පොලිස් හරක් රැළ ළමයින්ට හිංසා කිරීම සාධාරණීකරණය කරන කසඩ විද්වත්තු නොදන්නා දේ!

ඔක්තෝබර් 09 වැනිදා ගෝල්ෆේස් එකේ තිබුණ සාමකාමී විරෝධයට හරක් රංචුවක් වගේ කඩාවැදිච්ච තඩි පොලිස් ලොක්කන් ප්‍රමුඛ පිරිසක් කුඩා දරුවන්ට හිංසා කරපු හැටි හැමෝම දැක්කා. මේක දැකපු සමහර මිනිස්සු සමාජ මාධ්‍යවල ‘දරුවන්ව ගෙනාපු එක වැරදියි‘ කියන අදහස දාලා තිබුණා.

මතක තියාගන්න, මේ අදහස මුලින් කියපු බොහෝ දෙනෙක් අවංකව දරුවන් ගැන හැඟීමක් ඇතිවයි ඒ අදහස දැම්මේ. ඉතාම සද්භාවයෙන්, සද්චේතනාවෙන්. ඔබ වුණත් ඒ මතයේ ඇති.

හැබැයි ඒ අයගේත් දැනුමට වැදගත් වෙන, ඔබ නොදන්න සමහරවිට සංවේදී සහ වැදගත්ම සිදුවීම් ටිකක් අපි මේකෙදී කතා කරනවා. මේ කරුණු  දැනගත්තාට පස්සේත්, ඔබ කලින් මතයේම ඉන්නවානම් ඒකට කමක් නැහැ. මොකද මේක සංවේදී මාතෘකාවක්. මේ ගැන නොයෙකුත් මත තිබිය හැකියි. ප්‍රශ්නයක් නෑ.

මිනිස්සු හැමදාම මොකක්හරි අල්ලගෙන මත දෙකකට බෙදිලා වෛරයෙන් එකිනෙකාට එරෙහිව අදහස් පළ කරගන්න එක තමයි මේ සමාජ මාධ්‍ය යුගයේ ලක්ෂණය. මිනිස්සු එහෙම බෙදිලා රණ්ඩු වෙවී කමෙන්ට දාගන්න එක සමාජ මාධ්‍යවලටත් ලාභයක්. අපි ඒ සමාජ මාධ්‍ය ‘පෝලරයිසේෂන්වල‘ කොටසක් වෙන්න ඕනෑ නැහැ. නමුත් අපි මේ මාතෘකාව ගැන කතා කරමු. ඒක වැදගත්.

මොකද, මේ සිදුවීම කැත දේශපාලනයකට පාවිච්චි කරන්න ගත්තා ඊට පස්සේ.

ඒකේ දිගුවක් වුණේ ආණ්ඩුවට කඩේ යන ආත්මයක් නැති හිරු, දෙරණ සහ ආණ්ඩුවේ චැනල් ටික ඔක්කොම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී විජේසූරියගෙ ජී හතේ වොයිස්කට් එක.

සිදූ, ලිට්ල්ස්ටාර්, හොඳටම පැහිලා ආදී නොයෙකුත් ඒවායින් ළමයින්ව හොඳටම අවභාවිත කරලා සල්ලි හොයන ටීවී චැනල් කාලකණ්ණින්ගෙ කිඹුල් කඳුළු අපි දැක්කා. පොඩි අතදරුවෙක් මියගියාම අම්මලාට පෙන්නන්නෙත් නැතිව පුච්චන්න තරම් අසංවේදී රෝහල් අධ්‍යක්ෂ කෙනෙකුගෙ කිඹුල් කඳුළු දැක්කා.

මේ ජී විජේසූරියගෙ ලොකුම ජී වැඩේ තමයි 2020 දී මුස්ලිම් ජාතික පවුලක මාස ගාණක දරුවෙක්ව අමන විදියට පවුලට බාර නොදී බලහත්කාරයෙන් පුළුස්සා දැමීම. එදා සම්පූර්ණයෙන්ම අවිද්‍යාත්මක පදනමක ඉඳන්, මුස්ලිම් මිනිස්සුන්ගෙන් පළිගන්න සහ මුස්ලිම් මිනිස්සු ගැන ජාතිවාදය අවුස්සලා දේශපාලන වාසි ගන්න බලාගෙන බලෙන්ම ඒ මිනී පිච්චුවේ ආණ්ඩුවේ කසඩ දේශපාලන කැම්පේන් එකක් විදියට.

ඒ උමතුවේ උච්චතම අවස්ථාව තමයි මේ ජී වීජේසූරිය කරපු මහ ජී වැඩේ. ඒ අම්මයි තාත්තයි අත්සන් කළේ නැහැ කියලා බලෙන්ම බොරැල්ල කනත්තේ ඒ දරුවාව පිච්චුවා. මියගිය දරුවාව බලන්න දුන්නෙත් නෑ, මුස්ලිම් ජාතිකයන් යම්කිසි මනුෂ්‍යයෙකුගේ සිරුර පිච්චීමෙන් ඒ ආත්මයට ශාන්තියක් අත් නොවෙන බව විශ්වාස කරනවා. පුංචි දරුවෙක් මියගියා මදිවාට, දරුවාගේ මූණවත් බලන්න නොදී පුච්චා දැමීම කොච්චර කුරිරු වැඩක්ද? එදා ආණ්ඩුවේ ජාතිවාදී අධම ක්‍රියාවලට කඩේ යෑමක් ලෙස එහෙම වැඩ කරපු අමනෝඥ අධ්‍යක්ෂවරයෙක් වන ජී විජේසූරිය මෙදා ආණ්ඩුවට කඩේ යන්න රෝහලෙන් ටිකට් කැපූ දරුවාගේ ටිකට් කැපූ බව කීවා.

මේ අධ්‍යක්ෂවරයා කීවා ‘ප්‍රවෘත්තිවලින් මං දැක්කා සමහර මාපියන් දරුවන්ව උස්ස උස්ස මාධ්‍යවලට ප්‍රදර්ශනය කරනවා.‘ කියලා. ඒත්, ඇත්තටම ඒ තාත්තා කළේ විරෝධයේ හිටපු තමන්ව තඩි මී හරක් රැළ වගේ වටකරගත්ත පොලිස් රංචුවෙන් දරුවන්ව බේරගන්න උත්සාහ කරපු එක.

දරුවන්ව උස්ස උස්ස මාධ්‍යවලට ප්‍රදර්ශනය කරනවා කියන්නේ අර මහින්ද රාජපක්ෂ 2005 මැතිවරණ කැම්පේන් එකේදී සහ ඉන්පසු 2015 දක්වා ධුර කාලයේදී කරපු දේ. ඇත්තටම මහින්දගෙ ඒ කැම්පේන් එකේදී හොඳටම ‘ආඩම්බරකාර තාත්තා‘ වගේ ස්ලෝගන් එක්ක මහින්ද පොඩි ළමයි වඩාගන්න හැටි, වටකරන් ඉන්න හැටි වීඩියෝ කළා.

හැබැයි අද විරෝධතාවල ළමයින්ට තියෙන ‘ආරක්ෂාව‘ ගැන අදහසත්, එදා සිදුවීමත් සම්බන්ධ කරලා හිතුවොත් මාරයි. මොකද, එදා මහින්ද රාජපක්ෂ මැතිවරණ රැස්වීම්වල කතා කළේ බෝම්බවලින් ආරක්ෂා වෙන්න වීදුරු පෙට්ටියක් ඇතුළේ ඉඳන්. මහින්දට ෆුල් සෙකියුරිටි දුන්නා. හැබැයි ඔය මීඩියා සංදර්ශනවලදී මහින්දගෙ අතට වඩාගන්න කියලා අසරණ, දුප්පත් මිනිස්සු දරුවන් සියදාස් ගණන් රැස්වීම්වලට ගෙනාවා. ඒ සියලු දරුවන් එදා හිටියේ බෝම්බ අනතුරු එක්ක.

මහින්ද වෙනුවෙන් ළමයි ලව්වා සිංදු කියෙව්වා. හොඳට ළමයින්ව යූස් කළා.

ඒ විදියට නායකයන් වන්දනාමාන කරන්න රැළිවලට, රැස්වීම්වලට පොඩි ළමයින්ව අරන් ආපු සංස්කෘතියට වඩා මේ විදියට තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ළමයින්ව එකතු කරගැනීමේ සංස්කෘතිය උත්තරීතරයි.

මතක තියාගන්න මහින්දලා අශ්ලීලම විදියට දරුවෙක්ව යූස් කළේ 2015 මැතිවරණ ව්‍යාපාරයේදී. අයිටීඑන් එකෙන් දිනපතාම ප්‍රවෘත්තිවලදී පොඩි දරුවෙක්ව පෙන්නුවා. ඒ පෙනනුවේ මෛත්‍රීපාල සිරිසේනගේ ‘අවජාතක දරුවෙක්‘ කියලා.

සේයා සදෙව්මි කියන දැරියව ඝාතනය කළාට පස්සේ ඒ දැරියගෙ පින්තූර දිගින් දිගටම පෙන්න පෙන්නා එක එකා ගැන සැකයක් ඇතිවෙන විදියට අද කිඹුල් කඳුළු හෙළන ටීවී චැනල්වලින් රිපෝට් කළා. අවුරුදු 17ක ළමයෙක්වත් සැකකාරයා කළා එක වෙලාවක. තවත් වෙලාවක දරුවාගේ තාත්තා ගැනත් සැකයක් ඇති කෙරෙව්වා. අපරාධයකට පොඩි ළමයෙක් ලක්වුණොත් කුණුගොඩක් අවුස්ස අවුස්සා ඒකේ ලගින හිවල්ලු වගේ ඔය ටීවී චැනල් කාරයො ළමයින්ගෙ ෆොටෝ අවුස්සනවා.

ඒ සියල්ලෙන් එහාට දරුවන්ට අතිශය අහිතකර අනාගතයක් වෙනුවෙන්, දරුවන්ට නොගැලපෙන සංස්කෘතික ජීවිතයක් වෙනුවෙන් මේ ටීවීකාරයන්ගේ සිට හැමෝම සහයෝගය දක්වනවා.

දැන් ඒ අය කිඹුල් කඳුළු හෙළනවා.

මේ විදියට අලුතින් ලෝකෙට ආව වගේ දරුවන් යොදාගැනීම ගැන කයිවාරු ගහන කසඩයෝ දන්නෙ නැද්ද බර්මිංහැම් කැම්පේන් ගැන. ඇමෙරිකාවෙ පාසල් දරුවන්ට අදටත් පාඩමක් විදියට ඒ ගැන උගන්වනවා.

1963 දී ඇමෙරිකාවේ අප්‍රිකානු ඇමෙරිකානු හෙවත් කළු ජාතික සිසුන් සහභාගී වෙලා කරපු දැවැන්ත නන් වයලන්ට් ඩිරෙක්ට් ඇක්ෂන් එකක් ඒක. ඒකේ සංවිධාන කටයුතු කළේ මාටින් ලූතර් කිං ජූනියර්, ජේම්ස් බෙවෙල් ඇතුළු නායකයන්. ඇමෙරිකානු පොලීසිය ඒ ශිෂ්‍ය විරෝධතාවලට පහරදුන්නා. මේකෙදී කළු ජාතික ඇමෙරිකානු නායකයන් ශිෂ්‍යයන්ට පුහුණුව දීලා, ඔවුන්ව මෙහෙයවමින් විරෝධතාවලට සහභාගී කරවාගත්තා. බර්මිංහැම් කැම්පේන් එක අවසානයේ ඒ ප්‍රාදේශීය මට්ටමෙන් තිබුණු කළු ජාතිකයන්ට අසාධාරණ නීති වෙනස් කරවාගන්න සමත් වුණා. අදටත් ඒ රටවල දරුවන්ට අයිතිවාසිකම් ජයග්‍රහණය කරන්නට අවිහිංසාවාදී සහ සාමකාමී විරෝධතා උපක්‍රම පාවිච්චි කරන හැටි උගන්වනවා.

මලාලා යූසුෆ්ෆායි සහ ග්‍රෙටා තුන්බර්ග් කියන්නේ මෑත ඉතිහාසයේ නන් වයලන්ට් ඩිරෙක්ට් ඇක්ෂන්වලට සහභාගී වූ ප්‍රකටම දැරියන් දෙන්නෙක්. ඔවුන්ට අමතරව තව බොහෝ දරු දැරියන් ලොවපුරා අයිතිවාසිකම් සටන්වලට සහභාගී වෙලා තියෙනවා. මෑත ඉතිහාසයේ දේශගුණ අර්බුදයට වැඩිම අවධානයක් යොමු වුණේ වයස අවුරුදු හයේ හතේ ඉඳන් ඉතාම පුංචි දරුවන් පවා දේශගුණ අර්බුදයට එරෙහි නන් වයලන්ට් ඩිරෙක්ට් ඇක්ෂන්වලට සහභාගී වූ නිසා.

දරුවන්ට මේකෙදී අධ්‍යාපනයකුත් ලැබෙනවා. අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ වරදක්, අපරාධයක්, නරක දෙයක් නෙවෙයි. ඒක උත්තරීතර දෙයක්.

මනුෂ්‍ය ශිෂ්ඨාචාරය පටන් ගත්තෙ බලය තියෙන බලවතුන්, දුර්වලයන්ව තලා පෙළාගෙන යට කරගත්ත තැනකින්. මුලින්ම ගෝත්‍ර වශයෙනුත්, පස්සේ අධිරාජ්‍ය වශයෙනුත් බලවතුන්ගෙ ගේම් එකකට දුබල, දිළිඳු මිනිස්සු යටවෙච්ච විකෘති ලෝකයක් තිබුණේ. ටිකෙන් ටික දුර්වලයන් අයිතිවාසිකම් වෙනුවෙන් බලවතුන්ට එරෙහිව කරපු සටන්වලින් තමයි අද තියෙන මනුෂ්‍ය ශිෂ්ඨාචාරය අපි දකින්නේ. අපේ ආර්ථික, සමාජයීය, දේශපාලනික, වෘත්තික අයිතීන් වගේම සෞඛ්‍යමය සහ අධ්‍යාපනික අයිතිවාසිකම් ආදී හැමදේම ලැබුණේ කොහේ හෝ, කවදා හෝ මිනිස්සු පිරිසක් ලේ හලාගෙන කරපු සටනක ප්‍රතිඵලයක් විදියට. අන්න ඒ බව පොඩි දරුවන්ට උගන්වන්න ඕනෑ.

අපේ මේ වගේ කසඩ විශේෂඥ උපදෙස් අනුව නං ළමයින්ට පුරුදු කරන්න ඕනෑ මොනවද? මහින්ද රාජපක්ෂ වගේ කාලකණ්ණි දේශපාලුවන්ට බුලත් අත් දීලා වඳින්නයි, අප්පච්චි කියලා සිංදු කියන්නයිද? නැත්නම් නූතන ලෝකයට නොගැලපෙන ගෝත්‍රික ලෙවල් එකේ ආගමික වතාවක් වගේම සමහර වෙලාවට පැවිදි කරවලා ඒ ළමයින්ගේ ළමා කාලය විනාශ කරන්නද? එහෙම නැත්නම් දෙරණයි, හිරුයි අනෙක් චැනලුයි කරන ළමා සුපර්ස්ටාර් වැඩසටහන්වල ගිහින් වඳුරු පැටව් වගේ නටන්නද? උංගෙ කසඩ මෙගා ටෙලිනාට්‍යවල පොඩි එකාව පෙන්න පෙන්න රේටින් ගන්න උදව් කරන්නද? නැත්නම් හොඳටම පැහිලද ඉදිලද වගේ බාල වැඩසටහන්වලට සහභාගීවෙලා ලොකු මිනිස්සුන්ට ආතල් සපයන්නද ළමයින්ට උගන්වන්නේ?

ශ්‍රී ලංකාවේ විරෝධතා ව්‍යාපාරයේ මුල්ම රූපික සංකේතය වුණේ මිරිහාන විරෝධයට සහභාගී වෙච්ච අම්මා කෙනෙක්, දරුවාව වඩාගෙන ඉන්න රූපය. ඒක එතරම් ප්‍රබල වුණේ මේ දරුවන් වෙනුවෙන් අනාගතයක් හදන්න අම්මලා විරෝධතාවලට සහභාගී වීම හරි සංවේදී නිසා. එතැනින් පටන් අරන් අපේ මිතුරු මිතුරියන් ඇතුළු බොහෝදෙනෙක් දරුවන් විරෝධතාවලට එක්කාගෙන ආවා. අවස්ථා ගණනාවකදීම අලුත ඉපදුණු දරුවන් රෝහලෙන් කෙළින්ම විරෝධතා භූමියකට ගෙනාවා.

යම්කිසි අවබෝධයක් තිබෙන දරුවන්ට ඒක වටිනා අධ්‍යාපනික සහ සංස්කෘතික අත්දැකීමක්. මුළු රටම එකතුවෙලා, ඒ දරුවන්ට හිමි අනාගතය වෙනුවෙන් උත්තරීතර විදියට අවිහිංසාවාදී විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වීම ඒ දරුවන්ගේ පෞරුෂය වැඩෙද්දී වැදගත් ලක්ෂණයක්. අපේ අනාගත පරම්පරාව තලා පෙලාගෙන වහල්ලු වගේ තියාගන්න ලේසි වෙන්නෑ. අත දරුවන් පවා තේරෙන වයසට එද්දී, ‘මම අතදරුවෙක් විදියටත් අයිතිවාසිකම් සටන්වලට ගිහින් තියෙනවා.‘ කියන හැඟීම ඉතාම වැදගත් වේවි ඒ දරුවාගේ පෞරුෂයට.

අනෙක් පැත්තෙන් දරුවන් ගණනාවක් ඉන්න සමහර අම්මලාට සහ තාත්තලාට දරුවා ඉන්නවා කියා විරෝධය පෑමේ අයිතිය අත්හැරලා දාන්න බැහැ.

මෑත කාලයේ ලංකාවේ තිබුණ විරෝධතා ව්‍යාපාරය අපේ දරු පරම්පරාවට උගන්වන්නේ වහල්කමද? නිවහල්කමද? කියන මාතෘකාවේදී වැදගත් එකක්. නිවට, නියාලු, දීන මිනිස්සු තමන්ගෙ දරුවන්ට ඒක උගන්වයි. එහෙත් තවත් අම්මලා ගොඩක් තමන්ගෙ දරුවන්ට වෙනස් පාඩමක් උගන්වයි.

ඔක්තෝබර් 09 වැනිදා රංචු ගැහිලා මැරයන් වගේ ඇවිත්, ළමයින්ව අනතුරේ දමමින් නින්දිත විදියට හැසිරුණ පොලිස් ලොක්කන් සහ අණ පිළිපැද්ද පොඩි පොලිස්කාරයන් තමයි දරුවන්ට අනතුරක් කළේ. නැත්නම් එතැන තිබුණේ සාමකාමී විරෝධයක්. නිහඬ විරෝධයක්. නන් වයලන්ඩ් ඩිරෙක්ට් ඇක්ෂන් එකක්. එවැන්නකට පහරදුන්න එක සාධාරණීකරණය කරමින් දේශපාලන වුවමනා මත අදහස් ඉදිරිපත් කරන, ඒවා ප්‍රචාරය කරන අය මොන තරම් නින්දිත අයද කියා අපි තේරුම්ගමු.