රජය විසින් රූපලාවන්‍ය නිෂ්පාදන ආනයනය සඳහා පනවා ඇති තාවකාලික තහනම හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිසකෙස් සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රය හිසකෙස් සහ රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රය දුර්වල වී ඇති බවත්, සුළු ප්‍රමාණයකට පමණක් එහි යෙදීමේ හැකියාව පවතින බවත් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම කර්මාන්තය නියෝජනය කරන පිරිසක් කීවා.
ඒ නිසා රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය නොයෙකුත් ද්‍රව්‍ය සඳහා ඇති තෝරාගැනීම් අඩුව ඇතැයි ඔවුන් කියනවා. බොහෝ පාරිභෝගිකයන් ජාත්‍යන්තර සන්නාමවලට අයිති රූපලාවණ්‍ය භාණ්ඩ පරිහරණය කරන බවත්, මේ වෙද්දී බොහෝ අයට එම භාණ්ඩ පරිහරණය කිරීමට නොහැකි වී ඇති බව ඔවුන් කියා තියෙනවා.
බැලූ බැල්මට රූපලාවණ්‍ය ක්ෂේත්‍රය වගේ එකක් අත්‍යවශ්‍ය එකක් නෙවෙයි. එහෙත්, මෙරට සාමාන්‍ය ආදායමක් ඇති තරුණ තරුණියන් බොහොමයක් මේ වෙද්දී විවිධාකාර රූපලාවණ්‍ය භාණ්ඩවලට හුරුව සිටිනවා. කොණ්ඩය පාට කිරීම හෝ මුහුණට ලබා ගන්නා විවිධාකාර රූපලාවණ්‍ය ප්‍රතිකාර තවදුරටත් සුඛෝපභෝගී, ධනවතුන්ගේ පරිහරණය සඳහා වූ සේවාවන් නෙවෙයි.
එමෙන්ම විවිධාකාර රූපලාවණ්‍ය විවාහ ක්ෂේත්‍රයට පමණක් නොව, විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවවල සිට නොයෙකුත් උත්සවවලට සහභාගී වන විට පාවිච්චි කෙරෙන එදිනෙදා ජීවිතවලට ගැටගැසුණු සංස්කෘතිකාංගයක් වෙලා. ඊටත් වඩා තීරණාත්මක වන්නේ ලොකු කුඩා මට්ටම්වල කලාකරුවන්, සමාජ මාධ්‍ය හරහා විවිධාකාර නිරූපණයන්හි යෙදෙන අය, ආයතනවල පිළිගැනීම් ක්ෂේත්‍රයේ සිටින අය ආදී බොහෝ දෙනෙක්ට මේවා අවශ්‍යයි.
ඒ නිසා බොහෝ අයට තමන්ගේ සුන්දරත්වය පිළිබඳ තෝරාගැනීමකටත් වඩා, තමන්ගේ රැකියාව හෝ වෙනත් හේතුවක් නිසා අත්‍යවශ්‍ය කාරණයක් විදියට සිය සුළු වැටුපෙන් රූපලාවණ්‍ය කටයුතු සඳහා මුදලක් වෙන් කරන්න සිදුවෙනවා.
එතැනිනුත් එහාට ලංකාවේ විශාල තරුණ පරම්පරාවක් මේ ක්ෂේත්‍රයේ රැකියාවල යෙදෙනවා. ඔවුන් අධ්‍යාපනයක් ලබා, පුහුණුවක් ලබා එම ක්ෂේත්‍රයේ වැඩ කරන්නට හුරු වූ අය. ඔවුන්ගේ ජීවනෝපායට විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. දැනටමත් රැකියා කප්පාදු සහ වැටුප් කප්පාදු සිදුවෙලා.
එමෙන්ම ජාත්‍යන්තර මට්ටමේ රූපලාවණ්‍ය ශිල්පීන් බිහි කිරීමත්, ඒ හරහා විදේශ විනිමය ඉපයීමත් දැන් සිදුවෙලා තියෙනවා. විදේශ රැකියා සඳහා මෙම ක්ෂේත්‍රයෙන් විශාල පිරිසක් යනවා. ඒ සියල්ලට මෙම කඩාවැටීම බාධාවක්.
විශේෂයෙන් ශ්‍රී ලංකාව විවාහ උත්සව ආදිය සඳහා සංචාරක ඉලක්කයක් බවට පත් කළ හැකියි. එමෙන්ම විදේශිකයන්ට රූපලාවණ්‍ය සේවා සැපයීමෙන් විදේශ විනිමය ඉපයිය හැකියි. එහෙත්, එවැනි අයට තමන්ට හුරුපුරුදු වෙළඳනාම නොමැතිව සේවයේ යෙදෙන්නට අසීරුයි.
සැප්තැම්බර් අවසාන වෙද්දී තහනම ඉවත් නොකළොත් විශාල කඩාවැටීමක් සිදුවෙනු ඇතැයි ඔවුන් අනතුරු හඟවා තිබුණා.