මර්දනය පක්ෂවලටත් එයි! ලෑස්තිවෙන්න, මර්දනයේ ‘දෙවැනි අදියර‘ එනවා!

පසුගිය ජූලි මාසයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුව බලහත්කාරයෙන් අල්ලාගෙන නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ ඡන්දයක් පැවැත්වීම වැළැක්වීම සඳහා විරෝධතා කණ්ඩායම් පෙළඹීමට සම්බන්ධ වූවායැයි දේශපාලනඥයන් ප්‍රශ්න කරන්නට පොලීසිය ලෑස්ති වෙන බව ඩේලි මිරර් පත්තරේ ජමිලා හුසේන් ලියා තියෙනවා.

ඒ අනුව ඒ පාර්ශ්වයන්ට සම්බන්ධ යම් යම් පිරිස් සමග කතා කර තියෙනවායැයි පුවතේ සඳහන්.

වඩාත් භයානක එම පුවතේ සඳහන් වන මර්දනයේ දෙවැනි අදියර ගැන කරුණු හෙළිදරව්ව.

විශාල සම්පත් ප්‍රමාණයක් අවභාවිත කරමින් මේ කාලසීමාවේ සිදුවන පොලිස් මර්දනය දේශපාලනඥයන්ටත් එල්ල කරන්නයි මේ ලෑස්තිය. පසුගිය කාලසීමාවක් තිස්සේ අත තැබූ ක්ෂේත්‍රවලට අමතරව ඉදිරියේදී කලාකරුවන්, ජනමාධ්‍ය සහ දේශපාලනඥයන් කෙරෙහි මර්දනය එල්ලවෙන්න දැන් පසුබිම සැකසෙමින් පවතිනවා. මේ එහි දිගුවක්.

ජමිලා හුසේන් ලියූ පුවතේදී විරෝධතාවලින් පසු විමර්ශනවල ‘දෙවැනි අදියරක්‘ ගැන සඳහන් කර තිබෙනවා. ඒ අනුව ‘ලැබුණු තොරතුරු මත‘ විමර්ශන ඉදිරියට ගෙනියනවාලු.

ඒ පුවත අනුව වැටහෙන ආකාරයට විමර්ශනවලදී ලැබුණු තොරතුරුයැයි කියමින් ඔවුන් කියන කතාන්දරයට අදාලව පුද්ගලයන් මර්දනය සිදුකරනු ඇති. ඒ අනුව එකිනෙක සිදුවීම් සම්බන්ධ කරමින් කතාන්දර ගොඩනැගීමට කටයුතු කරනු ඇති.

පසුගිය කාලසීමාවේදී ‘බුද්ධි තොරතුරු‘ යැයි කියමින් පොලීසිය කියූ කතා බොහොමයක් අතිශය වැරදි සහ ව්‍යාජ දේශපාලන වුවමනා සහිත කතා. සැප්තැම්බර් 24 වැනිදා පැවති සමාජවාදී තරුණ සංගමයේ පාගමන රජයේ ගොඩනැගිලිවලට ඇතුළුවෙන්න සූදානමින් සිටියායැයි සම්පූර්ණ බොරු බුද්ධි වාර්තාවක් ගැන පොලීසිය කීවා. ඊට අමතරව බොහෝ පාගමන්වලට අදාලව ව්‍යාජ බුද්ධි වාර්තා ඉදිරිපත් කෙරුණා.

‘බුද්ධි වාර්තා‘ කියන එකේ ලස්සන තමයි, ඒ නම යොදාගෙන ඕනෑ කෙනෙක්ව බේරන්නත්, ඕනෑ කෙනෙක්ව කොටු කරන්නත් පුළුවන්.

පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා පැවති ජුලි 13 වැනිදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු අය කීවේ පාර්ලිමේන්තුව ඉදිරිපිටට නොයා ගෝල්ෆේස් වෙත එන ලෙස. ඉන්පසු ජනාධිපතිවරයා තෝරන ඡන්දය වෙලාවේ එයට ඉඩ දී විරෝධතාකරුවන් කළේ ගෝල්ෆේස්හි සත්‍යග්‍රහයක් පවත්වමින් එම පාර්ලිමේන්තු ඡන්දය නිරීක්ෂණය කිරීම. ඒ නිසාම සමහර සාමාන්‍ය ජනතාව අරගලකරුවන්ට බැණවැදීමත් සිද්ධ වුණා.

උදාහරණයක් විදියට අරගලයේ කිසිම තැනක සාමාන්‍ය ජනතාව හෝ ප්‍රසිද්ධ අදහස් දැක්වීම් කරපු අය ‘අධිකරණ සංකීර්ණය අල්ලාගැනීමක්‘ ගැන කොහේවත් කියා නැහැ. එහෙත්, පොහොට්ටු දේශපාලන වේදිකාවල මුලින් කියැවුණේ ‘පාර්ලිමේන්තුව සහ අධිකරණ සංකීර්ණය අල්ලන්න ලෑස්තිවෙලා හිටපු‘ බවක්. දැන් ඒ දේශපාලන වේදිකාවල ඔවුන් මුලින් කියූ කතන්දර දැන් විමර්ශකයන් විසින් ‘විමර්ශනවලදී හෙළිවුණා‘ කියමින් මර්දනය සඳහා යොදාගන්න ලෑස්තිවෙනවා.

තවත් සිදුවීමක් වන්නේ මැයි 9 ගෝල්ෆේස් කලාපයට පහරදීමට එරෙහිව ජනතාවගෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාර ගැන කතාව. එම ප්‍රතිප්‍රහාර ජනතාව සූදානම්වෙලා කරපුවා නෙවෙයි. කිසිම සැලසුම් සහගත බවක් ඒවායේ තිබුණේත් නෑ. කවුරුත් මැයි 9 උදේ අවදි වුණේ එවැනි දේකට සහභාගී වෙන්න හිතාගෙන නෙවෙයි. එහෙත්, මහින්ද රාජපක්ෂ කරපු ත්‍රස්තවාදී ක්‍රියාවෙන් පසු එයට ප්‍රතිචාර දැක්වීමක් ජනතාවගේ පැත්තෙන් සිද්ධ වුණා. එය අසංවිධානාත්මක, අවිධිමත් එකක්. එම ප්‍රතිප්‍රහාරයේ සමහර තැන් අපටත් එකඟ වෙන්න බැරි තරම් නරකයි. එහෙත්, ඒවා සියල්ල ‘අහවල් පක්ෂයේ සංවිධානාත්මක වැඩ‘ කියා පොහොට්ටු දේශපාලුවන් කීවා. දැන් ඒ කතන්දරේ ඇත්ත කරන්නට දැන් පොලීසිය දඟලනවා.

මේ දෙවැනි අදියරක් ගැන කරුණු ලෑස්ති කරමින් ඉන්නේ ප්‍රධාන වශයෙන්ම අධිආරක්ෂක කලාප පිළිබඳ ගැසට් එකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන පෙත්සම්වලට උත්තර බඳින්නයි. ඒ ගැන අපි වෙනම පුවතක සඳහන් කර තිබෙනවා.

ගෝල්ෆේස් අරගලයේ සිටි බොහෝ පාර්ශ්ව ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය ගොඩනැගිලි අත්පත් කරගැනීම ගැන සැලසුම් සකස් කළේ නැහැ. එය සමස්ත ජනතාව අතරින් පැනනැගුණු ක්‍රියාවක්. මිලියන ගණන් ජනතාව ඒ ක්‍රියාවේ විවිධාකාර භූමිකාවන් ඉටු කළා. ඒත් එතැනින් එහාට ඒ ජනතාව අතර සිටි කිසිදු පාර්ශ්වයකට මැතිවරණවලින් පිටත ආණ්ඩු පිහිටුවීමක් හෝ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිට පැනීම ගැන අදහසක් හෝ සැලසුමක් තිබුණේ නෑ.

එවැනි සැලසුම් හෝ අදහස් හැංගි හැංගි තියාගන්න බැහැ. ඒවා ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් ජනතාවට කියන්න ඕනෑ. එහෙම සැලසුමක් තිබුණානම් මැයි 9 ඒක හෙළි වෙන්න ඕනෑ. සාමාන්‍ය තර්ක බුද්ධියක් තියෙන කෙනෙක්ට ඒක තේරෙනවා. එහෙත් ගාලුමුවදොර ප්‍රකාශය කියා ප්‍රසිද්ධ කරපු එක හරහාත් ප්‍රසිද්ධ කළ පරිදි හැම පාර්ශ්වයකටම තිබුණේ ඊළඟට ව්‍යවස්ථානුකූලව පත්වෙන ආණ්ඩුවක් මගින් කරවාගත යුතු වෙනස්කම් ගැන අදහසක්. ඒක ප්‍රසිද්ධියේත් හැමෝම කීවා. මේ අරගලය අරාබි වසන්තය වගේ ඒවායින් වෙනස් වුණේ එහෙමයි. අපේ ජනතා අරගලය ආණ්ඩු බලය අල්ලන තැනක හිටියේ නෑ.