ධනුෂ්ගෙ එක්කුස උපන් අයියා, ධනුෂ්ගෙ පළමු චිත්‍රපටියෙ රචකයා සහ ‘අන්ක්‍රෙඩිටඩ්‘ අධ්‍යක්ෂවරයා තමයි සෙල්වරාඝවන්. මේ අයියයි මල්ලියි චිත්‍රපටි හතරකදී එකතුලො තියෙනවා. සෙල්වරාඝවන් අයියා ලියලා තෙළිඟුවලින් හදපු ෆිල්ම් එකක් වෙනම අධ්‍යක්ෂවරයෙක් යටතේ ධනුෂ් මල්ලි ප්‍රධාන චරිතය රඟපාමින් රීමේක් කරන ලද අවස්ථාවක් තමයි මිත්‍රන් ජව්හාර් කරපු ‘යාරඩී නී මෝහිනී‘ (Yaaradi Nee Mohini 2008) කියන ෆිල්ම් එක.
ධනුෂ් දෙමළ සිනමාවෙන් බොලිවුඩ් ගිහින් ඒ දෙකම දිග්විජය කරලා, හොලිවුඩ් සිනමාවේ ඇවෙන්ජර්ස් චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු වින්ස් රූසෝගේ අලුත්ම ෆිල්ම් එක වෙච්ච ග්‍රේ මෑන් (The Gray Man 2022) එකේ, වසරේ ‘කූල්ම‘ ඇක්ෂන් කැරැක්ටර් එකක් රඟපාලා නැවත දෙමළ සිනමාවට එද්දී තමන්ගෙ සිනමා අතීතය දිහා හැරිලා තියෙන බව පෙනුණා.
ධනුෂ්ගෙ මුල් කාලයේ සාර්ථක චිත්‍රපටි කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ අප කලින් කී මිත්‍රන් ජව්හාර්ගේ තිරුචිත්තප්පලම් (Thiruchitrambalam 2022) සහ මුල් කාලෙ සිනමාව ගොඩදාපු කලින් කීව ‘අයියා‘ සෙල්වරාඝවන්ගේ නානේ වරුවේන් (Naane Varuvean 2022) චිත්‍රපටියෙන් තමයි හොලිවුඩ් ගිහින් ආපු ධනුෂ්ව අපි හමුවන්නේ. මේ අධ්‍යක්ෂවරුන් දෙන්නාම එක්ක අවුරුදු දහයකට එහා කාලෙකට පස්සෙ තමයි ධනුෂ් ආයෙ එකතු වුණේ. ඒත්, ඒ දෙන්නාම ධනුෂ් හරිම ඉන්ටරෙස්ටින් දෙයක් කරන්න ට්‍රයි කරනවා. මේ වෙද්දී ඉන්දිය සිනමාවෙ රැලි බවට පත්වෙලා තියෙන මිලිටරිමය දේශප්‍රේමී සිනමාව, සමාජ ප්‍රශ්න කතා කරන චිත්‍රපටි, ඓතිහාසික එපික් චිත්‍රපටි, විශාල ධනයක් යටකරපු ෆැන්ටසි වර්ගයේ ‘පෑන් ඉන්දියා‘ චිත්‍රපටි, රහස් පරීක්ෂණ කතා, පොලිටිකල් ඩ්‍රාමා ආදී සියලු රැලිවලට පයින් ගහලා වෙනස්ම චිත්‍රපටි දෙකක් කරන්න ඔහු ට්‍රයි කරනවා. ධනුෂ් කියන්නෙ විෂන් එකක් සහ මිෂන් එකක් තියෙන සිනමා මොළයක්. තමන්ගෙම සිනමා අතීතයෙන් ආභාෂය අරන් ඔහු තම ප්‍රේක්ෂක ප්‍රජාවට වෙනස් රසයක් දෙන්න ඔහු ට්‍රයි කරනවා. තිරුචිත්තප්පලම් කියන්නෙ නං ඒ වැඩේදී අතිසාර්ථක වුණා. මේ සටහන තුළ අපි සලකන්නේ සෙල්වරාඝවන් අධ්‍යක්ෂණය කරපු නානේ වරුවේන් ෆිල්ම් එක ගැන.
සෙල්වරාඝවන් අධ්‍යක්ෂවරයෙක් විදියට සාර්ථක වූ චිත්‍රපටිවලදී ඔහු හැමවිටම කතා කරලා තියෙන්නේ මිනිස්සුන්ගෙ හිත්වල තියෙන අඳුර ගැන. තරුණ වියේදී, ආදරයෙදී, ශිෂ්ඨාචාරයේදී, වෘත්තිය සාර්ථකත්වයේදී ආදී බොහෝ තැන්වල මිනිස් හිත්වල අඳුර ගැන ඔහු කතා කරලා තියෙනවා. ඒ නිසාම ප්‍රේමයේදී, විවාහයේදී ආදී නොයෙක් අවස්ථාවල ඇතිවිය හැකි බියජනක අත්දැකීම් ඔහු පෙන්වනවා.
සරලව කීවොත් ඔහු මිනිස්සුන්ට ත්‍රිලර්ස්, හොරර්ස් පෙන්වන්නේ මනුෂ්‍යත්වය තුළ තියෙන අන්ධකාරය පෙන්වීමෙන්. තවත් අවස්ථාවල අපේම හිත්වල තියෙන බයවල්වලට ඔහු ආමන්ත්‍රණය කරනවා.
තුල්ලවදෝ ඉලමයි (Thulluvadho Ilamai 2002) තමයි සෙල්වරාඝවන් ලීව, ධනුෂ් රඟපෑ පළමු චිත්‍රපටිය. ෆිල්ම් හෝල් කිහිපයකට විතරක් දාන්න හදපු ලෝ බජට් ෆිල්ම් එකක්. පාසල් කාලෙ චිත්‍රපටියක් වුණාට, ඒකෙ ඉන්නෙ රෝසමල් වගේ හැදිච්ච තරුණ ළමයි නෙවෙයි. අඳුරු අතීතයකින් ආ ළමයි. කාදල් කොන්ඩෙන් ෆිල්ම් (Kaadhal Kondein 2003) එකේ ඉන්නේ අනාථ විනෝද් කියල අනාථ කොල්ලෙක් ධනවත් පවුලක මිඩ්ල් ක්ලාස් කෙල්ලෙක්ට ආදරය කරන හැටි. ඒ ආදරය නිසාම ඒ තරුණ කෙල්ල ලබාගන්න කොච්චර දුරකට විනෝද් යනවද කියන එක. ඊට පස්සේ පුදුපේට්ටයි (Pudhupettai 2006) ෆිල්ම් එක අපරාධකාරයෙක්ගෙ ලෝකය තුළ තියෙන බිහිසුණුකම සහ අඳුර ගැන කතා කරනවා. මයක්කම් එන්න (Mayakkam Enna 2011) චිත්‍රපටියෙ අතිදක්ෂ ඡායාරූප ශිල්පියෙක් වෘත්තිය සාර්ථකත්වයයි ආදරයයි හඹායන හැටි තියෙනවා.
ඔය කීව සමහර ෆිල්ම් බොක්ස් ඔෆිස් එකේ අතිසාර්ථක වෙලා නැහැ. සාමාන්‍ය වශයෙන් දිව්ව ඒවා. ෆිල්ම්ස් ‘ස්ලෝ‘ කියල විවේචන එල්ලවුණා.
සෙල්වරාඝවන් කවදාවත් චිත්‍රපටියෙ ප්ලොට් එක මාර වෙන්න ඕනෑ කියල හිතල නෑ. ඒ වෙනුවට තමන් කතා කරන මාතෘකාවට ඔහු රෞද්‍ර විදියට අවංකයි. සෙල්වරාඝවන්ගෙ චිත්‍රපටිවල ඉන්නෙ ප්‍රධාන චරිත මිසක් වීරයො නෙවෙයි. ඒ ප්‍රධාන චරිතවල අය සැබෑ ලෝකෙ ගත්තොත් දුෂ්ඨයො. ධනුෂ් ප්‍රධාන චරිතය රඟපෑවේ නැති (ධනුෂ් රඟපෑවානම් මරු.) සෙල්වරාඝවන් අධ්‍යක්ෂණය කළ 7ජී රේන්බෝ කොලනි (7G Rainbow Colony 2004) එකේ ප්‍රධාන චරිතය තමන්ගෙ කෙල්ලගෙ ආදරය දිනාගන්න ඒ කෙල්ලට දසවධ දෙනවා. පුදුපේට්ටයි එකේ ධනුෂ් රඟපෑ කොක්කි කුමාර් චරිතය මිනීමරුවෙක්, තමන්ගෙ යාළුවගෙ නංගි ආදරය කරපු තරුණයා එක්ක විවාහ වෙන දවසෙදී බලහත්කාරයෙන්, ඇගේ කැමැත්තක් නැතිව මැර බලයෙන් ඇයව විවාහ කරගන්නවා. ඊට පස්සේ දූෂණය කරනවා. එහෙම කරන්නේ ඔහුට තවත් විවාහක බිරිඳක් සිටියදී. දෙමළ සිනමා ඉතිහාසයේ, චිත්‍රපටියක ප්‍රධාන චරිතයක් කරපු දුෂ්ඨම වැඩක් ඒක. හැබැයි අනෙක් පැත්තෙන් කොක්කි කුමාර් වගේ පාතාලයන්ගේ හැබෑ ජීවිතයත් ඒක.
කාදල් කොන්ඩෙන් චිත්‍රපටියෙ කෙල්ලව දිනාගැනීම වෙනුවෙන් විනෝද් කියන තරුණයා අතිශය දුෂ්ඨ ක්‍රියා කරනවා.
සෙල්වරාඝවන් කියන්නේ ඒ අතින් බැලුවාම දෙමළ සිනමාවෙ ඉන්න යක්ෂයා. අපේ හිත්වල අඳුරු පැති අපටම පෙන්වන කෙනා.
ඉතින්, එහෙම අධ්‍යක්ෂවරයෙක් වෙච්ච සෙල්වරාඝවන්, තමන්ගේ මල්ලි එක්ක අධ්‍යක්ෂණය කරපු ෆිල්ම් එක මොනවගේද?
කලින් කී අතීත චිත්‍රපටි එක්ක තියලා බැලුවොත් ඇත්තම කතාව තමයි නානේ වරුවේන් එකේ කතා ගලායෑම බැලුවාම, ඒක කලින් චිත්‍රපටිවලට සාපේක්ෂව චුට්ටක් මදි.
ඒත්, මේ චිත්‍රපටිය සුපුරුදු විදියට සෙල්වරාඝවන්ගේ සමාවිරහිත සිනමා භාවිතය මතුවෙනවා. ඒ නිසා තමයි අද කාලෙ මධ්‍යම පාන්තික ජීවිතවල යටිහිතේ ගැබ්වෙච්ච බියක් අවුස්සන්න මේ චිත්‍රපටිය සමත් වෙන්නේ.
මේ චිත්‍රපටිය ලීවෙ සෙල්වරාඝවන් නෙවෙයි, ධනුෂ්. ඒත්, සෙල්වරාඝවන්ගේ රටාවට ගැලපෙන චිත්‍රපටියක් තමයි ධනුෂ් ලියා තියෙන්නේ.
චිත්‍රපටිය තුළ බිය මතු කරන්නේ හොඳ රස්සාවක්, අවබෝධයෙන් යුතු හොඳ බිරිඳක්, ආදරේ හිතෙන දරුවෙක්, හොඳ ආදායමක්, නගරයක අපාට්මන්ට් එකක ගෙයක් තියෙන මිනිහෙක්ගෙ කතාව ඇතුළෙන්. ධනුෂ් රඟපාන ප්‍රභූ කියන චරිතය තමයි ඒ සාර්ථක මධ්‍යම පාන්තික පියා.
(විහිළුවට වගේ මතක් කරන්න ඕනෑ ධනුෂ්ගෙ සැබෑ නම වෙන්කටේෂ් ප්‍රභූ කියන එකත්, සිවාජි ගනේෂන්ගෙ පුතා ප්‍රභූ ගනේෂන් මේකෙ අතුරු චරිතයක් රඟපාන බවත්)
මේ පියාගෙ ජීවිතේ පර්ෆෙක්ට්. හැබැයි ඉතින්, ඒ චරිතයට හීරෝ ඉන්ට්‍රක්ෂන් නෑ. සිනමා තිරය ඇතුළෙන් වීරයෙක් විදියට ඒ චරිතෙ මතු කරන්නෙ නෑ.
චිත්‍රපටියෙ මුල් හරියෙ යෝගි බාබුගෙ දෙබසකින්ම කියනවා, සර්ගෙ ජීවිතේ හැමදේම පර්ෆෙක්ට්, සර් හැමවෙලාවෙම සතුටෙන් ඉන්නවා කියලා.
ඒත්, මේ පර්ෆෙක්ට් ජීවිතය අනතුරකට මුහුණදෙනවා. කොවිඩ් වසංගතයෙන් පස්සේ, උද්ධමනයයි ආර්ථික අර්බුදයි මතුවෙච්ච නූතන ලෝකය තුළ පහළ ඉඳන් උඩට ආපු බොහෝ මධ්‍යම පාන්තිකයන්ට තියෙන බය තමයි තමන්ගෙ පර්ෆෙක්ට් ජීවිතය විනාශ වීමේ බය. අඳුරු අතීතය තමන් හඹාගෙන ඒවි කියන බය.
චිත්‍රපටියේ මුල් භාගයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඒ බය. එතැනින් පස්සේ දෙවැනි භාගයේදී තවත් මානයකට කතාව යනවා. හිත ඇතුළේ මෘගයෙක්ව හිර කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන, ප්‍රභූගේ නිවුන් සහෝදරයා හමුවෙනවා.
ධනුෂ් රඟපාන චරිත දෙකෙන්, ප්‍රධාන චරිතය විදියට සෙල්වරාඝවන් මතු කරන්නේ මිනීමරු දුෂ්ඨයගෙ චරිතය. හීරෝ ඉන්ට්‍රඩක්ෂන් එකක් දෙන්නේ ඒ චරිතයට.
මේ මධ්‍යම පාන්තික ප්‍රභූට හීරෝ ඉන්ට්‍රඩක්ෂන් එකක් නෑ, විශේෂ මියුසික් නෑ. හැබැයි ප්‍රභූගෙ දුෂ්ඨ නිවුන් සහෝදරයාට තියෙනවා. ප්‍රේක්ෂකාගාරය විසිල් ගහන්නේ මේ දුෂ්ඨයාට.
අපි දුෂ්ඨයා කීවට ඇත්තටම ඒ චරිතය දුෂ්ඨයෙක්ද, නැත්නම් ඒ චරිතයද මේ කතාවෙ ඉන්න ලොකුම වින්දිතයා. අපි හැමෝගෙම අනුකම්පාව ලැබෙන්න ඕනෑ ඒ චරිතයටද? ඒ නිසාම කතාවේ වීරයා ප්‍රභූගේ නිවුන් අයියාද? නැත්නම් නරක මිනිස්සු බොරුවට අනුකම්පාව දිනාගන්න තමන්ට විඳින්න වෙච්ච වේදනාවන් ගැන කතා කරනවාද?
ඒවා වෙනම කතන්දර. කොහොමහරි චිත්‍රපටියේ දෙවැනි කොටස කතාව වෙනම පැත්තකට ගෙනියනවා. සෙල්වරාඝවන්ගෙ චිත්‍රපටිවල සුපුරුදු ආරෙටම. ඔහුගේ හැම චිත්‍රපටියක්ම පාහේ එහෙමනේ. මුල් අර්ධයේ තියෙන්නේ එක විදියක කතාවක්. දෙවැනි අර්ධය වෙනම කතාවක්. ඇත්තටම කීවොත් චිත්‍රපටියක් ඇතුළෙ චිත්‍රපටි දෙකක්.
නානේ වරුවේන් එකේ පළවැනි අර්ධය නාගරික මහල් නිවාසෙක හොරර් එකක්. දෙවැනි අර්ධය පළිගැනීමේ ඩ්‍රාමා එකක්.
කාදල් කොන්ඩෙන් එකේ මුල් අර්ධයේ අහිංසක දිළිඳු තරුණයෙක්, සුන්දර ධනවත් තරුණයෙක්ට ආදරය කරනවා. දෙවැනි අර්ධයේ මානසික ලෙඩක් තියෙන මිනීමරුවෙකුගෙන් බේරෙන්න කොල්ලෙකුයි කෙල්ලෙකුයි දඟලනවා.
පුදුපේට්ටයි එකේ මුල් ටික බියපත් වෙච්ච, හිංසාවට ලක්වෙච්ච, දුර්වල, අහිංසක තරුණයෙක් පාතාල කල්ලියකට මැදිවෙනවා. දෙවැනි කොටසේ කාටවත් ආදරයක් නැති, හිත්පිත් නැති මැරයෙකුගෙ කතාවක් එනවා. ඉරන්ඩම් උලගම් (Irandaam Ulagam 2013) එකේ මුල් කොටස තරුණයෙක් කෙල්ලෙක්ගෙ පස්සෙන් යනවා. දෙවැනි අර්ධය යන්නෙ විශ්වයේ සමාන්තර ලෝකයකට. ආයිරත්තිල් ඔරුවන් (Aayirathil Oruvan 2008) එගේ මුල් අර්ධය කැලේ ගවේෂණාත්මක ගමනක් යන තුන්දෙනෙක්. දෙවැනි අර්ධයේ සැඟවුණ චෝල රාජ්‍යයක දේශපාලන කතාවක්. මයක්කම් එන්න මුල් අර්ධය යාළුවෙක්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් සහ අනාගතේ ගැන නිනනව්වක් නැති කොල්ලා අතර ඇතිවෙන ආදරය. දෙවැනි කොටස ෆුල් අන්දොස් වෙච්ච පවුල් ජීවිතයක් සහ වෘත්තිය ජීවිතයක්.
ඉතින්, ඔය විදියට සිනමා අතීතෙන් සෙල්වරාඝවන් සිනමාව චුට්ටක් මතක් කරගත්තාට පස්සෙ ආයෙත් හැරෙමු ෆිල්ම් එක දිහාට.
මේ දෙවැනි අර්ධය නිසා තමයි චිත්‍රපටිය ටිකක් දුර්වලයි කියල හිතෙන්නේ. අඩුපාඩු කිහිපයක් තියෙනවා.රෙවේන්ජ් ඩ්‍රාමා එක සීයට සීයක් හරියට ඩිසයින් කරලා නෑ. ප්‍රධාන දුෂ්ඨයගෙ චරිතයේ තව පැති ගණනාවක් ප්‍රේක්ෂකයන්ට හෙළිදරව් වෙන්න තිබුණා. ඇත්තම කීවොත් අපි හැමෝම බලන්න ආස ඒ ධනුෂ්වනේ. අවසාන දර්ශනය පවා එකපාරම කඩාපාත්වෙලා, ඉක්මනින් චිත්‍රපටියෙ ගැට ටික ලෙහලා චිත්‍රපටිය බලන්න ආපු මිනිස්සුන්ව හදිසියේ ගෙදර යවන්න ඕනෑවට කරපු එකක් වගේ හිතෙනවා.
ඒත්, ඒ පුංචි අඩුපාඩු සහිතව වුණත් චිත්‍රපටිය සෑහෙන ඉන්ටරෙස්ටින් විදියට ඒ කතාවත් කියනවා. දුෂ්ඨයා කියන්නේ ‘දඩයමට ලක්වෙන කෙනෙක් නෙවෙයි. දඩයක්කාරයෙක්.‘ ඔහු වෙනුවෙන් චිත්‍රපටියෙ එන සිංදුවේ කියනවා ඔහු මිනිස්සුන්ගෙ තිරිසන් ගති දකින, තිරිසනුන්ගෙ මනුෂ්‍ය ගති දකින කෙනෙක් කියලා.
හැබැයි මේ බිහිසුණු දුෂ්ඨයා ප්‍රාර්ථනා කරන්නෙ එකම එක දෙයයි. ඒ ආදරය. චිත්‍රපටිය පටන්ගනිද්දිම තියෙනවා මේ මෘගයාට ආදරය අහිමි වෙන විදිය ගැන ලස්සන දර්ශනයක්. පවුල ඇතුළේ නිවුන් සහෝදරයො දෙන්නෙක් අතරින් ‘හොඳ ළමයා‘ සහ ‘නරක ළමයා‘ මුලින්ම අඳුනගන්න දර්ශනය ඒ. ඒක පටන්ගන්නෙම ‘හොඳ ළමයා‘ විසින් ‘නරක ළමයා‘ව පුංචි රණ්ඩුවක් වුණා කියලා පාවාදෙන තැනකින්. ඊට පස්සේ තාත්තා විසින් ‘නරක ළමයා‘ට අතිශය දරුණු දඬුවමක් දෙන තැනකින්. ‘නරක ළමයා‘ගේ මනස ලොකුවට ට්විස්ට් වෙන්නේ ඒ දඬුවමේ ප්‍රතිඵලයක් විදියට.
පුංචි කාලෙ ඉඳන් මේ ‘නරක ළමයා‘ට ආදරය ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට එයාව තනි කරමින්, එයාගෙ ළමා මනස තව තවත් අඳුරු අගාධෙක පත්ලටම තල්ලු කරනවා. මානසික අගාධයක් කියන්නේ ඉතින්, මේ ලෝකෙ භෞතිකව තියෙන අගාධයකට වඩා දරුණුයි. ගොඩ එන්න බෑ. ඒ අඳුර තුළ වැඩ කරන්නේ විකෘති, බිඳුණු අදහස්. වර්ථමාන ලෝකෙ ඇතුළෙ මත්ද්‍රව්‍ය හෝ මත්පැන් ඇබ්බැහිය, සියදිවි නසාගැනීම්, අපරාධ විදියට මතුවෙන්නේ ඒ මානසික අගාධවලට වැටුණ මිනිස්සුන්ගෙ වේදනාව. ඒ වගේම ඓතිහාසික කලාකෘති විදියට මතුවෙලා තියෙන්නෙත් එවැනි මිනිසුන්ගේම වේදනාව.
ඔන්න ඔය විදියට නානේ වරුවේන් චිත්‍රපටිය ස්පර්ශ කරන අඳුරු මානයන් නිසා පුංචි අඩුපාඩු තිබුණත් මේ චිත්‍රපටියට ආදරය කරන්න පුළුවන්. චිත්‍රපටියෙ මූඩ් එකටම ගැලපෙන යුවන් ශංකර් රාජාගෙ මියුසික් පවා චිත්‍රපටියේ තියෙන අඳුරු ගතිය වැඩි කරනවා. යුවන් ශංකර් රාජාගෙ ප්‍රේමය අවුස්සන සුමට සිංදුවලට වඩා, හැමදාම විශිෂ්ඨ වුණේ අපි ‘පාපයක්‘ කරන වෙලාවට හදවත ගැහෙන ඒ ගැස්මට සමපාත වෙච්ච සිංදු. රෙන්ඩු රාජා (Rendu Raaja) සහ වීරා සූරා (Veera Soora) සිංදු දෙකම ඒ විශිෂ්ඨ ගතියෙන් යුක්තයි.
අපි පොරොන්දු වෙන්නෙ නෑ සෙල්වරාඝවන්, ධනුෂ් සහ යුවන් ශංකර් එකතුවෙච්ච අතීත නිර්මාණවල ලෙවල් එකට සීයට සීයක් නානේ වරුවෙන් ළං වේවි කියලා. ඒත්, ඒ අතීතයේ තිබුණු ලක්ෂණ මේකේ තියෙනවා. හැබැයි ධනුෂ් ෆිල්ම් එකකින් ඔබව කම්මැලි වෙන්නේ කලාතුරකින්. (ගෞතම් වාසුදේව් මෙනන් වගේ කෙනෙක් ඇවිත්, Enai Noki Paayum Thota වගේ කම්මැලි ෆිල්ම් එකක් හදලා, වොයිස්ඕවර්වලින් ඔබව මරා දැමීමේ දුෂ්ඨ කුමන්ත්‍රණයක් කළොත් මිසක්.) ධනුෂ් ෆිල්ම් කම්මැලි නොවෙන්නේ, ඒ ෆිල්ම්වල ධනුෂ් ඉන්න නිසයි.
චිත්‍රපටිය පුරා ඉන්දියාවෙ ඉන්න ජෙනරේෂනල් ටැලන්ට් එකක් වන ‘ධනුෂ්‘ හොල්මන් කරනවා. එක වෙලාවක ධනුෂ් තිරය මතදී ඔබේ අනුකම්පාව දිනාගනීවි, තව වෙලාවක ආදරය දිනාගනීවි, තව වෙලාවක බියට පත් කරාවි, පිළිකුළට පත් වේවි, විසිල් හඬ දිනාගනීවි.