ශ්‍රී ලංකා පොලීසිය මෙරට ආර්ථික අර්බුදය සහ බඩගින්න ගැන කතා කරන්නට පැමිණි පාගමන්වලට පහරදුන්නත්, ‘අධිආරක්ෂක කලාප‘ විදියට නම්කරපු ප්‍රදේශයක හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර ගිය ජාතිවාදී පාගමනකට පොලීසියේ ආරක්ෂාව ලැබී තිබුණා.
පාගමන ආරම්භ වෙන්නට පෙර එතැනට පැමිණි පුද්ගලයෙක් සරත් වීරසේකර වැනි දේශපාලනඥයන් දැන් ‘බොරුවට‘ පුරාවිද්‍යාව වෙනුවෙන් කතාකරන බව කියමින් දැඩි විරෝධයක් පෑවා.
මෙම පාගමන නිදහස් චතුරස්‍රයේ සිට බුද්ධශාසන අමාත්‍යාංශය දක්වා ගිය අතර, පාගමන රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරන ලද ‘අධිආරක්ෂක කලාප‘ කියන ගැසට් එකෙන් නම් කරලා තියෙන කලාපයක් හරහා ගියා. මෙරට අමාත්‍යාංශයක් දක්වා මේ පාගමන ගියත්, වෙන පාගමන්වලට සිටින මහලොකු පොලිස් කණ්ඩායම් එයට යොදවා තිබුණේ නැහැ.
ඒ අනුව ඉදිරියේදී ඒ කලාපය තුළ වෙනත් පාගමනකට යම්කිසි පහරදීමක් කළොත්, නීතිය අසමාන විදියට යෙදීම පිළිබඳ පැහැදිලි සාක්ෂියක් විදියට හිටපු පොලීසිය භාර ඇමතිගේ මේ පාගමන පෙන්වාදෙන්න පුළුවන්.
මේ පාගමන ‘පුරාවිද්‍යාව රකින්නට‘ යැයි කියාගෙන ගියත්, සැබෑ අරමුණ අධිකරණ නියෝගවලට පිටින් ගිහින් ඒ පුරාවිද්‍යා ස්ථානයක අලුත් ඉදිකිරීම් කරන්න ගත්ත උත්සාහයක් වෙනුවෙනුයි.
‘ගෝනගල බඩදරු අම්මලා කපනකොට කොළඹ වේල් කරත්තය ගියා. ඒ තමයි සිංහලයාගේ ඉවසීම.‘ ආදී වශයෙන් 83 කළු ජූලියේ සිට මෙරට ඇති වූ ජාතිවාදී සිදුවීම් ගොඩක් යටපත් කළ අදහස් දැක්වීමකුත් සරත් වීරසේකර අමාත්‍යවරයා එහිදී කර තිබුණා.
රටේ ජනතාව සිංහල, දෙමළ හෝ මුස්ලිම් ජාතිභේදයකින් තොරව බඩගින්නට මුහුණදෙමින් සිටියදී ඒ ජාතීන් බෙදා වෙන්කිරීමේ සැලසුම් සහගත ව්‍යාපෘතියක සරත් වීරසේකර මන්ත්‍රීවරයා යෙදී සිටිනවා. ඒ වෙනුවෙන් පසුගිය කාලසීමාවේ පාර්ලිමේන්තුවේදී අවස්ථා ගණනාවකදීම ඉතා ජාතිවාදී සහ හිංසාවාදී විදියට කියා තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ‘යහතින් ඉන්නේ‘ මෙය ‘සිංහල බෞද්ධ රටක්‘ නිසා බව.
මුලතිව් කුරුන්දි විහාරයේ සැබෑ තත්වය ඉදිරියේදී විස්තරාත්මකව ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් කෙටියෙන් කිවහොත් කුරුන්දි විහාරයේ ඉඩම් කිසිවෙකු අත්පත් කරගෙන නැහැ. එහි පුරාවිද්‍යා කැණීම් සිදුවෙනවා. මේ උත්සාහය ඒ කැණීම් යටපත් කරමින්, එහි පුරාවිද්‍යා වටිනාකම වෙනුවට එතැන අලුත් පන්සල් ඉදිකරන්න. බෞද්ධයන් නොමැති ප්‍රදේශයක ඇති වටිනා පුරාවිද්‍යා ස්ථානයක පන්සලක් හැදීම තුළින් සිදුවන්නේ අනවශ්‍ය ජාතිවාදී ගැටුම් ඇතිවීමක්.
බැලූ බැල්මට සිංහල අය විමසන්නේ ‘ඉතින් පන්සලක් හැදුවාම මොකද වෙන්නේ?‘ කියලයි. මේක සාමාන්‍ය කෙනෙකුගේ මනසේ ඇතිවිය හැකි සාධාරණ ප්‍රශ්නයක්. බැලූ බැල්මට ඇත්තටම ප්‍රශ්නයේ වරදකුත් නෑ. එහෙත් මේ ප්‍රශ්නයට පිළිතුර සංකීර්ණයි. මේ කෙටි පුවතින් සම්පූර්ණ විග්‍රහ කළ නොහැකි බව පමණක් සටහන් කරනවා.
එහෙත් කෙටියෙන් අප හැමෝම අවබෝධ කරගතයුතු කාරණය මේ වෙලාවේ සරත් වීරසේකර කුරුන්දි විහාරයක් අල්ලාගෙන දඟලන්නේ සැබෑ ලෙසම ජාතියට, සාසනයට ආදරයෙන් නොවන බවත්, පටු දේශපාලන අරමුණු සහිතව ජනතාව බෙදා වෙන්කොට සැබෑ ආර්ථික ප්‍රශ්න යටපත් කිරීමට බවත්.