ආර්ථික විශේෂඥයන්ගේ ප්‍රක්ෂේපන මගින් දැනට අනුමාන කරලා තියෙන විදියට 2023 අග වෙනකොටත් උද්ධමනය ඉහළ මට්ටමක පවතින්න නියමිතයි ඉහළ මිල ගණන් සහිත පීඩාකාරී ආර්ථිකය තව අවුරුදු ගාණක් පවතීවි.
මේ වෙද්දී ලංකාවට ණය දුන්න ණය හිමියන් වෙත ඉදිරිපත් කරපු ජාත්‍යන්තර මට්ටමට ඉදිරිපත් කළ සැලසුම්වල තියෙන අනුමාන අනුව බැලුවත් 2024 දී සීයට 6 දක්වා අඩු වීමට කලින් උද්ධමනය 2023 දී සාමාන්‍යයෙන් සීයට 29ක මට්ටමේ පවතීවිලු. මේ අගෝස්තු මාසයේ උද්ධමනය සීයට 70ක් දක්වාත් ආහාර උද්ධමනය සීයට 80 දක්වාත් ඉහළ ගිහිල්ලා තියෙනවා.
ශ්‍රී ලංකාවේ පාලකයන් විසින් ජනතාව ඇද දැමූ ආර්ථික වළෙන් ගොඩ ඒමට තව දීර්ඝ කාලයක් බලා ඉන්නට සිද්ධ වේවි. කඩාවැටුණු ආර්ථිකය නිසාත්, ඉහළ මිල ගණන් නිසාත් ඉදිරියේදී පවා ලොකු පීඩාවන් විඳින්න සිද්ධ වේවි. මේ වෙද්දී විශාල පිරිසක් රටෙන් පිටවෙන්න උත්සාහ කරනවා. සරලව කීවොත් ගතවෙන හැම පැයේදීම ලාංකිකයන් 32ක් විදේශගත වෙනවා. ඉතිරි අය ඉතා අසීරුවෙන් ජීවන සටනට මුහුණදෙන්න උත්සාහ කරනවා. ලාංකිකයන් තුනෙන් දෙකක් හෝ ඊට වැඩි පිරිසක් ආහාර වේල් මඟහරිනවා.
ණය හිමියන්ට ඉදිරිපත් කරපු සැලසුම් අනුව පවා ආර්ථිකය 2023 වෙද්දී සීයට 3 බැගින් ආර්ථිකය හැකිළෙනවා. ඊට පස්සේ 2024 දී සීයට 1.5කින් ආර්ථිකය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළාට දැනට හැකිළී තියෙන ප්‍රමාණය අනුව රටේ ජනතාවට ආර්ථික අවස්ථා නිර්මාණය කරන්නට ඒක ප්‍රමාණවත් නැහැ.
උඩින් කීව සැලසුම් ඔක්කෝම හදලා තියෙන්නේ සියල්ල යහපත් විදියට පවතීවි කියන අනුමානය අනුව. එහෙත් පාලකයන්ගේ අසමර්ථකම්, අසංවේදීකම් සහ තවමත් පිටුදැකලා නැති දූෂණය නිසා මේක තව කොච්චර කාලයක් යාවිද කියා හරියට කියන්න අමාරුයි. පෙනෙන්නට ඇති ආකාරයට තව අවුරුදු කිහිපයක් මේ කඩාවැටීම පවතීවි.