි අනුව ඔවුන්ගේ අනුගාමිකයන් වෙත ‘අහවලාට බැණපන්‘ කීවාම බණින්නත්, ‘අහවලාගේ හොඳ කියාපන්‘ කීවා ඒ අයට හොඳ කියන්නත් ඕනෑ. රාජපක්ෂලා මාරුවෙද්දී අනුගාමිකයනුත් එකපාර මාරු වෙන්න ඕනෑ.
ඔවුන්ට ද්‍රෝහීන් අනුගාමිකයන්ටත් ද්‍රෝහීන්. කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා දේශපාලනයේ යහපත් මිනිසුන් බවට පත්වුණේ රාජපක්ෂලාගේ තනි සහතිකයකින්. ඒ අනුව එරික් සෝල්හයිමුත්, එකවර යහමඟට හැරේවිද? කවුද මේ එරික් සෝල්හයිම්?
රනිල් වික්‍රමසිංහ සිංහල භාෂාවෙන් විරෝධතාකරුවන්ව ප්‍රභාකරන්ට සමාන කරපු 2022 ඔක්තෝබරයේ ඒ අස්සේම එරික් සෝල්හයිම්ව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර දේශගුණ උපදේශකයෙකු විදියට පත් කළා. ඒ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් එක්කම.
ලෝකය පුරා දේශගුණ අර්බුදය ගැන සාකච්ඡාවලදී, විරෝධතාවල යෙදුණ ළමයි ගැන අමතක කරන්න බැහැ. ඒ අර්බුදය ලෝකයේ ප්‍රමුඛ ප්‍රශ්ණයක් කරන්නට ග්‍රෙටා තුන්බර්ග් ප්‍රමුඛ ළමයින්ගේ විරෝධතා හේතුවක් වුණා. කොහොම නමුත් අපි මෙහිදී අවධානය යොමු කරන්නේ එරික් සෝල්හයිම් කවුද කියන එක ගැන.
ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන තනතුරු දැරූ කෙනෙක්. නෝර්වීජියානු රජයේ හිටපු පරිසර ඇමතිවරයෙක්. ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ දේශගුණ වැඩසටහන්වල සාමාජිකයෙක්. ග්‍රීන් බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉන්ස්ටටියුට් එකේ වත්මන් සභාපතිවරයා වන්නේත් ඔහු. ඔහු වඩාත් වාමාංශික සහ හරිත දේශපාලන අදහස් දැරූවෙක්.
එරික් සෝල්හයිම් යුධ සමයේ දෙදාස් ගණන්වල, වසර දහයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ සාම සාකච්ඡාවල ප්‍රධාන ජාත්‍යන්තර මැදිහත්කරුවෙක් විදියට වැඩ කළා. 2002 දෙසැම්බර්වල ඔස්ලෝ සහ 2003 මුල බර්ලින්වල තිබුණ සාම සාකච්ඡාවලදී එරික් සෝල්හයිම් ප්‍රමුඛ නෝර්වේ නියෝජිතයන් භූමිකාවක් ඉටු කළා.
එරික් සෝල්හයිම්ට ලංකාවට ආරාධනා කිරීම සිද්ධවුණේ චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරිය සිටියදී. ලක්ෂ්මන් කදිරගාමර් විදේශ අමාත්‍යවරයාව සිටියදී. ඒ 2002 අවුරුද්දේ.
පසුකාලීනව හෙළි වූ විදියට මෙරට සාමය ඇති කිරීම සඳහා ඉතා රහසිගත ආරාධනයකින් තමයි සෝල්හයිම්ව ගෙන්වාගත්තේ. සෝල්හයිම් මුලින්ම ලංකාවට ඇවිත්, ප්‍රභාකරන්ව මුණගැහෙන්න යද්දී ඒ බව රටේ අගමැතිවත් දැනගෙන හිටියේ නැහැලු.
2017 දී පද්මා රාඕ කියන මාධ්‍යවේදිනිය වෙත සම්මුඛ සාකච්ඡාවකදී එරික් සෝල්හයිම් ලංකාවට මුලින්ම ආපු අවස්ථාව ගැන කීවා. එහිදී ඔහු පෙන්වා දුන්නේ එකල ශ්‍රීලනිපයත්, එජාපයත් සිංහල ජනතාව දෙකට බෙදා ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ වැඩවලට විරෝධය දක්වමින් හිටපු නිසා මෙරට සාම සාකච්ඡා අසාර්ථක වූ බව. ඒ කියන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් නෙවෙයි. ආණ්ඩුවේ ඉද්දී එකක් කරනවා. විපක්ෂයට ගියාම තව එකක්. එක් පැත්තක් බලයේ සිටියදී අනෙක් පැත්ත කකුලෙන් අදිනවා.
ඒ නිසා දෙමළ ජනතාව සිංහල දේශපාලන නායකයන් දුන් කිසිම පොරොන්දුවක් විශ්වාස කළේ නැහැලු.
මේ ගැන සෝල්හයිම්ගේ ජීවිත කතාව තුළ තිබුණා. එහිදී ඔහු කිව්වේ සාම සාකච්ඡාවලදී දෙමළ පැත්ත වැඩි වශයෙන් තනි වචනයක හිටපු බව. එහෙත්, ශ්‍රී ලංකා රජය නියෝජනය කළ අය පක්ෂ විදියට බෙදී, තනි වචනයක හෝ තනි මතයක නොහිටපු බව.
අනෙක් පැත්තෙන් දෙමළ පාර්ශ්වයේ අඩුපාඩුවකුත් ඔහු කීවා. ඔවුන් දැඩි ලෙස වෙනම රාජ්‍යයක් ඉල්ලූ බවත් ඔහු පෙන්නුවා. ඒ වෙනුවට තනි ශ්‍රී ලංකා රාජ්‍යයක් ඉදිරියටත් පවත්වාගෙන යන අතරේ, ෆෙඩරල් පාලන ක්‍රමයක් පවත්වාගෙන යන්නට කොටි සංවිධානය කැමති කරවාගැනීම අසීරු වූ බව සෝල්හයිම් පෙන්නුවා. එහෙම බැලුවාම රාජපක්ෂලාගේ මාධ්‍ය ප්‍රචාර මොනවා වුණත්, ඇත්තටම සෝල්හයිම් උත්සාහ කරලා තියෙන්නේ බෙදෙන්න ගිය රට එකතු කරන්න.
2017 දී දුන් සම්මුඛ සාකච්ඡාවේදී එරික් සෝල්හයිම් කීවේ ප්‍රභාකරන්ව තමන්ට මීට වඩා වැඩි වාර ගණනක් හමුවෙන්න තිබුණ බව. එහෙම හමු වුණා නම් සාම සාකච්ඡා සඳහා ප්‍රභාකරන් නැඹුරු කරගන්න අවස්ථාව තිබුණ බව.
සෝල්හයිම්ගේ සාම සාකච්ඡා උත්සාහයන් ‘සටන් විරාමයක්‘ දක්වා දෙපාර්ශ්වය ගෙනාවා. එහෙත් ඒ සාකච්ඡා අවසාන වුණේ 2008 දී. සටන් විරාමය ස්ථීරවම නතර වී ශ්‍රී ලංකා හමුදාව ක්‍රමයෙන් ප්‍රදේශ අත්පත් කරගනිමින් යුද්ධය අවසන් කිරීමේ දිශාවට යන්න පටන් ගත්තා.
ඇත්තටම 2008 දී කොටි සංවිධානය පරාජය වෙමින් පවතින බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා. එම අවස්ථාවේ කොටි සංවිධානයට යටත් වීම සඳහා සැලැස්මක් ඉදිරිපත් කරන්නට එරික් සෝල්හයිම්ලා මැදිහත් වෙලා තිබුණා. එහෙත්, ඒ වෙද්දීත් ප්‍රභාකරන් යටත් වීම ප්‍රතික්ෂේප කරලා. ඒ වෙනුවට ශ්‍රී ලංකා හමුදාවට ප්‍රහාර නවත්වන්නැයි යෝජනා කරලා.
යුද්ධය අවසන් වුණේ 2009 මැයි 18 වැනිදා. ඊට දවසකට කලින් එල්ටීටීඊ දේශපාලන අංශයේ නායක පුලිදේවන් එරික් සෝල්හයිම්ට ෆෝන් එකෙන් කෝල් කරලා ඇහුවාලු, පරාජය භාර අරන් යටත් වෙන්න කැමතියි, ඒකට අවස්ථාව දෙනවාද කියලා. එහෙත් එරික් සෝල්හයිම් ඒ වෙද්දී කීවාලු, දැන් ප්‍රමාද වැඩියි, දැන් මැදිහත්වීමේ හැකියාවක් නැහැ කියලා. හැබැයි එරික් සෝල්හයිම් බැසිල් රාජපක්ෂට කතා කරලා ඔහු භාර වීමට කැමති බව දැනුම් දුන්නාලු. ඒ වෙද්දී කොටි සංවිධානය ඉන්දියාව හරහා වගේම මෙරට තවත් මැදිහත්කරුවන් හරහා ආණ්ඩුවට යටත් වීමේ කැමැත්ත ප්‍රකාශ කළාලු. එහෙම ප්‍රකාශ කරලා තියෙද්දී තමයි ප්‍රහාරය නොනවත්වා ඉදිරියට ගෙනිච්චේ. යුද්ධයෙන්ම යුද්ධය අවසන් කළේ. යටත් වෙන්න හිටපු පුලිදේවන්ලා ඝාතනය කළේ කොහොමද කියා එරික් සෝල්හයිම් පසුකාලීනව ප්‍රශ්න කළා. මොකද, ජාත්‍යන්තර යුධ නීතිය අනුව යම් කෙනෙක් යටත් වෙන්න කැමති නම් වෙඩි තියන්න බැහැ.
එරික් සෝල්හයිම් 2022 ජුලි 26 වැනිදා සීජීටීඑන් කියන චීන නාළිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන්නා. එහිදී ඔහු කීවේ, ශ්‍රී ලංකාව යුධ සමයේ අවස්ථා ගොඩක් මඟහැරගත්ත බව. ශ්‍රී ලංකාවේ සියලු ජාතීන්ට පිළිගත හැකි ආකාරයේ ෆෙඩරල් රාජ්‍යයක් ඇති කරගැනීමට අවස්ථාව තිබුණ බවත්, එම අවස්ථාව මඟහැරගත්ත බවත් එරික් සෝල්හයිම් කීවා.
සෝල්හයිම්ලා පෙනී සිටියේත්, අද පෙනී ඉන්නේත් ‘දේශපාලන විසඳුම‘ කියන එක වෙනුවෙන්. එහිදී ෆෙඩරල් පාලන ක්‍රමයක් කියන එක ප්‍රමුඛයි.
2009 දී ලැබූ විශාල යුධ ජයග්‍රහණයෙන් පසු තවත් අවස්ථාවක් මඟහැරුණු බව ඔහු කීවා. දෙමළ ජනතාව වෙත ළඟා වීමට තිබුණ අවස්ථාව මෙරට රජය අහිමි කරගත් බවත් මාස කිහිපයකට කලින් ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේදී ඔහු පෙන්වා දුන්නා.
ඊට අමතරව 2022 දී කරපු මේ සාකච්ඡාවේදීත් ඔහු කීවේ ශ්‍රී ලංකාවේ මිලිටරිය සඳහා සීමාව ඉක්මවා මුදල් වියදම් කරන බව.
ඒ වගේම වත්මන් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට තියෙන හොඳම විසඳුම දෙමළ ජාතිකයන්ගේ නායක එම්.ඒ. සුමන්තිරන් සමඟ රාජය සාකච්ඡා කිරීමත්, ඉන්පසු සිංහල සහ දෙමළ නායකයන් අතර පරතරය අවම කොට එකඟතාවක් හදාගැනීමත් බව එරික් සෝල්හයිම් කීවා.
එහෙත්, ඔහුටත් මඟහැරෙන කාරණයක් තියෙනවා. මේ වෙද්දී එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති නීතිඥවරයෙකු ලෙස අසාධාරණ ලෙස අත්අඩංගුවට ගනු ලබන විරෝධතාකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිනවා. අදටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කිරීමට එරෙහිව රටපුරා පෙත්සම් අත්සන් කරමින් සිටිනවා.
මතක තියාගන්න, එරික් සෝල්හයිම් ස්වභාවයෙන්ම ‘දුෂ්ඨයෙක්‘ නෙවෙයි. ඔහු යුද්ධයක් කරමින් හිටපු දෙපාර්ශ්වයක් මැද තැනකට ගේන්න උත්සාහ කරපු මැදිහත්කරුවෙක්. ඔහුව මාධ්‍යවලින් දුෂ්ඨයෙක් කළේ රාජපක්ෂලා, විමල් වීරවංශලා. එහෙම කරපු රාජපක්ෂලාට අනුව දැන් සෝල්හයිම් යහමඟට හැරිලාද? නැත්නම් සෝල්හයිම් ලංකාව ගැන කියපු දේවල් නිවැරදිද? වැරැද්ද කළේ මහින්දලාද? සෝල්හයිම්ගෙන් උපදෙස් ගන්න ලංකා රජය, සෝල්හයිම් ජනවාර්ගික ප්‍රශ්නය ගැනත්, යුධ අපරාධ ගැනත් කියන දේවල් පිළිගන්නවාද? ඕවා තමයි ප්‍රශ්න.
ඇත්තටම එරික් සෝල්හයිම්ලා එදා පෙනී සිටපු ‘සාම සාකච්ඡා‘ හෝ ‘දේශපාලන විසඳුම්‘ හරිද? වැරදිද? කියන සංවාදය සිංහල සමාජය තුළ තවදුරටත් කරන්න බැහැ. සිංහල සමාජයට අනුව රාජපක්ෂලා යුද්ධය ඉවර කරපු එකත්, කරපු විදියත් ‘නිවැරදියි.‘ කොටි සංවිධානය එක්ක සාම සාකච්ඡා කරන්න දෙයක් තිබුණේ නැහැ සිංහල බහුතරයට අනුව. ඒක බහුතර මතය නම්, ඒක වෙනස් කරන්නත් අපට බැහැ. ඒ අනුව සිංහල බහුතරය විශ්වාස කරනවා එරික් සෝල්හයිම් ‘වැරදි‘ බව.
එහෙත්, අපට සෝල්හයිම් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් දේ තමයි ඉදිරියේදී නැවත යුද්ධයක් ඇති නොවීමට ගත හැකි පියවර මොනවද කියන එක. ඒ වගේම ජනතා නැගිටීම් දැඩි මර්දනයකින් අවසන් කරන්නට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහයන් ගැන කතා කරන්න පුළුවන්. රොකී චිත්‍රපටිවලදී ඇපලෝ ක්‍රීඩ් අන්තිමේදී රොකී අතින් පරාජය වෙනවා. එහෙත්, ඊට පස්සේ රොකී තමන් අතින් පරාජය වූ ක්‍රීඩ්ගෙන් උපදෙස් ලබා ගන්නවා. ඒ නිසා ලංකාවේ යුද්ධය සහ සාමය ගැන මතවාද අතින් සෝල්හයිම් වැරදියි කියල කවුරුන් හෝ තර්ක කළත්, ඔහුගේ උපදෙස් මේ රටට වැදගත් වේවි.
එරික් සෝල්හයිම් මීට කලිනුත් කියා තිබුණා ශ්‍රී ලංකාවට එන්න තමන් කැමති බව. ඒ වගේම මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරණායක සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයන් බොහොමයක් තමන්ගේ හිතමිතුරන් බව. මොකද, යුධ සමයේ ඔහු මේ සියලු පාර්ශ්වයන් එක්ක ඔහු සමීපව කතා කළා. වත්මන් ආණ්ඩුව තුළ තිරයෙන් ඉදිරිපිට හෝ තිරය පසුපස මේ හැම නායකයෙක්ම වගේ එකතුවෙලා ඉන්නවා.
අද ශ්‍රී ලංකාවට එද්දී ඔහු පරණ මිතුරුකම් මත ලංකාවට පැමිණීමත්, ලංකාව ඉල්ලන සහයෝගය ලබාදීමට ඉදිරිපත් වීමත් පුදුමයක් නෙවෙයි. එහෙත්, ඔහු සාම සාකච්ඡාවලට ආපු කාලසීමාව තිස්සේ මේ රට පාලනය කරපු අයම අදත් මේ රට පාලනය කරද්දී, එදා ඔය පාලකයන් මේ රට පාලනය කරපු විදිය නිසා ලංකාව මෙතැනට වැටුණ බවත් ඔහු අමතක නොකළ යුතුයි.
බලමු, යහමඟට හැරුණ එරික් සෝල්හයිම් කරන්නේ මොනවාද කියා.