විද්‍යාවේ දැවැන්ත ජයක්! අභ්‍යවකාශ යානයක් උල්කාවක ගැටේ

සැප්තැම්බර් 23 වැනිදා ඩොලර් මිලියන ගණනක අභ්‍යවකාශ යානයක් පාපන්දු ක්‍රීඩාංගනයක ප්‍රමාණයේ ග්‍රහකයක් එක්ක මුහුණට මුහුණ ගැටුණා. යානය විනාශ වී ගියා. මේක බලා හිටපු විද්‍යාඥයන් සතුටින් අප්පුඩි ගැහුවා. ‘මේක මනුෂ්‍ය වර්ගයාගේ ඓතිහාසික ජයග්‍රහණයක්‘ කියා කීවා.

මිලියන ගණන් වටින යානාවක් ග්‍රාහකයක ගැටිලා කුඩු වුණාම ඒක ජයග්‍රහණයක් වුණේ කොහොමද? විද්‍යාඥයන් මේක හැදුවේම ගැටෙන්න. ඒකේ අරමුණ අනාගතයේදී ලෝක විනාශයකින් පෘථිවිය රැකගැනීම සඳහා කරන පර්යේෂණයක්. පෙර නොවූ විරූ ඓතිහාසික පරීක්ෂණයක්.

නාසා යානය පෘථිවියේ සිට සැතපුම් 6.8 ක් දුරින් පිහිටි ඩිමෝෆෝස් ග්‍රහකය එක්ක තමයි මේ හැප්පුණේ. ඩාර්ට් (ද්විත්ව ග්‍රහක යළි-යොමු කිරීමේ පරීක්ෂණය) කියා මේ මිෂන් එක හැඳින්වුවා.

මේ මෙහෙයුමේ අරමුණ අනාගතයේදී ලෝකය විනාශ කරනනට හෝ වෙනත් බරපතල හානියක් කරන්නට තරම් ලොකු ග්‍රාහකයක් ආවොත් ඒකෙන් බේරෙන එක. හැබැයි, මේකෙන් සිදු වන්නේ ග්‍රහකය විනාශ කරලා දමන එක නෙවෙයි. ලොකු ග්‍රාහකයක් විනාශ කරන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. ඒ වෙනුවට ග්‍රාහකය ගමන් කරන මාර්ගය වෙනස් කරන්න තමයි සැලසුම. කිලෝග්‍රෑම් බිලියන 5ක් වෙච්ච ග්‍රාහකයට ගැටුණ යානය කිලෝග්‍රෑම් 570ක් තරම් කුඩා එකක්. ඒ නිසා මෙවැනි ගමනකින් ග්‍රාහකයන් විනාශ කිරීම සිතන්න බැහැ.

ඇමෙරිකාවේ පෙරදිග වෙලාවෙන් රාත්‍රී 7.14ට පැයට සැතපුම් 15,000ක වේගයෙන් මෙම ගැටීම සිද්ධ වුණා. මෙම ගැටීම විකාශය කරද්දී යානය ඉලක්කයට හරියටම නාභිගත වෙන විදිය වීඩියෝවලට හසු වුණා. ඉන්පසු නාසා සහ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් එකිනෙකා වැළඳගන්නා ආකාරය පෙන්වුවා.

නාසා ආයතනයේ ග්‍රහලෝක විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ලෝරි ග්ලේස් මේක ‘මිනිස් වර්ගයාගේ නව යුගයක්‘ බව ප්‍රකාශ කළා. මනුෂ්‍ය වර්ගයා කෙතරම් පුංචි වුණත්, ග්‍රහලෝකයක ඉරණම තීන්දු කරන්න තරම් බලගතු වර්ගයක් විදියට ඉදිරියට යන අයුරු මෙම පර්යේෂණයෙන් තහවුරු වුණා. එය මැජිකල් අත්දැකීමක් ලෙස විද්‍යාඥයන් විස්තර කළා. ඒ වගේම ඉලක්කයටම යානය ගිය බව තහවුරු කරමින් මෙය ‘බුල්ස්ආයි‘ එකක් කියා විද්‍යාඥයන් කීවා.

යානය සාර්ථකව ඉලක්කයෙහි ගැටුණත්, මෙම මෙහෙයුම සාර්ථක බව හරියටම තහවුරු කරගන්න වෙන්න තවත් මාස දෙකක් ඇතුළත යානයේ ගමන් මාර්ගය වෙනස් වීම මත. ඒ අනුව ඉදිරියේදී විද්‍යාඥයන් ග්‍රාහකයේ ගමන්මග සියුම්ව නිරීක්ෂණය කරනු ඇති.

විද්‍යාඥයන් මෙය සාර්ථක කර ගැනීමට විශාල වෙහෙසක් ගත් බව කියනවා. එක් විද්‍යාඥවරියක කියා තිබුණේ ‘පෘථිවියේ වැසියන් හොඳින් නිදාගන්න‘ ඕනෑ බව. ‘මම නම් දැන් හොඳට නිදාගන්නවා‘ කියා ඇය කීවා.

මෙය මෙැනි ග්‍රහලෝක ආරක්ෂක මෙහෙයුම් මාලාවක පළමුවැන්න බව නාසා විද්‍යාඥයන් කියනවා. මීට අවුරුදු මිලියන 65කට කලින් ඩයිනෝසරයන් ජීවත් වූ පෘථිවියේ දැවැන්ත වස්තුවක් ගැටුණ නිසා තමයි ඩයිනෝසෝරයන් පෘථිවියෙන් වඳ වුණේ. ඩයිනසෝර්ලා වගේ දැවැන්ත උරගයන් වඳවීම පෘථිවියේ මිනිසුන් වගේ ක්ෂීරපායින්ෙගේ නැගී ඒමට උදව්වක් වුණා. ඒත්, ආයේ එහෙම ගැටීමක් සිද්ධවුණොත්, අපිත් විනාශයි.

පෘථිවියට රුදුරු අනාගතයේ ගැටෙන්නට ඉඩ තියෙන ග්‍රාහකයක් හඳුනාගෙන නැහැ. එහෙත්, නොසිතූ විරූ දේවල් සිද්ධවෙන්න පුළුවන්.