ගෝඨාභය නම් කරපු උද්ඝෝෂණ ස්ථානය වැරදියි – කමල් ගුණරත්න!

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නම් කරපු උද්ඝෝෂණ ස්ථානය සුදුසු ස්ථානයක් නොවන බව ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න පවසා තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂගේ පිහිටෙන්, ගෝඨාභය වන්දනාමාන කරලා තනතුර ගත් ඔහු දැන් කියන්නේ ගෝඨාභයගේ එම තීන්දුව වැරදි බව.

ඊට අමතරව දැන් උද්ඝෝෂණ ස්ථානයේ උද්ඝෝෂණ කරන්නට බැරි බව රනිල්ගේ උමතු ගැසට් එක පදනම් කරගනිමින් ඔහු කියා තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතී මාධ්‍ය හමුවකදී ඔහු කළ ප්‍රකාශය මෙහෙමයි.

‘උද්ඝෝෂණ ස්ථානය නියම කරලා තියෙන්නේ වැරදි ස්ථානයක බව තේරුම් ගිහිල්ලා තියෙනවා. දැනට ආරක්ෂක අමාත්‍යාංශය එම ස්ථානයේ නොතිබුණාට ඔය ස්ථානයේ තමයි ආරක්ෂක අමාත්‍යාංශය තිබුණේ. ජනාධිපති කාර්යාලය එහාපැත්තේ ඇළ පාරක් තියෙනවා. ඊට එහාපැත්තේ උද්ඝෝෂණ ස්ථානය තියෙන්නේ. එතකොට උද්ඝෝෂණ ස්ථානය විදේශ සංචාරකයින්, දූත මණ්ඩල ඇවිල්ලා නවතින ස්ථාන, ඒ අය එහේ මෙහේ යන ස්ථාන තියෙන්නේ උද්ඝෝෂණ ස්ථානය හරහා.

පළමුවෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරී ඉෂ්ඨ කරන්න පුළුවන්කමක් තියෙන්නේ නැහැ. උද්ඝෝෂණවලට එන අය කෙළින්ම එන්නේ ජනාධිපති කාර්යාලයේ දොරටුව ළඟට. ඒ නිසා ඒ ස්ථානයත් අධිආරක්ෂක කලාපයට අයිතිවෙයි. නමුත් ඒ ස්ථානවල මහජනතාවට එතැනට පැමිණීමේ, හැසිරීමේ සහ විවේකීව ගතකිරීමේ බාධාවක් ඇතිවෙන්නේ නැහැ.

ඉදිරියේදී එය පවත්වාගෙන යනවාද කියලා තීන්දු කරයි. දැනට උද්ඝෝෂණ ස්ථානයට එතැන සුදුසු ස්ථානයක් නෙවෙයි.‘

මෙම ප්‍රකාශය දේශපාලන වශයෙන් දෝෂ රැසක් සහිත එකක්. ජනතාව උද්ඝෝෂණ කරන්නේ යම්කිසි අමාත්‍යාංශයක්, කාර්යාලයක් ඉදිරිපිට. රජයකට හෝ ආයතනකට යම්කිසි ප්‍රකාශනයක් කරන්නට, පණිවිඩයක් කරන්නට. වනාන්තරවල ගිහින් උද්ඝෝෂණ කරන්න බැහැ.