රනිල් ජපානෙන් ඇවිත් අධිආරක්ෂක කලාප ඉවත් කරනවාලු! ඒ වෙනුවට බුද්ධි අංශ මරාලයක්

කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා වෙත උපදෙස් දුන් බව ලංකාදීප වාර්තා කරලා තියෙනවා.

ජපාන සංචාරයෙන් පසු ලංකාවට ඇවිත් ජනාධිපතිවරයා මේ ගැසට් පත්‍රය අවලංගු කරන්නට අත්සන් කරන බව තමයි ලංකාදීප වාර්තා කරලා තියෙන්නේ. සැප්තැම්බර් 26 වැනිදා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය අමාත්‍යවරයාත් ජනාධිපතිවරයා ලංකාවට ආවාට පස්සේ අධිආරක්ෂක කලාප ගැසට් එක ගැන තීන්දුවක් ගනු ඇතැයි කීවා.

ඒකට හේතුව විදියට ප්‍රවෘත්තියේ තියෙන්නේ, මෙම ප්‍රදේශවල තිබෙන ආර්ථික කලාපවලට බාධාවක් වෙන බව ඉහළ ආර්ථික විශේෂඥයන් පිරිසක් කීව නිසාලු. නැතිව, සාමාන්‍ය ජනතාවට මේකේ බලපෑමක් වන නිසා නෙවෙයි. රනිල් වික්‍රමසිංහලා සාමාන්‍ය මිනිසුන් ගැන සංවේදී නෑ.

එහෙත්, ඒ අතරේම ඒ ප්‍රදේශවල තිබෙන විරෝධතාවලට අදාලව බුද්ධි අංශවල මැදිහත්වීමෙන් ක්‍රියාවලියක් කරන්න රනිල් වික්‍රමසිංහලා බලාපොරොත්තු වෙනවාලු.

රනිල් වික්‍රමසිංහලා රාජ්‍ය රහස් පනතේ වගන්ති වැරදියට අර්ථකතනය කරමින් අනීතික විදියට තමයි මේ අධිආරක්ෂක කලාප නම් කිරීම සිදු කළේ. මේ වෙද්දීත් එයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10කට වඩා සූදානම් වෙනවා. ඉහළම මට්ටමේ නීතිඥවරුන් එයට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා.

කොහොම වුණත්, අධිආරක්ෂක කලාප ඉවත් කරලා බුද්ධි අංශ එක්ක ඒ ප්‍රදේශවලට ආරක්ෂක වැඩපිළිවෙලක් හදන්න කියලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ජනාධිපතිවරයා උපදෙස් දුන්නාලු.